Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘රන් සපත්තුව’ හඹා යන සුපිරි තරු 6ක්

වසර හතරකට වතාවක් ලෝක පාපන්දු ක්ෂේත්‍රය උණුසුම් කරවන මහා පාපන්දු සැණකෙළිය ආරම්භ වීමට ඇත්තේ එක් දිනක් පමණි. රුසියාවේදී හෙට (14) ආරම්භ වන 21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අසිරියෙන් ලොවම නැහැවෙද්දී මෙවර තරගාවලියේ බැබලෙන තරු තොරතුරු අන්තර්ජාලය පුරා සැරි සරමින් තිබේ. මේ ගෞරවනීය කුසලානය දිනාගන්නා රට පිළිබඳ අනාවැකි පිට අනාවැකි පළවෙද්දී තරගාවලියේ රන් සපත්තුවට හිමිකම් කියනු ඇතැයි අනාවැකි පළවී ඇති සුපිරි ක්‍රීඩකයන් පිළිබඳ අවධානයත් ඉහළ යමින් තිබේ.

ලයනල් මෙසී

වසර 2014දී ආජන්ටිනාව අවසන් මහා තරගයට රැගෙන ගියත් කුසලානයේ බලාපොරොත්තු බිඳවැටීම නිසා ලයනල් මෙසී අවාසනාවන්ත නායකයකු බවට පත්විය. එවර තරගාවලියේ දී ගෝල් 4ක් වාර්තා කිරිමට සමත්වූ මෙසී රන් පන්දුව සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙසී වසර 2006දී පළමුවරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එක්වූ අතර ඉන් පසුව 2010 සහ 2014 තරගමාලා අතර කැපී පෙනෙන ක්‍රීඩකයකු බවට පත්විය. මෙවර සිය සිවුවැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එක්වන මෙසී මෙතෙක් රැස් කර ඇති ලෝක කුසලාන ගෝල් සංඛ්‍යාව 5කි. ඉන් 4ක්ම වාර්තාවූයේ පසුගිය තරගාවලියේදීය.

31 හැවිරිදි වියෙහි පසුවන මෙසී සිය අත්දැකීම් සහ විශිෂ්ට ක්‍රීඩා රටාවෙන් මෙවර ආජන්ටිනාවට ලෝක කුසලානය දිනාගැනීමට විශිෂ්ට දායකත්වයක් ලබාදෙනු ඇතැයි ද, රන් සපත්තුව සම්මානයෙන් පිදුම් ලබනු ඇතැයි ද පළවී ඇති අනාවැකි සංඛ්‍යාව අතිවිශාලය. ආජන්ටිනාවට ලෝක කුසලානය අත්පත් කරදීමේ මෙසීගේ අවසන් උත්සාහය මෙය වනු ඇත.

නේමර්

පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පළමුවරට බ්‍රසීලය නියෝජනය කළ නේමර් එවර තරගාවලියේ බ්‍රසීලයේ විශාලතම බලාපොරොත්තුව බවට පත්විය. එවර තරගාවලියේ දී ගෝල් 4ක් රැස් කරමින් සුපිරි තරුවක් බවට පත්වූ නේමර් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබීමට සමත්වූවත් එවර තරගාවලියේදී බ්‍රසීලයට හිමිවූයේ සිවුවැනි ස්ථානයයි.

25 හැවිරිදි නේමර් මෙවර රුසියාවට පැමිණියේ වඩාත් පරිණත ක්‍රීඩකයකු ලෙසිනි. ඔහු වටා ගොඩනැගී ඇති බ්‍රසීලයේ දහසක් බලාපොරොත්තු ඉටු කරමින් මෙවර තරගාවලියේ කුසලානය සිය රටට හිමිකරදීම නේමර්ගේ එකම අදිටන වී තිබේ.

 

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ

පසුගිය දශකයේදී ලොව වඩාත්ම අවධානයට ලක්වූ පාපන්දු ක්‍රීඩකයා වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ පෘතුගාලයේ එකම සිහිනය බවට පත්වී සිටී. යුරෝපා පාපන්දු පිටියේ ගෝල් යන්ත්‍රය ලෙස හඳුන්වනු ලැබුවත් මේ විශිෂ්ට ක්‍රීඩකයා වසර 2006 සිට ලෝක කුසලාන පාපන්දු තරගබිමේ මෙතෙක් රැස් කිරීමට හැකිවූයේ ගෝල් 3ක් පමණි. 2006දී පෘතුගාලය සිවුවැනි ස්ථානයට පත්වූ අතර 2010දී දෙවැනි වටයෙන් ඉවතට විසිවිය.

පසුගිය තරගාවලියේදී රොනල්ඩෝගේ සිහින බිඳ දමමින් පෘතුගාලය මූලික වටයෙන්ම ඉවතට විසිවූයේ අදහාගත නොහැකි ලෙසටය. මෙවර තරගාවලියේදී පෘතුගාලය තරග ඉතිහාසයේ පළමුවතාවට අවසන් මහා තරගයට රැගෙන යාම 33 හැවිරිදි රොනල්ඩෝගේ එකම සිහිනය බවට පත්වී තිබේ.

