පොළොව පැතූ මහ වැසි වෙනුවට කඩින් කඩ ඇදහැලෙන වැස්ස ගොවියොගේ අපේක්ෂාද සිඳ-බිඳදමයි.
“ආකාහේ අපට තමා අරියාදු කරන්නේ.” කුඩම්මාවකගේ අතෝරයකට ලක් වූ නොදරුවකු මෙන් ඔහු ගතු කියයි.
“දැන් නං ඉතිං වැස්සත් එකයි. නොවැස්සත් එකයි.” කලකිරීමෙන් පිරුණු ඒ හඬම ගොවියාගේ අපේක්ෂාභංගත්වයට කදිම සාක්ෂියකි.
“නොවැස්සොත් ගොවිතැනක් බතක් කරකියාගන්නෙ කොහොමද අපි...? අවුවෙ කරකුට්ටං වෙවී පොළොව මත්තෙ නැහුණා කියලා පලක් තියේද? එළවළු ටික විකුණගන්න හැටියක් කොයි..? ගොවියා ඔය ආර්ථික මධ්‍යස්ථානවල තැප තැප විඳින දුකක් දකින එකෙක් ඉන්නවද මේ රටේ? වෙලාවකට අපේ දුකට උණු වෙනවා තමා. ඒකෙනුත් තමුන්සට වාසියක් ගන්ඩ. එහෙම නැතුව හැබෑවට අපි ගැන හිතන එකෙක් මෙච්චර කාලෙකට හිටියෙත් නෑ... ඉස්සරහටත් ඒක එහෙම තමා...”
ඒ තරුණ ගොවියාගේ ආවේගය මම මඳහසකින් ඉවසමි. ඔහු කෝපයෙන් හා අප්‍රසාදයෙන් වුව කියන්නේ ඇත්තකි.
“එළවළු ගොඩගැහුණම තමා විකුණගන්න දඟලන්නේ. හරි නං අපේ කුඹුරට හේනට කොරටුවට ඇවිල්ලා අපේ අස්වැන්න ඇන්න යන්ඩ එපැයි. අපි මොකටද තවත් ණය වෙවී වාහනවලට හයර් ගෙවාගෙන ඔය නිදි මරන නගරවල දුක් විඳින්නේ...”
ඒ නම් මසුරන් කියමනකි.
මෙහිදී අර පරණ පුරුදු මන්තරේ පුනපුනා මතුරන්නට සිදු වෙයි. අපේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට සේම කෘෂි කර්මාන්තයටද ජාතික ප්‍රතිපත්තියක් වුවමනා බව විද්වත් මතයයි. ඈත පිටිසර ගොවියන්ද මේ කියන්නේ ඒ විද්වත් මතය ම නොවේද?
වසර කිහිපයකට වරක් ආණ්ඩු පෙරළිය සිදු වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මාහැඟි ලක්ෂණයක් බව සැබෑය. එහෙත් බලයට පත් වන දේශපාලන පක්ෂයට අවැසි අන්දමින් රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය හා කෘෂිකර්මාන්තය විටින් විට කොළ නිල් පැහැ ගැන්විය යුතුද? එය කොතරම් අඥාන හා අදූරදර්ශි ක්‍රියා දාමයක්ද?
“මේ කාලෙ නම් ඉතින් කොරොනාව එක්කලා හැමදේම අවුල් නේ...” මගේ වචන කඩි රැළක් මත පතිත වූ උණු අළු අහුරක් විය.
“අප්පේ ඔව්. මේ වසංගතයට කලින් මේ රටේ හැම දේම බොහොම පිළිවෙළට අපූරුවට තිබ්බා!”
හිරුද මහ පොළොවද එකට එක්ව උදුරාගත් කාය ශක්තිය පිළිබඳ උරණ වන කලෙක මෙන් ඒ මහලු ගොවියාගේ බෙලහීනව ගිය සිරුර කැස්සකින් සලිත වෙයි. දරිද්‍රතාව හා ලෙඩ දුක් පමණක් උරුම වන්නේ නම් අපේ තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඈත් වීමේ වරදක් තිබේද?
නවීන යන්ත්‍රසූත්‍ර කුඹුරට ආවද ගොවියාගේ ජීවන රටාවේ සැලකිය යුතු වෙනසක් සිදු වී නැත. සමෘද්ධි සහනාධාර ලබන ගොවීන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු පරිද්දෙන් ඉහළ නැංවී තිබේද?
කොරෝනා වසංගතයෙන් බැටකන ගොවීන් පිළිබඳ ආසන්නතම නිදසුන ගස්ලබු ගොවියාය. ගස්ලබු කිලෝව රුපියල් පහ-හය තෙක් පහළ වැටෙන්නේ නම් කෘෂිකර්මාන්තය පිළිබඳ මේ රටේ කිසිදු ප්‍රතිපත්තියක් හෝ කාල සැලසුමක් නැති බව පසක් නොවේද? ගම්මිරිස් හා බඩඉරිඟු ගොවියා පිළිබඳවද විටින් විට අසන්න ලැබුණේ සුබ පුවත් නොවේ. වී ගොවියා නම් කන්නයක් පාසා වන බිඳී.
“ජාතික ආහාරය සපයන අය ගැන වත් හරිහමන් වැඩපිළිවෙළක් නැති රටක ඔන්න අම්මේ අපිට ඇහෙන්නවත් කියන්න එපා ‘වවන්නෝ දිනන්නෝ’ කියලා.”
මගේ දෙවැන්නාගේ සරදම් හිනාව මගේ සිත රිදවයි.
“මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියනව නේ.”
මද්දුද ඒ සදානුස්මරණීය සිරකරුවා වන රොබට් නොක්ස්ගේ කියුමක් ගෙනහැර දක්වයි
“රජවරු පත් කරගන්නවා මිස, සිංහාසනේ පැත්ත පළාතක වත් පස් පාගන්න හම්බ වෙන්නෑ අපේ ගොවියාට...”
කොල්ලන්ගේ කතාබහේ සරල හාස්‍යයකට ඔබ්බෙන් දිවෙන ගැඹුරු අරුතක් නැත්දැයි මා කල්පනා කළේ තැවුලිනි.
“ඒකත් අර ‘ගෙදර බුදුන් අම්මා’ වගේ තමා.”
“මොකක්ද ඒ කතාවෙ වැරැද්ද?” යි මම කිසිත් නොවැටහෙන දැරියක මෙන් ප්‍රශ්න කළෙමි.
“දරුවොයි දරුවන්ගෙ දරුවොයි හදනවා; ළිපේ වැටීගෙන ඉන්නවා මිස අපේ රටේ හුඟක් අම්මලට සතුටක් විනෝදයක් තියෙනවද? අර හොර හරක් ලොරියේ ‘බුදු සරණයි!’ කියලා ගහලා තියෙනවා වගේ තමා, ගෙදර බුදුන් අම්මා..!"
මේ කොල්ලන්ගේ සමාජ නිරීක්ෂණය කොතරම් සියුම්දැයි මා කල්පනා කළේ විමතියෙනි.
“ආ... එහෙමද? එහෙනම් ඉතින් ඔය මහත්තුරු අද දවල්ට උයල, රෙදි ටිකත් හෝදලා, ගෙවල් මිදුල් එහෙම අතුගාලා දාන්න කෝ... මටත් විනෝදයක් සතුටක් තියෙන්න එපැයි." මා කී කල කොල්ලන් අතුරුදන් වූයේ වාෂ්ප වී ගියාක් මෙනි.
ශාන්ති දිසානායක
from dinamina
0 Comments