Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝලිගේ ගෝලේ මධුසමයෙන් ද තේරේ !

 මොහාලි නුවර ඊයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ඉන්දීය පිල ශ්‍රී ලංකා පිලට ලබා දුන්නේ දැවැන්ත ඉලක්කයකි. වසර ගණනාවකට පසුව පළමුවතාවට ඔවුන්ගේ නිත්‍ය නායකයා විරාත් කෝලි නොමැතිව ක්‍රීඩා කරන ඉන්දීය පිලට මේ තරගයෙන් ජය ලබා තරගාවලිය සමකර ගැනීමට අවශ්‍ය වී තිබුණේ ද එවැනි ඉලක්කයකි.
ඔවුන් මේ දස්කම පෑවේ කාලයක් තිස්සේ බොලිවුඩ් සිනමාවේ සුරූපී නිලි අනුෂ්කා ෂර්මා පස්සේ වැටී සිටි ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඉතාලියේදී ඇය හා අතිනත ගැනීමේ ප්‍රීතිය භුක්ති විඳමින් සිටින අතරතුරදීය. එය එක් අතකින් ඉන්දීය පිල ඔවුන්ගේ ආදරණීය නායකයාට දුන් අපූරු මංගල තෑග්ගකි.
ජයග්‍රහණය සිය ජීවිතයේ අරමුණ (GOAL) බවට පත් කරගත් මේ අසහාය පිතිකරුවාට ඉන්දීය පිලේ සාර්ථකත්වය අනුෂ්කා සමග නිදහසේ මධුසමය ගත කිරිමට කදිම උත්තේජනයක් ලබා දුන්නේය.
වසරේ විවාහය ලෙස ඉන්දීය මාධ්‍යවේදින් හඳුන්වා දුන් කෝලිගේ සහ අනුෂ්කාගේ විවාහය තවමත් ඉන්දියාවේ මෙන්ම ලොව පුරා මාධ්‍ය අතර තවමත් උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගමාලාවෙන් පසුව එක්දින හා විස්සයි20 තරගාවලියෙන් නිවාඩුවක් ලබා ගත් මේ ක්‍රිකට් ලෝකයේ අංක එකේ පිතිකරුවා නිවාඩුවක් ගෙන හදිසියේම ඉතාලිය බලා පියාසර කිරීම පසුපස ඇති රහස සොයා දැනගැනීමට එරට මාධ්‍යවේදින්ට සහ ක්‍රීඩාලෝලීන්ට රාත්‍රීන් කිහිපයක්ම නොනිදා පහන් කිරීමට සිදුවිය.
වසර 2013දී ඇරැඹුණු විරාත් - අනුෂ්කා පළහිලව්ව කාලයක් පුරා එරට මාධ්‍ය අතර පුවත් මවන්නට පටන්ගත්තේ බොලිවුඩයත්, ක්‍රිකට් පිටියත් අතර ඇතිවෙන පෙම් ගිණුම්වලට වැඩි ආයුෂ නැති බැවිනි. මුලදී කවුරුත් සිතුවේ කෝලිගේ පෙම් කතාවත් එසේ කෙළවර වනු ඇතැයි කියාය.
බොලිවුඩ් සිනමාවේ සුරූපි නිලියන් සමග හාදවී සිටින බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් ඉඳහිට එසේ නිවාඩු ගැනීම පුදුමයක් නොවීය. එවැනි නිවාඩුවලදී සිය පෙම්වතිය කැටුව ලොව පුරා සංචාරය කරමින් ක්‍රීඩකයන් ඔවුන්ගේ පෙම් පළහිලව්ව අලුත් කරගන්නා බවත් ඉන්දියාවට අමුතු රහසක් ද නොවේ. කොහොමටත් ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ බොලිවුඩයේ රූමත් නිලියන් අතර ඉතිහාසය පුරාම තිබුණේ එවැනි කතන්දරය.
ඒවා දීර්ඝ ඉතිහාස කතාය. දශක ගණනාවකට පෙර ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ බලවතකු බවට පත්වී සිටි මන්සූර් අලි ඛාන් පතාවුදි සුරූපි බොලිවුඩ් නිලි ශර්මිලා තාගෝර් සමග විවාහවීමේ සිට මොහොමඩ් අසාරුදීන්ගේ සහ සංගීතා බිජිලානිගේ විවාහයත්, මෑතකදී සහීර් ඛාන්ගේ සහ සාගරිකා ගාට්ගේ විවාහයත් දක්වා ඒ අපුරු ඉන්දීය ක්‍රිකට් - බොලිවුඩ් සම්බන්ධතාව වරින් වර අලුත් විය.
