ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මහමෙර උසුලනා මිහිකතටත් වැඩිය
මෙහෙම ලියවිලා තියෙන්නේ පුරාතන කවියක. මේ කවියෙන් ආපු ආභාෂයෙන්දෝ මන්දා පුංචි කාලේ ඉඳලා මාත් අහලා තියෙන්නේ පුළුවන් තරම් ඉවසන්න කියලයි. ‘ඉවසීමෙන් සැනසීම ලැබේ’ කියලයි. තවත් විදිහකට කියනවා නම්: ‘ඉක්මන් කොටයි’කියලයි.
ඒත් ඇත්තටම ඒක ඇත්තද?
ඕනෑම මනුස්සයෙක් දිහා, සිදුවීමක් දිහා වගේම, ඕනෑම කතාවක් දිහාත් කීප පැත්තකින් බලන්න පුළුවන්. බලන කෝණය අනුව පේන විදිහත් වෙනස් වෙනවා. ‘පුළුවන් තරම් ඉවසන්න’ කියන වචන දිහාත් මම බලන කෝණය හින්දමදෝ මන්දා ඒ වචන මට පේන්නෙ හරි නැති විදිහට. එහෙම නැත් නම් වැරදි විදිහට.
තව කෙනෙක් මේ වචන දිහා මට වඩා වෙනස් කෝණයකින් බලන හන්දා වෙනස් විදිහකට පේන්න පුළුවන්. ඒක වැරදි නෑ. ලෝකෙ මෙච්චර ලස්සන වෙලා තියෙන්නෙ එකම දේ දිහා වෙනස් විදිහට බලලා වෙනස් අර්ථ කථන දෙන්න පුළුවන් මිනිස්සුන්ගෙන් ලෝකේ පිරිලා තියෙන හන්දයි.
ඉවසීම අතින් ගත්තාම අපි අනිත් ජාතීන්ට වැඩිය වෙනස් කියලා අපේ පුංචි දූපතෙන් ඩිංගක් එහාට ගියාම පැහැදිලිව පේන්න පටන්ගන්නවා. අපි ආසියාතිකයෝ විදිහට පුළුවන් තරම් ඉවසනවා. ඔළුව පහත් කරගෙන ඉන්න බලනවා. ඉවසලා, ඉවසලා ඒත් බැරිනම් තව පොඩ්ඩක් වැඩිපුර ඉවසලා ප්‍රශ්නෙ විසදෙනකම් බලාගෙන ඉන්නවා. ඒත් සමහර ප්‍රශ්න එහෙම විසදෙන්නෙ නැතුව මහා ගංවතුරක් වගේ එන්න එන්න විශාල වෙලා, අපේ ඉහටත් උඩහින් ගලාගෙන යනවා. ඒත් අපට උගන්නලා තියෙන විදිහට අනුව අපි තව ඩිංගක් වැඩිපුර ඉවසලා බලනවා.
ඉවසීම හොඳයි. ඒත් ඕනෑවට වඩා වැඩිපුර නෙවෙයි. වැඩිපුර ඉවසීමෙන් වෙන්නෙ හානියක් මිසක් හොඳක් නෙවෙයි. හරියටම අවුරුදු කීයකට කලින්ද කියලා කියන්න මතක නැති අවුරුදු ගණනාවකට කලින් ප්‍රසිද්ධ වුණ කතාවක් මගේ ජීවිතේ මතක අතරෙ උගුලලා වීසි කරන්න බැරි විදිහට පැළ වෙලා තියෙනවා.
ඇඟලුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙක් වෙච්ච ඉංජිනේරු මහත්තයකුගේ නෝනයි, එයාගේ අලුත ඉපදුණ පුතයි කුප්පි ලාම්පුවක් පෙරළිලා, මදුරු දැලට ගිනි ඇවිලිලා, දැලි අඟුරු වෙලා පිලිස්සිලා යනවා. ජාතික පත්තරවල මේ කතාව ලියවෙනවා. රූපවාහිනී නාලිකාවල මේ සිදුවීම නාට්‍යයක් විදිහට ආයෙ රඟපාලා රෑ අටේ ප්‍රවෘත්තිවලට පෙන්නනවා. ප්‍රවෘත්ති බලන උදවිය කම්මුලට අත තියාගෙන ‘අනේ අපොයි’ කියනවා. ලස්සන තරුණ නෝනා ගැනයි, අත්පොත් තියපු හැටියෙම අවසාන වෙච්ච කිරිකැටි ජීවිතේ ගැනයි විස්සෝපවෙනවා.
