නිශ්චිත පක්ෂ නායක හමුවක් කැඳවා කාල නීර්ණයක් ඇති කර එකඟතාවයකට පැමිණ පළාත් සභා 9යේම මැතිවරණ එක විට පවත්වන්න යැයි ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දයේ සීමානීර්ණ වාර්තාව පිළිබඳ ජාතික හෙළ උරුමයේ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
‘අද සමාජයේ විශේෂ කතා බහකට ලක්වෙලා තිබෙනවා නැවතත් පළාත් සභා මැතිවරණ ගැන. දැනට පලාත් සභා තුනක් විසිරිලා වසරකට කිට්ටුයි. තවත් පළාත් සභා 3 ක් මේ එළඹෙන සැප්තැම්බර් ඔක්තෝම්බර් මාස වල විසිරීමට නියමිතයි. ඒවගේම ලබන වසරේදී විසිරීමට පළාත් සභා තුනක් තිබෙනවා. ඒ අනුව අඩුම තරමින් විසිරීමට ලක් වූ පළාත් සභා 6 මැතිවරණය පැවැත්වීම පිළිබඳ ගැටළුව පැන නැගී තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ පළාත් සභා කොටස් වශයෙන් පවත්වන්න මුල් උනේ රටේ පැවති යුද වාතාවරණය නිසා ආරක්‍ෂාව සැපයීම පිළිබඳ ගැටළුවක් නිසයි. නමුත් ඊට පසුව එය කිසියම් දේශපාලන උපක‍්‍රමයක් උනා කොටසින් කොටසින් තියලා විරුද්ධ පක්ෂය දුර්මුඛ කර ජයග‍්‍රහණය කරන්න. ඒ නිසා අපේ පළවෙනි යෝජනාව මේ පළාත් සභා සියල්ලේම මැතිවරණ අදාල මහ ඇමතිවරු සහ ඒ මන්ත‍්‍රීවරු සමග සාකච්ඡා කර ලබන වසරට නියමිත බස්නාහිර, දකුණ සහ ඌව මැතිවරණත්, මේ අනෙකුත් පළාත් සභා 6 ත් සමග මේ වසරේම දෙසැම්බර් මාසයේ එකවර පවත්වන්න කටයුතු කළ යුතුයි කියන එක.
දෙවනුව මේ පළාත් සභා ඡන්ද ක‍්‍රමය ගැන විශාල මතභේදයක් ඇතිවී තිබෙනවා. ප‍්‍රාදේශීය සභා, පළාත් සභා සහ මහ මැතිවරණ ඡන්ද ක‍්‍රමය පිළිබඳව රටේ විශාල විවේචනයක් තිබුණා මනාප ඡන්ද ක‍්‍රමය ගැන. ඒ නිසා මේ රජය බලයට පත්වීමේදී විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ජනවරම ලැබෙන විට මේ ඡන්ද ක‍්‍රමය වෙනස් කරනවාය කියන එක ප‍්‍රධාන යෝජනාවක් හැටියට ජනතාවට ඉදිරිපත් කර ජනතාවගේ කැමැත්ත ලබාගත්තා. ඒ අනුව පළාත් පාලන ඡන්ද ක‍්‍රමය වෙනස් කළා. කොට්ඨාස ක‍්‍රමයක් නැවත ඇති කළා 60% ක්. අනුපාත ක‍්‍රමයක් ඇති කළා 40% ක්, ඒ වගේම බොහොම අවධාරණයෙන් කියනවා සමස්ථය අනුපාත ක‍්‍රමයට සකස් කළා. ඊට පසුව පළාත් සභා සඳහාත් මෙම යෝජනාව ගෙන ආවා. එතනදී අර අනුපාතය මදක් වෙනස් උනා. සුළු ජාතික පක්ෂ ගෙන ආ යෝජනාත් සමග. කෝට්ඨාස වශයෙන් ආසන 50% කුත් අනුපාත වශයෙන් 50% කුත් වශයෙන් එය වෙනස් උනා. දැන් ඒ වෙනස් වීමෙන් පසු ආසන බෙදීම පිළිබඳ ගැටළු ආවා. ඒ අනුව රටපුරාම කොට්ඨාස 222 ක් විශේෂ සීමා නීර්ණය කොමිසමක් මතින් එය නිර්ණය කර තිබෙනවා. එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ලබන සිකුරාදට අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ එම වාර්තාවයි. එතකොට එම වාර්තාව සම්මත උනහොත් ඒ මත පදනම් වෙලා මැතිවරණය පැවැත්වීම හැකියාව මැතිවරණ කොමසාරිස්ට ලැබෙනවා.
