අපරාධ මර්දනයට පත්කර සිටින පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්, මත්කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අතර සම්බන්ධතාව පිළිබඳව මීට මාස දෙකකට පෙර පාර්ලිමේන්තුවේදී තමා කළ හෙළිදරව්ව අද යථාර්ථයක් වී ඇතැයි ඇමැති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පවසා ඇත. බීරි අලින්ට වීණා ගැයුවා සේ ඒ හෙළිදරව් කිරීමට අදාළව කිසිවකු අවශ්‍ය පියවර නොගත් බවද ඇමැතිවරයා සඳහන් කර තිබේ.
අද පොලිස්පතිවරයාට පමණක් ඇතැමුන් චෝදනා එල්ල කළද පොලිස්පති පමණක් නොව පොලිස් කොමිසම සහ ඊට ඉහළින් සිටින අයද මීට වගකිවයුතු බව ඇමැතිවරයා සඳහන් කර ඇති අතර පොලිස්පති එම තනතුරට නුසුදුසු නම් ඔහු නම් කළ පොලිස් කොමිසම එහි වරද බාරගත යුතු බවත් සෙසු උසස් පොලිස් නිලධාරීන් නුසුදුසු තනතුරුවලට පත්කිරීමද වැරැදි බවත් ඔහු පවසා ඇත.
එමෙන්ම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය තමාට බාරදීමට සූදානම් වූ විට ජනාධිපතිවරයා ඊට විරුද්ධ වූ බවත් තමාට අදාළ ඇමැති ධුරය හිමිවූයේ නම් පොලිසියට මෙවැනි චෝදනා එල්ලවීමට ඉඩ නොතබන බවත් තමා යුද්ධය අවසන් කළේ තනිවම නොව සේනාංකාධිපතිවරුන් සමග බවත් එදා තමා යටතේ සිටි හමුදා සේනාධිපතිවරුන් පිස්සු නැටුවේ නම් තමාටද හමුදාපති ලෙස සාර්ථක වීම අසීරු බවත් ඔහු සඳහන් කර ඇත.
ඒනිසා පොලිස්පතිවරයාට පමණක් චෝදනා නොකර පොලිස් කොමිසම ද මේ නුසුදුසු යැයි කියන නිලධාරීන් පත් කිරීමේ වරද බාරගත යුතු බවද ඔහු පවසා ඇති අතර නැතිනම් පොලිස් කොමිසමෙන් ඇති වැඩේ කුමක්දැයි යනුවෙන්ද විමසා ඇත.
The post ෆොන්සේකාගෙන් යළිත් ජනපතිට දෝස්මුරයක්. appeared first on Lanka News Column.


0 Comments