කතාවේ ඇත්ත නැත්ත කරළියට එන්න සතියක් හමාරක් ගතවෙනවා. ඉංජිනේරු මහත්තයාගේ තිබුනු අනියම් සම්බන්ධයක් මේ නෝනා මහත්තයා ඉවසගෙන ඉඳලා තියෙනවා. පුළුවන් තරම් ඉවසලා සැනසීම ලබන්න හිතාගෙන හිටියත්, අන්තිමට ඉවසීමේ බලවන්තකම මේ ලස්සන බිරින්දෑට මරණය උරුම කරනවා.
ඉංජිනේරු මහත්තයා බොහොම සුරුවම් විදිහට කල්පනා කරලා දුක් කසාදයෙන් මිදෙන්න හොඳම ක්‍රමේ විදිහට නෝනවයි, දරුවාවයි පරලොව යවන්න තීරණය කරලා තියෙනවා. දික්කසාද අවමානයක් නැති, දරුවාට නඩත්තු ගෙවන්න වුවමනා නැති බොහොම පහසු ක්‍රමයක් විදිහට ඉංජිනේරු මහත්තයාට මේක පෙනුණත්, තමන් ටිකක් වැඩිපුර ඉවසීම හන්දා තමන්ට අකාල මරණයක් උරුම වෙයි කියලා නම් ඒ නෝනා කවදාවත් හිතන්න නැතුව ඇති.
ඒ ඉවසීමෙන් සැනසීම නොලැබුණු පළමුවැනි කතාව වත්, අන්තිම කතාව වත් නෙමෙයි.
අපේ රටේ තමන් කරන රැකියාව අනුව තමන්ගේ සමාජ තරාතිරම තීරණය වෙනවා. හුඟාක් පළවෙනි ලෝකේ රටවල ඒක එහෙම නෑ. හැම රස්සාවකටම සමාන තැනක් තියෙනවා. රස්සාව ජීවිතේ තරාතිරම තීරණය කරන හින්දම දෝ මන්දා අපේ රටේ උදවිය රස්සාව පරිස්සම් කරගන්න වුවමනාවට වැඩියෙනුත් පොඩ්ඩක් ඉවසනවා.
එක්තරා ආයතනයක පත් වෙච්ච අලුත් කළමනාකරුවෙක් හින්දා එයාගේ යටතේ වැඩ කරන සේවකයෝ හැමෝම මානසිකව පීඩාවටපත් වෙනවා. තමන්ගෙ යටතේ වැඩ කරන උදවියට ගෞරවය මුසු වෙච්ච වචනවලින් කතා නොකරන හින්දාම බොහොම සේවකයන්ගේ හිත් තැළෙනවා. සේවකයන් කියන දේට සවන් නොදෙන හින්දාම ඔවුන්ගේ හිත් ඉරි තළනවා. මානසික හිරිහැර ඉවසන්න බැරිව අතළොස්සක් සේවකයෝ යන්න යනවා. රස්සාවේ තරාතිරම ගැන හිතලා බහුතරයක් අනිත් උදවිය රස්සාවේ රැඳිලා ඉන්න තීරණය කරනවා. සරු පඩිපතක අයිතිකාරයෝ වෙච්චි ඉතිරි සේවක උදවිය, ‘මම රස්සාව කරන්නේ අහවල් කන්තෝරුවේ’ කියලා බොහෝම ආඩම්බරේට කියනවා. ඒත් හිත පතුලෙ තුවාල දිගටෝම පැහැවනවා.
ඒ සමහරු අද වෙන කොට මානසික ප්‍රතිකාර ගන්නවා. තවත් උදවිය මානසික ඉරිතැළීම් හින්දා ඇති වෙච්ච කායික රෝගවලින් වේදනා විඳිනවා.
රස්සාව අත්ඇරලා ඉක්මනින් පිට වෙච්චි උදවිය සමහර විට හිටියාට වඩා අඩු පඩියකට, ඒත් සන්තෝසෙ පිරිච්ච හිත්වලින් වෙන කන්තෝරුවල රස්සාව කරනවා.
ඉවසන එක හොඳයි; ඒත් තරමකට. සීමාවකට එපිට ඉවසීම අරගෙන එන්නෙ දුකක්, කලකිරීමක් මිස, සදාකාලික සැනසීමක් නම් නෙමෙයි.
සරසවි කැටපත් පවුරුවල, එහෙම නැත් නම් පුස්තකාල පාඩම් මේස උඩ මාණවකයෝ අකුරු කරපු කුරුටු ගීත තියෙනවා. ඒ සමහර කවි-ගීතවල අපි හිතන්නෙ නැති ගැඹුරක් හැංගිලා තියෙනවා.
පේරාදෙණිය සරසවියෙ අකුරු කරපු මාණවකයෙක්, කැටපත් පවුරේ මෙහෙම ලියලා තියෙනවා:
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිවු එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් වුණු එකා ළඟ බඩ හත-අටය
ඉවසන් හිටපු මම තවමත් තනිකඩය
දසුනි හෙට්ටිආරච්චි
from dinamina


0 Comments