සංවර්ධනය සහ සංහිඳියාව කරා ගමන් කරන ශ්‍රී ලංකාවට ජපානයේ උපරිම සහාය ලබාදීමට සූදානම් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු ඇමැති තාරෝ කෝනෝ මහතා ඊයේ (05) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.
ජපාන විදේශ ඇමැතිවරයකු මෙරට සංචාරයක නිරතවන්නේ වසර 15 කට පසුව වීම ද විශේෂත්වයකි.
මෙහි දී ජපාන විදේශ ඇමැතිවරයා සඳහන් කළේ දෙරට අතර හොඳ ව්‍යාපාරික සබඳතාවක් මේ වන විට පවතින බවත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා පිළිබඳ තව දුරටත් සොයා බැලීමට විශේෂ නියෝජිත පිරිසක් මේ මස අගදී ශ්‍රී ලංකාවට එවන බවත්ය. ශ්‍රී ලංකා - ජපාන ඓතිහාසික මිත්‍රත්වය මෙහි දී සිහිපත් කළ ජනාධිපතිවරයා සැබෑ මිතුරකු ලෙස ජපානය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් ලබාදෙන සහාය කෘතවේදීව අගය කළේය.
විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික, සංස්කෘතික සහ යටිතල පහසුකම් ක්ෂේත්‍ර සඳහා ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහාය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්විය.
එමෙන්ම පසුගිය යුද සමයේ දී දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳ ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ජපානයේ පැවැති ජී - 7 සමුළුවට සහභාගි වූ අවස්ථාවේදී තමා වෙත ලබා දුන් ඉහළ පිළිගැනීම වෙනුවෙන් ද ජපාන විදේශ ඇමැතිවරයා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.
විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගානුමා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
0 Comments