ඊළඟට මහ මැතිවරණය සම්බන්ධයෙනුත් යම් කිසි යෝජනාවක් ව්‍යවස්ථා සම්පාදක කටයුතු පිළිබඳ කමිටුවට ලැබිලා තිබෙනවා. එය පිළිබඳව තවමත් 100% ක එකඟතාවයකට ඇවිත් නැහැ. නමුත් ආසන්න වශයෙන් ආසන 140 ක් කොට්ඨාස වශයෙනුත්, ආසන 100 ක් අනුපාත වශයෙනුත් තිබෙන පාර්ලිමේන්තුවක් පිළිබඳ යෝජනාවක් ගැඹුරින් සාකච්ඡා කර තිබෙනවා. නමුත් එකඟතාවයක් තවම නැහැ. මේ තත්වය හමුවේ දැන් ඇවිත් තිබෙන ගැටළුව තමයි අපි ප‍්‍රාදේශීය සභා ඡන්දය තිබ්බා අනුපාත මිශ‍්‍ර ක‍්‍රමයට. ඒකෙන් අපිට යම් යම් ප‍්‍රතිපළ ලැබුණා. සමහරු මේ නිසා ප‍්‍රාදේශීය සභා අස්ථාවර වුණා කියලා චෝදනාවක් තිබෙනවා. ඒ වගේම මේ කාන්තාවන්ට දුන් 25% විශේෂ කෝටාව නිසා විශාල මන්ත‍්‍රීධූර ප‍්‍රමාණයේ ඉහළ යාමක් සිදුවෙලා සභාවලට ප‍්‍රශ්න පැන නැගී ඇති බවට චෝදනා එල්ල උනා. ඒ වගේම දේශපාලන වශයෙන් පරිණත නොවන පිරිස් මේ නිසා පළාත් සභා මන්ත‍්‍රීවරු බවට පත් වෙලා ප‍්‍රශ්න මතුවෙලා තිබෙනවා කියා චෝදනා එල්ල වී තිබෙනවා. මේ වගේ නොයෙකුත් චෝදනා, ඒ වගේම තමන්ගේ කොට්ඨාසයට මන්ත‍්‍රීවරයෙක් ලැබුන නිසා හොඳ පැත්තකුත් මෙමගින් ඇති වී තිබෙනවා. පත් වූ සභාපතිවරයා වසර දෙකකට පත් කරපු නිසා ස්ථාවරත්වය පිළිබඳ තත්වයකුත් දැන් ඇතිවී තිබෙනවා. ඉතින් මේ අලූත් ක‍්‍රමය පළාත් පාලන මැතිවරණයේදී තිබූ අඩුපාඩුත් බලලා දැන් පළාත් සභාවලට යෝජනා වී තිබෙනවා. මේ පිළිබඳව මත තුනක් දේශපාලන පක්ෂවල පවතිනවා.
ඇතැම් පිරිස් කියන්නේ මේ මිශ‍්‍ර ක‍්‍රමය පාර්ලිමේන්තු පණතක් මගින් සම්පූර්ණයෙන්ම අහෝසි කර පරණ අනුපාත මනාප ක‍්‍රමයට ගමන් කළ යුතුයි කියා. එතනදී මනාපය අහෝසි කර ලේකම්ට බලතලයක් හරි දීලා මේ මිශ‍්‍ර ක‍්‍රමය අහෝසි කර පැරණි අනුපාත ක‍්‍රමයට අනිවාර්යයෙන්ම ආපසු යා යුතුයි කියන එක තමයි පළවෙනි යෝජනාව. එයට ඇතැම් සුළු ජාතික පක්ෂ තදින් ඒ වෙනුවෙන් පෙනී හිඳ තිබෙනවා මෙන්ම මාධ්‍යවලත් කතා කර තිබෙනවා. ඒ වගේම තවත් පිරිසක් ප‍්‍රකාශ කරන්නේ මේ සීමානීර්ණය පිළිබඳව තිබෙන ගැටළු, ස්ථාවරත්වය පිළිබඳව පළාත් සභාවේ තිබෙන ගැටළු කාන්තා නියෝජනය පිළිබඳ තිබෙන ගැටළු ආදිය සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ගෙනවිත් මෙය අනුමත කර ඒ මත පදනම් වී අපි ඡුන්ද පැවැත්විය යුතුයි කියන එක. තුන්වන පිරිස කියන්නේ මේ සීමානීර්ණ ගැටළු අනෙකුත් ගැටළුත් විසඳා ගන්න කාලය අවශ්‍යයි. නමුත් ඡන්දය ඉක්මනින් තැබිය යුතුයි ඒ නිසා මේ එළඹෙන ඡන්දය පමණක් පැරණි අනුපාත ක‍්‍රමයට පත්වා පසුව එළඹෙන මැතිවරණ අලූත් ක‍්‍රමයට තියා ගන්න පුළුවන් විදිහේ ක‍්‍රමවේදයක් සකස් කර ගත යුතුයි කියා. මේ වගේ විකල්ප තුනක් ඉදිරිපත් වී තිබෙනවා.
