ව්‍යවස්ථා සංශෝධනය-නව ක්‍රීඩා සංගම් ලියාපදිංචිය මතභේදයට තුඩු දෙයි
නිලධාරීන්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් වරින් වර කල් දැමීමට සිදුවූ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ජාත්‍යන්තර සහ ආසියානු ඔලිම්පික් කමිටුවේ කණ්ඩායමක නිරීක්ෂණය මැද පෙබරවාරි මස 23 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබේ. පසුගියදා පැවැති ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභා රැස්වීමේදී මේ තීරණය ගනු ලැබීය. ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට නාමයෝජනා බාරගැනිමේ අවසන් දිනය ලෙස පෙබරවාරි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කර තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ලබා සිටින ක්‍රීඩා සංගම් 26 අතරට නව ක්‍රීඩා සංගම් 5ක් අලුතින් ලියාපදිංචි කිරීම ද මේ විශේෂ මහ සභා රැස්වීමේදී සිදුවී තිබේ.
නූතන පංච ප්‍රයාම, රගර්, රෝද සපත්තු ක්‍රීඩා, කරාතේ දෝ සහ බේස්බෝල් ජාතික ඔලිම්පික් කමිටුවේ ඡන්ද හිමි නව ක්‍රීඩා සමාජ ලෙස එදින ලියාපදිංචි කිරීමට තීරණය කර ඇත. අලුතින් ලියාපදිංචි වූ ක්‍රීඩා සමාජ 5ම ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු නිලධාරීන්ට පක්ෂපාතී ක්‍රීඩා සංගම් බවට චෝදනා එල්ලවීමෙන් මහ සභා රැස්වීම උණුසුම් වී තිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් විශේෂ මහ සභා රැස්වීමට සහභාගි වූ ක්‍රීඩා සංගම් නියෝජිතයන් අතර උණුසුම් තත්ත්වයක් පැන නැගී ඇතැයි වාර්තා වෙයි. ඔලිම්පික් කමිටුවේ ව්‍යාවස්ථාවට අනුව නිලවරණය සහ නාමයෝජනා කැඳවීමට එහි සභාපතිවරයාට ඇති බලතල ලේකම්වරයාට පැවැරීම සහ තවත් සුළු සංශෝධන කිහිපයක් සිදුවිය යුතු බවට එහිදී ඇතැම් ක්‍රීඩා සංගම් නියෝජිතයන් පෙන්වා දී තිබේ. එවැනි සුළු සංශෝධන කිරිම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුමැතිය ලැබී ඇතැයි ද වාර්තා වෙයි.
එසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචිය මෙතෙක් ලබා නොමැති තුන්ප්‍රයාම ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ පත්වීමත්, ජූඩෝ සංගමයේ උපභාණ්ඩාගාරික ලෙස ඔලිම්පික් කමිටුවේ වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ පත්වීමත්, හෑන්ඩ්බෝල් ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස ඔලිම්පික් කමිටුවේ වත්මන් භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතාගේ පත්වීමත් ක්‍රීඩා පනතට පටහැනි බවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කිරීමත් සමග ඔවුන්ගේ නව තනතුරු අහෝසිවීමේ පසුබිමක් ද නිර්මාණය වී තිබේ. එසේ වුවහොත් ඔලිම්පික් නිලවරණයේදී තනතුරු සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව මැක්ස්වෙල් ද සිල්වාට සහ ගාමිණි ජයසිංහ මහත්වරුන්ට අහිමිවීමේ අවදානමක් ද මතුවනු ඇතැයි වාර්තා වෙයි.
ක්‍රීඩා පනතේ නව රෙගුලාසිවලට අනුව යම් ක්‍රීඩා සංගමය නිලතල දරමින් සිටි කාලයේ විගණන වාර්තා ලබා දීමට අසමත්වන නිලධාරීන්ට කිසිදු සංගමයක නිලතලවලට පත්වීමට හැකියාවක් නොමැති බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත.