 

ලුයිස් සුවාරිස්

පළමුවරට වසර 2010 දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එක්වෙමින් කැපී පෙනෙන ක්‍රීඩකයකු බවට පත්වූ උරුගුවේ ලුයිස් සුවාරිස් මේ වනවිට ලෝක කුසලාන තරගාවලි 2කදී රැස් කර ඇති ගෝල් සංඛ්‍යාව 5කි. එවර තරගාවලියේදී උරුගුවේ කණ්ඩායම අවසන් පූර්ව වටයට රැගෙන යාමට සුවාරිස්ගේ දස්කම් ඉවහල් විය.

පසුගිය වසරේ තරගාවලියේදී ඉතාලි කණ්ඩායමේ ජියෝජියෝ චිලිනිගේ උරහිස සපාකෑමෙන් ලජ්ජාසහගත අපකීර්තියක් විඳ ගැනීමට සිදුවූ සුවාරිස්ට තරගාවලියේ ඉතිරි තරග තහනම් කෙරිණි. කෙසේවුවත් ඔහු මෙවර තරගාවලියට එක්වී සිටින්නේ සියලු විනය විරෝධී චෝදනාවලින් නිදහස්වය. ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් පසුවන 31 හැවිරිදි සුවාරිස් මෙවර තරගාවලියේදී උරුගුවේ කණ්ඩායම අවසන් මහා තරගය දක්වා රැගෙන යනු ඇතැයි ඇතැම් අනාවැකිවලින් කියැවෙයි.

 ජේම්ස් රොඩ්රිගස්

පසුගිය තරගාවලියේ දී පළමුවරට ලෝක කුසලාන පාපන්දු තරග බිමට එක්වූ කොලොම්බියාවේ ජේම්ස් රොඩ්රිගස් ගෝල් 6ක් වාර්තා කරමින් රන් සපත්තුවට හිමිකම් කීවේ අද්විතීය වාර්තාවක් සමගිනි. 26 හැවිරිදි වියෙහි පසුව රොඩ්රිගස් මෙවර තරගාවලියට එක්වන්නේ වැඩිම අවධානයට ලක්වූ කොලොම්බියානු ක්‍රීඩකයා ලෙසිනි.

සිය කණ්ඩායම රුසියාවේදී අවසන් පූර්ව වටයට ගෙන යාමේ වගකීම කරපින්නාගෙන සිටින රොඩ්රිගස් රන් සපත්තුව හඹා යන ක්‍රීඩකයන් අතර වැඩි අවස්ථාවක් ලබාගනු ඇතැයි විචාරක අනාවැකිවලට පාත්‍රවූ ක්‍රීඩකයෙකි.

තෝමස් මුලර්

ජර්මනියෙන් බිහිවූ ක්‍රීඩකයන් අතර තෝමස් මුලර්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පළමුවරට 2010 තරගාවලියේදී සිය කණ්ඩායම නියෝජනය කළ මුලර් එවර ගෝල් 5ක් රැස් කරමින් වැඩිම ගෝල් සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයාට පිරිනැමෙන රන් සපත්තුව පමණක් නොව හොඳම යොවුන් ක්‍රීඩකයාට හිමි සම්මානයත් දිනාගැනීමට සමත්වූයේ කාගෙත් අවධානයට ලක් වෙමිනි. මේ විශිෂ්ට ක්‍රීඩකයා පසුගිය වසරේදී ජර්මනියට ලෝක කුසලානය දිනාගැනීමට විශිෂ්ට දායකත්වයක් ලබාදුන් මුලර් එවරත් ගෝල් 5ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ගෝල් සංඛ්‍යාවක් වාර්තා කළ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වූයේ ඒ සඳහා රිදී සම්මානය දිනාගනිමිනි.

මෙවර තරගාවලියට ඔහු එක්වන්නේ ලෝක කුසලාන ගෝල් 10ක්ම අතැතිවය. සිය කණ්ඩායමට පිට පිට දෙවැනි වතාවටත් ලෝක කුසලානය දිනාගැනීමට පෙරළිකාර ක්‍රීඩා විලාසයක නිරතවීම ඔහුගේ අරමුණ වී තිබේ. එමෙන්ම මේ වනවිට වැඩිම ලෝක කුසලාන ගෝල් සංඛ්‍යාවක් වාර්තා කර සිටින සිය කණ්ඩායමේ හිටපු සගයා වන මිරෝස්ලව් ක්ලෝස්ගේ ගෝල් 16 වාර්තාව බිඳ දැමීමට 28 හැවිරිදි මුලර්ට කදිම අවස්ථාවක් ලැබී ඇතැයි විචාරකයෝ කියති.

 

 ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();