Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සික්ස්ටීන් බ්‍රදර්ස්-තරංගා ක්‍රීඩා සමාජ අතර ගැටුමක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය මෙහෙවන ජාතික එල්ලේ ශූරතාවලියේ ජා ඇල සික්ස්ටීන් බ්‍රදර්ස් හා හලාවත කෝට්ටගේ තරංගා ක්‍රීඩා සමාජ අතර පැවැති තරගයේදී නීති විරෝධී ලෙස සික්ස්ටීන් බ්‍රදර්ස් පිල පන්දු පලුදු කළැයි තරංගා ක්‍රීඩා සමාජය දින දෙකකට පසුව විරෝධතාවක් ගොණු කරයි. එම විරෝධතාව අනුව නැවැත තරගය පැවැත්වීමට එල්ලේ සම්මේලනය තීරණය කළද එම තීරණයට එරෙහිව සික්ස්ටීන් බ්‍රදර්ස් පිලද විරෝධතාවක් ගොණු කර ඇත.

ඒ අනුව ඉදිරියේදී සික්ස්ටීන් බ්‍රදර්ස් - තරංගා ක්‍රීඩා සමාජ අතර තරගයේ තීන්දුව එල්ලේ සම්මේලනයේ විනය කමිටුව වෙත යොමු කිරීමට තරගාවලි සංවිධායක කමිටුව තීරණය කොට තිබේ. කැලණිය නවලෝක ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති තරගයේදී හලාවත කෝට්ටගේ තරංගා ක්‍රීඩා සමාජය විසින් ජයග්‍රහණය සික්ස්ටීන් බ්‍රදර්ස් පිලට පිරිනමා ඉවතට ගොස් තිබිණි. තරගය පිළිබඳ යම් ගැටලුවක් වේනම් විරෝධතා ගාස්තුවක් ද සමග එදිනම ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුව තිබියදී, දින දෙකකට පසු විරෝධතා ගොණු කිරීම පිළිගත නොහැකි බව ජා ඇල සික්ස්ටීන් බ්‍රදර්ස් පිල පවසා ඇත. එමෙන්ම ජයග්‍රහණය පිරිනමා ඉවතට ගිය කණ්ඩායමක් සමග නැවැත තරගයක් පැවැත්වීමට කිසිදු අදහසක් නැතැයි ද සික්ස්ටීන් බ්‍රදර්ස් පිල කරුණු දක්වා තිබේ. මේ අතර සීදුව නගර සභා පිටියේ පැවැති වෙලේවත්ත ගැමුණු හා නාරංගොඩ පාලුව නැඟෙනතරු ක්‍රීඩා සමාජ අතර එල්ලේ තරගයේදී වෙලේවත්ත පිල තරග විනිසුරු රාහුල දසනායක මහතාට පහර දුන්නේ යැයි චෝදනාව මත විනය පරීක්ෂණයක් ආරම්භ කොට ඇත. මෙහිදී ලැබී ඇති සාක්ෂි අනුව වෙලේවත්ත ගැමුණු පිලට ඉදිරියේදී තහනමක් පැනවීමේ තත්ත්වයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ප්‍රකාශකයෙකු ‘දිනමිණ’ට පැවැසීය.

ලකුණු රැස්කිරීමේදී ක්‍රීඩකයෙකුට හිතාමතා අවහිර කළ බවට චෝදනා ගොණුව ඇති කටාන ආරෝග්‍ය මාතා ක්‍රීඩා සමාජයටද එල්ලේ නීති රීති අනුව ඉදිරියේදී තහනමක් පැනවීමට එල්ලේ සම්මේලන විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ. කදවල සික්ස්ටීන් බ්‍රදර්ස් ක්‍රීඩාංගණයේ පැවැති කටාන ආරෝග්‍ය මාතා හා හාල්දනුවන දිලෙන තරු අතර තරගයේ ජයග්‍රහණයට තවත් ලකුණු දෙකක් ලබාගත යුතුව තිබියදී හාල්දනුවන දිලෙන තරු අවසන් ක්‍රීඩකයන් දෙදෙනාට එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට නොහැකිවන සේ බාධා කළැයි කටාන ආරෝග්‍ය මාතා පිලට චෝදනා එල්ල විය. මේ විනය පරීක්ෂණ නිමාවී තිබුණද, එල්ලේ සම්මේලනයේ සභාපති සහන් ප්‍රදීප් මහතා අදාල ලිපිවලට තවමත් අස්සන් යොදා නොමැති වීමෙන් දඬුවම් පැනවීම ප්‍රමාදවී ඇතැයි වාර්තා වේ.

රුපියල් ලක්ෂ 90ක පමණ වියදමින් මෙවර ජාතික එල්ලේ ශූරතාවලිය සංවිධාන කිරීමට එල්ලේ සම්මේලනය කටයුතු සංවිධානය කොට ඇති අතර එය ජාතික එල්ලේ ශූරතා ඉතිහාසයේ වැඩිම මුදල ලෙස වාර්තා වේ. එල්ලේ ජාතික ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 3ක් හිමිවන අතර අනු ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 1.5ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 75000ක් පිරිනැමේ. මෙවර ජාතික එල්ලේ ශූරයාට නවතම ත්‍රී රෝද රථයක් පිරිනැමෙන අතර තරගාවලියේ වැඩිම උඩ පන්දු හා වැඩිම ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයන් දෙදෙනාට යතුරු පැදිය බැගින් පිරිනැමේ.

මේ දිනවල පැවැත්වෙන මූලික වටයේ තරගවලින් අනතුරුව ජාතික ශූරතාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් 16 වැනිදා විදුලි ආලෝක ධාරා මැද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();