Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික බැඩ්මින්ටන් ශූරතා දිනුකට සහ තිළිණිට

Author(s): 
ෆවුස් මොහොමඩ්

රන්තුෂ්ක සසිඳු කරුණාතිලකට එරෙහිව පිට පිට තරග වට දෙකකින් ලකුණු21-11ක් සහ 21-15ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කළ ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන දිනුක කරුණාරත්න 66 වැනි ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි විවෘත ඒකල ශූරතාව දිනාගැනීමට සමත්විය. පසුගිය වසරේදිත් ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනාගත් දිනුක පෙරේදා අත්කර ගත්තේ සිය තුන්වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවය. ඔහු මුල්වරට මේ කිරුළට හිමිකම් කීවේ 2010 වසරේදිය.

කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී පෙරේදා නිමාවට පත්වූ 66 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා විවෘත ඒකල ශූරතාව දිනාගනු ලැබුවේ පසුගිය වසරේ ශූරිය වූ තිළිණි හෙන්දහේවා විසිනි. අවසන් මහා තරගයේදි ඇය වෙතින් ලකුණු 20-22ක්, 21-9ක් සහ 21-17ක් ලෙස පරාජයට පත්වූයේ කවිඳි සිරිමාන්නගේය.

තිළිණි හෙන්දහේවා ජාතික බැඩ්මින්ටන් ශූරතාව අඛණ්ඩව දිනාගත් 6 වැනි අවස්ථාව මෙය විය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීමෙන් පැවැති 66 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි යුගල තරග අංශයේ ශුරතාව දිනාගැනීමට සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සමත්විය. පිරිමි ඒකල තරග ඉසව්වේ අවසන් පූර්ව වටයේ දිනුක හමුවේ පරාජයට පත්වූ බුවනෙක සහ එම තරග ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේදී රන්තුෂ්ක හමුවේ පරාජයට පත්වූ සචින් ඩයස් යුගල තරග ඉසව්වේ අවසන් තරගයේදී ලකුණු 21-15ක් සහ 21-13ක් ලෙස හසිත චානක සහ ආර්.එස්.කසුන් පරාජයට පත් කළහ.

මේ අතර කාන්තා විවෘත ශූරතාව දිනූ තිළිණි සහ අනුශූරතාව දිනූ කවිඳි කාන්තා යුගල තරගයේ අවසන් මහා තරගයේදි ලකුණු 16-21ක්, 21-13ක් සහ 21-15ක් ලෙස අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා පරාජය කරමින් යුගල ශූරතාව දිනාගැනීම සමත්වූහ.

මිශ්‍ර යුගල ශූරතාව දිනාගනු ලැබුවේ එහි අවසන් මහා තරගයේදී ලකුණු 22-20ක් සහ 21-16ක් ලෙස සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා පරාජයට පත් කළ බුවනෙක ගුණතිලක සහ කවිඳි සිරිමාන්නගේ විසිනි.

ලකුණු 21-14ක් සහ 21-19ක් වශයෙන් නිශාන්ති විදානගේ පරාජය කරමින් අවුරුදු 40න් ඉහළ කාන්තා ඒකල ශූරතාව දිනාගැනීමට විපුලි අබේසේකර සමත්වෙද්දී එහි යුගල ශූරතාව දිනාගනු ලැබුවේ නිශාන්ති විදානගේ සහ ලසන්ති විදානගේ ලකුණු 22-20ක් සහ 21-17ක් ලෙස පරාජයට පත් කළ විපුලි අබේසේකර සහ ප්‍රියංකා අබේරත්න විසිනි.

තනූජ ලියනගේට එරෙහිව ලකුණු 21-12ක් සහ 21-10ක් ලෙස ජය වාර්තා කළ හේමන්ත කොඩිතුවක්කු අවුරුදු 35න් ඉහළ පිරිමි ඒකල ශූරතාව දිනාගත් අතර ලකුණු 21-19කින් සහ 21-18කින් සුභාෂ් ජානක පරාජය කළ උපේන්ද්‍ර ජයවර්ධනට අවුරුදු 40න් ඉහළ පිරිමි ඒකල ශූරතාව හිමිවිය.

දුමින්ද ජයකොඩි සහ සුභාෂ් ජානක ලකුණු 21-18ක් සහ 25-23ක් ලෙස පරාජය කරමින් අවුරුදු 40න් ඉහළ පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට උපේන්ද්‍ර ජයවර්ධන සහ ක්ලැරන්ස් හෝමර් සමත්වූහ. නිරෝෂන් විජේකෝන් විසින් අවුරුදු 50න් ඉහළ පිරිමි ඒකල ශූරතාව දිනාගනු ලැබීය.

අවුරුදු 50න් ඉහළ යුගල ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 21-14ක් සහ 21-15ක් ලෙස දර්ශන සේනාරත්න සහ කමල් ගම්ලත් පරාජයට පත් කළ නිරෝෂන් විජේකෝන් සහ ආර්.පතිරණ විසිනි.

ඒඩ්‍රියන් ඩිලිමා ලකුණු 21-11කින් සහ 21-13කින් පරදවා අවුරුදු 55න් ඉහළ පිරිමි ඒකල ශූරතාව දිනාගැනීමට රොහාන් ප්‍රනාන්දු සමත්විය. ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනූ දිනුකගේ පියා වන ලුවී කරුණාරත්න සහ රොහාන් ප්‍රනාන්දු එක්ව ලකුණු21-12ක් සහ 24-22ක් ලෙස සුරේෂ් තවරාජා සහ ලලිත් නානායක්කාර පරාජයට පත්කරමින් අවුරුදු 55න් ඉහළ පිරිමි යුගල ශූරතාව දිනාගැනීම කැපී පෙනුණි.

දින පහක් පුරා පැවැති 66 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහභාගි විය. බැඩ්මින්ටන් අතුරු කමිටුවේ සභාපති නිශාන්ත ජයසිංහ සමග තරගාවලියේ අනුග්‍රාහක පිරමීඩ් වෙල්මා සමාගමේ සහ නිල ඇඳුම් සහ බැඩ්මින්ටන් උපකරණ නිල සැපයුම්කරු යොනේක්ස් සන්රයිස් ආයතනයේ නියෝජිතයෝ ද මේ අවස්ථාවට එක්වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();