පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්වය හේතුවෙන් දෙනියාය ආසනයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පූර්ණ හානියට ලක්වූ නිවාස සහ අවදානම් තත්වයට පත්ව ඇති බවට හඳුනාගත් නිවාස 182ක් සඳහා ආධාර ලබාදීමට රජය කටයුතු සූදානම් කර ඇත.

මේ අනුව විපතට පත් පුද්ගලයින් සඳහා නව නිවසක් ඉදිකරගැනීමට රුපියල් ලක්ෂ 12ක මුදලක් ලබාදෙන අතර එම නිවාස වල මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා මුලින්ම රුපියල් ලක්ෂ 02ක මුදලක් ලබාදීමට තීරණය කර ඇත.

මාතර දිස්ත්‍රික්කය තුල මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ පළමු අවස්ථාව සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් 04ක් සඳහා නව නිවාසවල වැඩ ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ චෙක් පත් ප්‍රදානය කිරීම පසුගිය 25වැනිදා මොරවක, නයාමුල්ල ඒ මහතාගේ කාර්යලයේදි සිදුවිය.

එම අවස්ථාවට කොටපොල ප්‍රාදේශීයලේකම් ගනේෂ අමරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.