විවිධ ජන කොටස් අතරේ ප්‍රශ්න හා ගැටලු පසුගිය දශක කිහිපය පුරා අපේ රටේ දක්නට ලැබුණ ද පන්සල, පල්ලිය සහ කෝවිලේ ආගමික නායකයන් අතර ගැටුමක් ඇති නොවූ බව සිහිපත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැරැදි මඟ යන සමාජය සුවපත් කිරීමට ආගමික දේශනා, අවවාද සහ අනුශාසනාවලින් හැකි බව ද කියා සිටියේය.
සියලු ආගමික දර්ශනයන්ගේ මඟපෙන්වීම වන සංහිඳියාවේ සහ සහජීවනයේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට නායකත්වය ගන්නා ලෙස ද සියලු ආගමික නායකයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති සර්ව ආගමික සහජීවන සමුළුව අමතමිනි.
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් ආගමික සහජීවන සමුළුව සංවිධාන කර තිබුණි.
රට බෙදීමට සටන් කළ ත්රස්තවාදීන් යුදමය වශයෙන් පරාජය වුව ද මතවාදී ලෙස පරාජයට පත්වී නොමැති අතර, මතවාදයක් පරාජයට පත් කළ හැක්කේ තවත් මතවාදයක් තුළින් බව ද පැවසූ ජනාධිපතිවරයා නැවත රටේ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතබමින් රටේ සංහිඳියාව සහ සහජීවනය ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වීම සියලුදෙනාගේ වගකීමක් බව ද සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කඩිනමින් සියලුදෙනා ඒකරාශීවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් ආගමික සහජීවන කමිටු පිහිටුවා රටේ සියලු ජනතාව සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
අමරපුර නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිහිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පහමුණේ සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, රාමඤ්ඥ නිකායේ ලේඛකාධිකාරී අත්තන්ගනේ සාසනරතන හිමි, ප්රමුඛ මහා සංඝරත්නය ද හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගමික නායකයන්ද, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන්, ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රාජ්‍ය ඇමැති ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු, විදේශ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
0 Comments