Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෝගන්ගේ පිතිහරඹයෙන් එංගලන්තයට කඩුලු 7ක ජයක්

ෆවුස් මොහොමඩ් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට...

පල්ලෙකැලේට ඇද වැටුණු ධාරානිපාත වර්ෂාව නිසා ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් පැය 6කට ආසන්න කාලයක් ක්‍රීඩාංගණයේ නිකරුණේ රැඳි සිටි ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ට හිස් අතින් ගෙදර යාමට සැලැස්වූ ඉයන් මෝගන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ඊයේ පැවැති තුන්වැනි එක්දින තරගයේදි කඩුලු 7ක ජයග්‍රහණයක් කරා එංගලන්ත පිල රැගෙන ගියේය. දෙවැනි එක්දින තරගයේදිත් විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ මෝගන් ඊයේ නොදැවී ලකුණු 58ක් රැස් කළේ පන්දු 49කිනි. ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0කින් පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්විය.

වර්ෂාව නිසා එක් පිලකට ඕවර 21කට සීමාවූ මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 9කට රැස් කළ ලකුණු 150 හඹා ගිය එංගලන්තය ඕවර 18.3කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය.

ලසිත් මාලිංග යැවූ පළමු ඕවරයෙන් ලකුණු 17ක්ම උදුරා ගත් එංගලන්ත පිලේ ආරම්භක පිතිකරුවන් ඉලක්කය හඹා යාම වේගවත් කළත්, දෙවැනි ඕවරය යැවූ දඟ පන්දු යවන අමිල අපෝන්සු ජොනී බෙයාර්ස්ටෝව් පිටියෙන් ඉවත් කර, මුළු ලකුණු සංඛ්‍යාව 34දී ජෝ රූට්ගේ කඩුල්ලත් බිඳ දැමීම නිසා ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

නායක ඉයන් මෝගන් හා එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 80 දක්වා ඉහළ දමමින් දැඩි හිසරදයක් ගෙන දුන් ජේසන් රෝයි පිටියෙන් ඉවත් කිරීමට තුන්වැනි විනිසුරුගේ පිහිට පැතීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. අකිල ධනංජයගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදින් දැවී යද්දී ජේසන් රෝයි ලකුණු 41ක් ලබා සිටියේ පන්දු 26කිනි.

කාසියේ වාසිය දිනූ එංගලන්ත පිලේ නායක ඉයන් මෝගන් පළමුව පන්දු යැවීම තෝරාගැනීමෙන් පසුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 57 දක්වා ඉහළ දැමුවේ ඕවර 5.3ක් ඇතුළතය. ක්‍රිස් වෝක්ස් යැවූ පළමු ඕවරයේදී හතරේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ දික්වැල්ලගේ පළමු ලකුණු 32ම වාර්තා වූයේ හතරේ පහරවලිනි. අවස්ථා කිහිපයකදීම පන්දු රකින්නන්ගේ හිසට ඉහළින් සහ හිඩැස් අතරින් ඉතා අලංකාර හතරේ පහරවල් එල්ල කළ දික්වැල්ල ලකුණු 28දි ටොම් කරන් යැවු මුල්ම ඕවරයේ දෙවැනි පන්දුවට ගැසූ ඩිල්ස්කූප් පහර නම් ඉතා අවදානම් එකක් විය. ඔහු කඩුල්ල පසුපසට ඉහළින් එල්ල කළ පන්දුව රැක ගැනීමට ආදිල් රෂීඩ් අසමත්වූවත් කරන්ගේ ඊළඟ ඕවරයේදී ක්‍රිස් වෝක්ස්ට පහසු උඩපන්දුවක් ලබාදීමෙන් දැවී ගියේය.

පළමු වතාවට මේ තරගාවලියට කැඳවූ කුසල් මෙන්ඩිස්ට වැඩිවේලා කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් නොලැබිණි. කුසල්ගේ කඩුල්ල බිඳ දැමූ ආදිල් රෂීඩ් මුළු ලකුණු සංඛ්‍යාව 94දී ඔහු යැවූ 13 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකින් සධීර සමරවික්‍රමත්, තිසර පෙරේරාත් ක්‍රීඩාගාරයට හරවා යැවීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ ලකුණු ලබාගැනීමේ වේගය පහළට වැටිණි. තිසර පෙරේරා මුහුණදුන් පළමු පන්දුවටම ඉහළින් එල්ල කළ පහර විශිෂ්ට උඩපන්දු රැකීමක් පෙන්නුම් කරමින් ඩැහැගනු ලැබුවේ ජේසන් රෝයි විසිනි.

ක්‍රිස් වෝක්ස් යැවූ 15 වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන් චන්දිමාල් රැස් කළ ලකුණු 2ත් සමග ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 100 සම්පූර්ණ විය. වගකීම් විරහිත පිතිහරඹයක යෙදුණු ධනංජය ද සිල්වා මුළු ලකුණු සංඛ්‍යාව 110ක්ව තිබියදී ආපසු ක්‍රීඩාගාරයට හැරී ගියේ ටොම් කරන්ගේ පන්දුවක් ජේසන් රෝයිගේ අතටම එල්ල කරමිනි.

අනතුරුව චන්දිමාල් සමග එක්වූ දසුන් ශානක වේගවත් පිතිහරඹයක නිරතවූ අතර පන්දු 17කදී ලකුණු 28ක සම්බන්ධතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 138 දක්වා ඉහළ දමමිනි. බෙන් ස්ටෝක්ස්ට සහ ආදිල් රෂීඩ්ට දැවැන්ත හයේ පහර දෙකකින් සංග්‍රහ කළ මේ දකුණත් පිතිකරුවා පන්දු 10කදී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 21කි. මුළු ලකුණු සංඛ්‍යාව 146දී අකිල ධනංජය දුවද්දී දැවීයාමට හසුවූ අතර ඉනිම නිමාවීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී කරන්ගේ පන්දුවකට ඩිල්ස්කුප් පහරක් එල්ල කරන්නට ගිය චන්දිමාල් දැවී ගියේ පන්දුව කෙළින්ම ආදිල් රෂීඩ් අතට පත්වීමෙනි. ශ්‍රී ලංකා පි‍ලේ අවසන් කඩුලු 4ම බිඳ වැටුණේ ලකුණු 12ක් ඇතුළතය.

ඊයේ තරගය පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද පස්වරු 1.45ට වර්ෂාව පතිතවීමෙන් දෙපිලේහිම ක්‍රීඩකයන්ට වර්ෂාව දෙස බලා සිටීම හැර වෙන විකල්පයක් නොවීය. ක්‍රීඩකයන් සහ විනිසුරුවරුන් විවේක සුවයෙන් පසුවෙද්දි අවිවේකිව පිටියේ එහා මෙහා දිවයමින් තණතීරුව වර්ෂාවෙන් රැක ගැනීමට වැසි ආවරණ අදිමින් අවිවේකිව සිටියේ ක්‍රීඩාංගණයේ සේවක පිරිසය.

කුසල් ජනිත්, උපුල් තරංග සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම හා අමිල අපෝන්සු කණ්ඩායමට ඊයේ තරගයට එක්වූ අතර එංගලන්ත පිලේ සිදුවූ එකම වෙනස්කම වුයේ ආබාධයකට ලක්වූ ලියම් ඩෝසන් වෙනුවට ටොම් කරන් ක්‍රීඩා කිරීමය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();