වසර ගණනාවක් අඛණ්ඩව ඔලිම්පික් කමිටුවේ විගණන වාර්තා ලබා නොදී ඉහත කී නිලධාරීන් වෙනත් ක්‍රීඩා සංගම්වල නිලතලවලට පත්වීමට එරෙහිව කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා සූදානම් වෙයි. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.
එසේ වුවත් රජයේ විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ වසර 2012 සිට වසර 2015 දක්වා කාලය තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ විගණන වාර්තා දැනටමත් අනුමත කර අවසන් බවද, නිලවරණයට පෙර පසුගිය දෙචසරක කාලයේ විගණන වාර්තාවත් අනුමත කරගැනිමට මැක්ස්වෙල් ද සිල්වා මහතා කටයුතු යොදා ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
වසර 2004න් පසුව පළමු වරට ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කරුණු රැසක් මීට පෙර පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක්වී තිබූ අතර එහිදී සම්මත කරගත් ඇතැම් කරුණු සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුමැතිය ලැබී තිබිණි.
එහිදි නව ක්‍රීඩා සංගම් 7ක් ලියාපදිංචි කිරීමට කටයුතු සුදානම් කර තිබුණත් තුන් ප්‍රයාම සහ කඩු හරඹ ක්‍රීඩා සමාජ පමණක් එහිදී ලියාපදිංචිවූ අතර ඉතිරි ක්‍රීඩා සමාජ 5 ප්‍රතික්ෂේප කර තිබිණි.
මෙවර නිලවරණයට හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා තරග නොකිරීමට තීරණය කරනු ලැබුවත් හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු සෙසු නිලධාරීන් නැවත තරග කිරීමට තීරණය කර ඇත.
මෙවර ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදි සභාපතිධුරයට රුවල් ඔරු සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු සහ ටෙනිස් සංගමයේ හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහත්වරු තරග වැදිමට නියමිතය. ලේකම් ධුරය සඳහා වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සහ බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා තරග වැදීමට නියමිත බව වාර්තා වෙයි.
ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් තනතුරට නැවත පත්වීමේ මාර්ගය සකස් කර ගනිමින් ජුඩෝ සංගමයේ උපභාණ්ඩගාරික තනතුරට මැක්ස්වෙල් ද සිල්වා මහතා පත්වූවත් ඔහු මෙවර ඔලිම්පික් කමිටුවේ ලේකම් තනතුරට යළි තරග වැදීමට නියමිතව ඇත්තේ ටෙනිස් සංගමයේ හිටපු සභාපතිවරයා ලෙස බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ටෙනිස් සංගමයේ ව්‍යවස්ථාවට අනුව හිටපු සභාපතිවරයා එම සංගමයේ බලතල හිමි ක්‍රියාකාරී තත්ත්වයේ පවතින තනතුරක් බව ද වාර්තා වෙයි. එසේ වන්නේනම් ජූඩෝ සංගමයේ උපභාණ්ඩාගාරික ලෙස මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ පත්වීම ක්‍රීඩා නිතිය යටතේ අහෝසිවුවත් ඔහුට මෙවර ඔලිම්පික් කමිටු නිලවරණයේදී ලේකම් ධුරයට තරග කිරීමේ අවස්ථාව ටෙනිස් සංගමය මගින් උදාවනු ඇතැයි ද වාර්තා වෙයි.
වත්මන් ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා 1997 වසරේ සිට එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ඔහු මෙවර නිලවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ. ඔලිම්පික් කමිටුවේ වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සිය තනතුරෙහි කටයුතු කරමින් සිටින්නේ 2009 වසරේ සිටය. භාණ්ඩාගාරිකවරයා ලෙස ගාමිණී ජයසිංහ මහතා කටයුතු කරමින් සිටින්නේ වසර 12ක කාලයක සිටය.
0 Comments