අපි මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාටත්, ගරු අග‍්‍රාමාත්‍යතුමාටත්, විපක්ෂයේ සියළුම දේශපාලන පක්ෂවලටත් අපි ආරධනා කරනවා හැකි ඉක්මනින් නිශ්චිත පක්ෂ නායක හමුවක් කැඳවලා කාල නිර්ණයක් ඇති කර මෙතනදී පක්ෂ භේදය බලන්නේ නැතිව තමන්ගේ දේශපාලන වාසිය බලන්නේ නැතිව, කවර හෝ විකල්පයකට එකඟ වෙලා මේ පළාත් සභා 9 ම ඡන්ද හැකිනම් මේ දෙසැම්බර් මාසයේ පවත්වන්න, නැතිනම් අඩුම තරමේ මේ පළාත් සභා 6 මැතිවරණය මේ දෙසැම්බර් මාසයේ පවත්වන්න කියලා. දැනටමත් මැතිවරණ දෙපාර්තමේන්තුව දී තිබෙන දිනවලට යන්න අපි පමා වැඩි බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයත් ප‍්‍රකාශ කර තිබෙනවා.
අපේ ස්ථාවරය අපි සම්පූර්ණයෙන්ම මේ ක‍්‍රමය අහෝසි කරනවාට, පැරණි ක‍්‍රමයට යනවාට අපේ එකඟතාවයක් නැහැ. හැබැයි අපට පක්ෂයක් හැටියට වාසිදායක ඒ පැරණි මනාප ක‍්‍රමය. නමුත් අපි හිතනවා මේ අලූත් ක‍්‍රමය වඩාත් දියුණු ක‍්‍රමයක් කියලා. නමුත් අලූත් ක‍්‍රමය කි‍්‍රයාත්මක කරන්න ගිහින් පමා වීම් ඇතිවනවා නම්, ඒ නිසා දිගින් දිගටම පළාත් සභා ඡන්දය කල් යනවා නම්, පළාත් සභා ක‍්‍රමය පිළිබඳ අපට විරෝධතා තිබුණත් එය ජනතාවගේ පරමාධිපත්‍යයට එල්ල කරන ප‍්‍රබල පහරක්. ඒනිසා පාර්ලිමේන්තුවේ පක්ෂ එකතුවෙලා කතාකර ඔය කියන ස්ථාවරත්වය පිළිබඳව තිබෙන ගැටළු, කාන්තා නියෝජනය පිළිබඳ තිබෙන ගැටළු, වැඩිමනක් වශයෙන් මේ කොට්ඨාස වෙන් කිරීමේදී සිදුවුණාය කියන ගැටළු, අසාධාරණකම් පිළිබඳව විධිමත් සාකච්ඡාවක් ඇතිකරගෙන ඒ සඳහා කල් අරගෙන මේ එළඹෙන මැතිවරණය පරණ ක‍්‍රමයට පැවැත්වුවත් අපේ විරුද්ධත්වයක් නැහැ. එහෙම නැතිනම් එකඟතාවයක් ඇතිකර ගත හැකිනම් යම් යම් සංශෝධන සහිතව අලූත් ක‍්‍රමයට පැවැත්වුවත් අපට ගැටළුවක් නැහැ. කෙසේ හෝ දෙසැම්බර් මාසයේදී අඩුම තරමින් ඒ පළාත් සභා 6 මැතිවරණය පැවැත්විය යුතුයි. හැකි තරම් උත්සාහ කළ යුතුයි අනෙකුත් පළාත් සභා 3 ත් එකතු කරගෙන මේ මැතිවරණ සියල්ලම මේ අවුරුද්දේ පවත්වලා අවසන් කරන්න. මොකද එතකොට ලබන වසරේදී ජාතික මැතිවරණයට මුහුණ දීමේ හැකියාව සෑම පක්ෂයකටම ලැබෙනවා.
එය තමයි අපේ ස්ථාවරය මේ සඳහා සියළු දේශපාලන පක්ෂවලට ආයාචනය කරනවා, ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපතිතුමා පක්ෂ සමුළුවක් කැඳවා මේ පිළිබඳව අවසාන නිගමනයක් ගන්නෙයි කියා අප ඉල්ලා සිටිනවා. මොකද විශේෂයෙන්ම මෙය ආපසු හරවන්නත් 2/3 අවශ්‍ය නිසා. එය පාර්ලිමේන්තුවේ ලබාගැනීමට නම් එකඟතාවය ඉතා අවශ්‍යයි. මොකද මෙය සම්මත කළේ සියළුම දෙනාගේ එකඟතාවයෙන්. එම අවස්ථාවේදී නොයෙකුත් කාරණා පෙන්වා විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් මගහැර සිටියත් අනෙක් සියළු දෙනාගේ එකඟතාවය මෙයට ලැබුණා. ඒනිසා හැකිතාක් දුරට සියළු දෙනාගේම එකඟතාවය අරගෙන හැකි ඉක්මනින් දෙසැම්බර් මාසයේ මේ මැතිවරණ පැවැත්විය යුතුයි කියන යෝජනාව අපි මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. එය තමයි මේ පිළිබඳව අපගේ ස්ථාවරත්වය යයි පැවසීය.
The post පළාත් සභා 9යේම මැතිවරණ එක විට පවත්වන්න – ඇමති චම්පික රණවක. appeared first on Lanka News Column.


0 Comments