Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 205කින් නවතී

ඉන්දියාව 11/1යි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඊයේ නාග්පූර්හිදී ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 205කට දැවී ගියේය.

පළමු දිනයට ක්‍රීඩාව නතර කරනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 11ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව කඩුලු 9ක් අතැතිව සිටින ඉන්දියාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 194කින් පසුපසින් සිටී.

මුරලි විජේ හා චෙටේස්වර් පුජාරා ලකුණු 2 බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

දැවී ගිය පිතිකරු වු ලෝකේෂ් රාහල්ට ලබාගත හැකිවූයේ ලකුණු 7ක් පමණි.

මේ තරගාවලියේ පිට පිට දෙවැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව දිමුත් කරුණාරත්න සමගින් ඉනිම ඇරැඹු සදීර සමරවික්‍රම වේගවත් ආරම්භයක් ලබාදීමට උත්සහ කළද ලකුණු 13කට ඔහුගේ ඉනිම සීමා කිරීමට ඉෂාන්ත් ශර්මා සමත් වූයේ චෙටේස්වර් පුජාරා ස්ලිප්හී සිට උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

මුළු ලකුණු 20දී පළමු කඩුල්ල බිඳ වැටුණු අතර දිමුත් සමගින් දෙවැනි කඩුල්ලට එක්වූ ළහිරු තිරිමාන්නගේ සබඳතාව දිවා විවේකයට ඕවර 2ක් තිබියදී ලකුණු 24කින් නිමා කිරීමට රවිචන්ද්‍රන් අශ්වින් සමත් විය. පන්දු 58කට මුහුණදුන් තිරිමාන්න ලකුණු 9ක් රැස් කළේය. දිවා විවේකය සඳහා තරගය නතර කරනවිට කඩුලු 2ක් දැවී ලකුණු 47ක් ලබාසිටි ශ්‍රී ලංකා පිල සවස තේ පානය වනවිට තවත් ලකුණු 104ක් රැස්කර ගත්තේය. ඒ අතුරතුර ඔවුන්ට කඩුලු 2ක් අහිමි විය.

දිවා විවේකයෙන් ටික වේලාවකට පසුව රවින්ද්‍ර ජඩේජා, ඇන්ජ‍ලෝ මැතිව්ස්ගේ ඉනිම ලකුණු 10කට සීමා කරමින් ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. එම තීරණයට අභියෝග කරමින් මැතිව්ස් තෙවැනි විනිසුරු සහය පැතුවද ඔහුගේ තීරණයද එයම විය.

අනතුරුව කරුණාරත්න සමගින් එක්වූ නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 122 දක්වා ඉදිරියට ගෙන ගියේය. තේ පානයට පෙර දැවී ගිය අනෙක් පිතිකරුවා වූයේ දිමුත් කරුණාරත්න ය. 14වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කළ ඔහු ලකුණු 51ක් ලබාසිටියදී ඉෂාන්ත් ශර්මා හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. පන්දු 147කට මුහුණදුන් කරුණාරත්නගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය. මේ සමග කරුණාරත්න මේ වසර තුළ ටෙස්ට් ලකුණු 1000ක් රැස්කළ දෙවැනි පිතිකරු ලෙසද වාර්තා විය. ඔහු ලකුණු 1000 ඉනිම 23කදී පසුකළ අතර දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගාර් ඉනිම 20කදී ලකුණු 1097ක් රැස්කර තිබේ.

ලකුණු 62කින් ගොඩනැගුණු කරුණාරත්න-චන්දිමාල්ගේ සිවුවැනි කඩුල්ලේ සබඳතාව අතරතුර චන්දිමාල් ලකුණු 22ක් ලබාගැනීමත් සමග ටෙස්ට් ලකුණු 3000 සීමා පසුකිරීමට සමත් විය.

චන්දිමාල්ට එක්වූ නිරෝෂන් දික්වැල්ල 5වැනි කඩුල්ලට ලකුණු 38කට සබඳතාවකින් පසු යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට රවින්ද්‍ර ජඩේජා සමත්වූයේ ඉෂාන්ත් ශර්මා උඩ පන්දුවක් රැක ගැනීමෙනි. පන්දු 30කට මුහුණදුන් දික්වැල්ල හතරේ පහර 4ක් සමගින් ලකුණු 24ක් රැස් කළේය.

ලකුණු 160දී දික්වැල්ල දැවී ගිය අතර තවත් ලකුණු 5ක් එක්වෙද්දී කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දසුන් ශානකගේ ඉනිම ලකුණු 2කට සීමා කිරීමට රවිචන්ද්‍රන් අශ්වින්ට හැකි විය.

රවින්ද්‍ර ජඩේජා යැවූ 69වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ඩිල්රුවන් පෙරේරා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බවට විනිසුරු රිචඩ් කෙටල්බරෝ විසින් තීරණය කළේය. එහෙත් එම තීරණයට අභියෝග කළ පෙරේරා විනිසුරු තීරණ විමසීමේ සහයෙන් කඩුල්ලේ රැදී සිටිමේ වාසනාව උදාකර ගත්තේය. ජඩේජා යැවූ ඊළඟ පන්දුවට ඩිල්රුවන් හයේ පහරකින් සංග්‍රහ කළේය. එහෙත් යළි ක්‍රියාත්මකවූ ජඩේජා ඔහුගේ ඊළඟ ඕවරයෙන් පෙරේරා යළි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. එවරත් ඩිල්රුවන් තෙවැනි විනිසුරු සහය පැතුවද පලක් නොවුණි. ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 15ක් පමණි. මුළු ලකුණු 184දී පෙරේරා දැවී ගිය අතර ඊළඟ ඕවරයෙන් චන්දිමාල් දවා ගැනීමට අශ්වින් සමත් විය. 14වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස පන්දු 122කදී හතරේ පහර 4ක් හා හයේ පහරක් සමගින් ලකුණු 57ක් ලබාසිටි චන්දිමාල් දැවී ගියේද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.

මුළු ලකුණු 205දී සුරංග ලක්මාල් (17) හා රංගන හේරත් (4) දැවී යෑමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාවට පත්විය. ශර්මා තෙවැනි කඩුල්ල ලෙස ලක්මාල් දවා ගැනීමට සමත්වූ අතර අශ්වින් සිවුවැනි කඩුල්ල සටහන් කරමින් රංගන හේරත් පිටියෙන් ඉවත් කළේය.

පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 67කට කඩුලු 4 දවාගත් අතර ඉෂාන්ත් ශර්මා හා රවින්ද්‍ර ජඩේජා කඩුලු 3 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා පිල පළමු තරගයට එක්වූ කණ්ඩායම ම මේ තරගයටත් එක්කළ අතර ඉන්දියාව වෙනස්කම් 3ක් සිදුකර තිබිණි. පළමු තරගයට එක්වූ බුවනේෂ්වර් කුමාර්, ශිකර් ධවාන් විවේක ගැනීම හේතුවෙන් රෝහිත් ශර්මා හා මුරලි විජේ ද, මොහොමඩ් සාමි ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉෂාන්ත් ශර්මාද කණ්ඩායමට කැඳවා තිබේ.

අද තරගයේ දෙවැනි දිනයයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();