ක්‍රිකට් ක්‍රීඩකයන් සහ බොලිවුඩ් නිලියන් අතර ඇතිවෙන පෙම් ගිණුම් ඇරුණු හැටියේම වැහෙන ජාතියේ ඒවාය. සෑහෙන ඉතිහාසයක් ඇති මේ කතන්දරයට අන්තිමේදී කෝලිත් පැටලුණේය. කවුරුත් කියන්නේ රිදී තිරය රත් කරන මේ නිලියෝ ඉන්දීය ක්‍රිකට් පිලට අලුතෙන් එන ක්‍රීඩකයන් පවා ඇසුරු කරන්නට ලොල් බවය.
නවදිල්ලියේ පන්ජාබ් පවුලක ඉපදුණු 29 හැවිදිරි විරාත් කෝලිගෙත්, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අයෝධ්‍යා නුවර උපන් ඔහුට වඩා මාස 6ක් වැඩිමල් අනුෂ්කා ෂර්මාගෙත් පෙම් කතාව ගැනත් කවුරුත් හිතුවේ එහෙමය. ඇරත් කෝලි නායකත්වය දරන ඉන්දීය පිලේ පුහුණුකරු රවී ශාස්ත්‍රිගේ තරුණ කාලය එහෙම පිටින්ම නාස්තිවී ගියෙත් ඔහු එකල බොලිවුඩ් තිරය කුල්මත් කළ සරාගී නිලි අම්රිතා සිං සමග ඇතිකර ගත් පෙම් පළහිලව්ව නිසා බව කවුරුත් දනිති. කෝලිගේ පෙම් කතාවත් එසේ වනු ඇතැයි මුලදී කවුරුත් සිතූහ.ඒත් ඒ සියල්ල ඉතාලියේදී බොරුවක් බවට පත් කළ කෝලි සහ අනුෂ්කා සිය පවුලේ සාමාජිකයන් පමණක් සහභාගි වූ අතිශයින්ම පෞද්ගලික උත්සවයකදී විවාහ දිවියට ඇතුළත් වූහ.
දෙසැම්බර් 12 දා කෝලි- අනුෂ්කා යුවළ විවාහ වීමට නියමිත බවටත්, විවාහය සිද්ධවෙන්නේ ඉතාලියේදී බවටත් කසුකුසු පැතිරී ගියේ පසුගිය සතියේ සිටමය. කොහොමත් දෙන්නා නිවාඩුව ගත කරන්න වරින් වර පිටරට යද්දී මෙවැනි කතා ඉන්දීය මාධ්‍යවල ඇති තරම් පතුරු ගසන නිසා කවුරුත් ඒ ගැන වැඩිපුර හොයන්නට ගියෙත් නැත.
මුලින්ම කතාව ගියේ අනුෂ්කා ෂර්මා මුම්බායි ගුවන් තොටුපළින් ඉතාලියට පිටත් වූ බවය. පසුව විරාත් කෝලි නවදිල්ලි නුවර ගුවන් තොටුපලෙන් ඉතාලියට ගිය බව වාර්තා විය.
කෝලි අනුෂ්කා දෙන්නා බඳීවිද නැද්ද බඳීවිද නැද්ද කිය කියා දෙගිඩියාවට පත්වී සිටි ඉන්දියාවේ ඕපාදූප සොයන්නන්ගේ නළල් තලයේ රැලි නැගුණේ කෝලි සහ අනුෂ්කාගේ විවාහ මංගලෝත්සවයේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමත් සමගය. ඒවා පෙරේදා දවසේ ලොව පුරා වැඩිම ප්‍රතිචාරයක් වගේම අවධානයක් දිනාගත් ඡායාරූප බවටත් පත්විය.මෙහෙන්දි ගෑමේ හින්දු සම්ප්‍රදායික උත්සවයකින් වර්ණවත් වූ දෙන්නගේ විවාහයේදී කෝලි සිය පෙම්වතියට පැළඳවූයේ ඉතා දුර්ලභ දියමන්තියක් ඇල්ලූ මුදුවකි. මේ මුදුව තෝරාගැනීමට කෝලිට මාස 3ක්ම ගතවීය. ආරංචියේ හැටියට නම් මුදුවේ වටිනාකම දෙන්නගේ විවාහ උත්සවයට වෙන් කළ ශාලාවට ගෙවූ මුදලටත් වඩා වැඩිය.
‘මේ මුද්ද රුපියල් කෝටියක්. ඒත් එයා මට කෝටියකට වඩා වටිනවා‘
අනුෂ්කාට මුදුව පැළඳවීමෙන් පසුව කෝලි එහෙම කීවේය.
ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් සිදුකෙරුණු මේ විවාහයෙන් පසුව රාත්‍රිය විනෝදයෙන් පිරී ඉතිරී ගිය එකක් විය. එය ‘ආෆ්ටර්‘ පාටියකි. කෝලි සහ අනුෂ්කා දෙන්නම නටන්න උපන් හපනුන් නිසා මේ පාටිය ඉතා රසවත් වූ වී තිබිණි.
ලොව පුරා මාධ්‍ය අතර වැඩිම අවධානයක් දිනූ විරාත් කෝලිගේ සහ අනුෂ්කා ෂර්මාගේ විවාහය ඉන්දියාව අතින් බැලූ විට රාජකීය විවාහයකි. දෙන්නගේ වත්කම් දැන් එකට එක්වී ඇති අතර එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 600කට වඩා වැඩිය. එය තවත් වසර දෙකක් තුළ කෝටි දහස ඉක්මවනු ඇතැයිද මේ යුවල ඉන්දියාවේ වඩාත්ම බලවත් යුවල වනු ඇතැයි ද දැනටමත් විචාරකයෝ අනාවැකි පළකරන්නට පටන් ගෙනය. පසුගියදා අනාවරණය වූ පරිදි කෝලිගේ වත්කම ඉන්දිය රුපියල් කෝටි 382කි. අනුෂ්කාගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි 220කි.
සිය විවාහයෙන් පසුව ඉතාලියෙන් පිටත්වූ මේ නව යුවල කෙටි මධුසමයක් ගත කිරීමට රෝමය බලා පිටත්ව ගියහ. ඉන් පසුව නැවත ඉන්දියාවට පැමිණ සිය හිතමිතුරන් වෙනුවෙන් උත්සව දෙකක් පැවැත්වීමට ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති. අනතුරුව එළැඹෙන ඉන්දීය පිලේ දකුණු අප්‍රිකානු සංචාරයටත් අනුෂ්කා එක්වනු ඇත.
ක්‍රිකට් පිටියේදී ඉතා මුරණ්ඩු ක්‍රීඩකයකු වන කෝලි ඉන් පිටතදී පුදුමාකාර සෙල්ලක්කාරයෙකි. නැටුමට උපන් හපනකු වන ඔහු ප්‍රිය සාද පවත්වන්නට රුසියෙකි. ඒවාට අත දිග හැර මුදල් වියදම් කරන්නටත් පසුබට වන්නේ නැත. ඒත් දැන් ඒවා කරන්නට අනුෂ්කාගෙන් අවසර ලබාගත යුතුව තිබේ. පිටියේදී ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ යෝකර්, බවුන්සර් පන්දු හඹා යමින් ලකුණු රැස් කරන කෝලිට දැන් නම් අනුෂ්කාගේ පන්දු හමුවේ කට උත්තර නැතිවනු ඇත. කෝලිට දැන් සිය මිතුරන් සමග ප්‍රිය සාද පවත්වන්නට නම් අනුෂ්කාගෙන් ඉඩක් නොලැබෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. වසරකට ඉන්දීය රුපියල් කෝටි 120ක් පමණ උපයන කෝලිට අනාගතය ගැන සිතා දැන් ඒවා පරිස්සමින් පාවිච්චි කිරිමට සිදුවනු ඇත. මර්සිඩිස් බෙන්ස්, අවුඩි, බී.එම්.ඩබ්ලිව්, වොක්ස් වැගන් වැනි මිළ අධික මෝටර් රථ අඩුම තරමින් 6කටවත් හිමිකම් කියන කෝලිට හිතෙන හිතෙන වෙලාවට මිතුරන්ට පාටි දැමීමට අනුෂ්කාගෙන් ඉඩක් ලැබේවිදැයි සැක සහිතය.
යුද හමුදා කර්නල්වරයකුගේ දියණියක වන අනුෂ්කාට මුලදී හිතුණේ හමුදාවට බැඳිමටය. පාසල් වියේ සිටම විසේකාර කෙල්ලෙක් ලෙස ප්‍රචලිතව සිටි අනුෂ්කා නිළියක වූයේ අහම්බයෙනි. ඉන්දීය මාධ්‍ය බලා සිටින්නේ එවැනි හමුදා නීතිරීති මැද හැදුණු වැඩුණු අනුෂ්කා සමග ගෙවෙන කෝලිගේ ජීවිතය කෙබඳු ස්වරූපයක් ගනීවිදැයි යන්නයි.
සටහන-ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();