Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනෝදාවලින් තමිට සරු කර ගත් සෝමවීර

 

වවන්නෝ දිනන්නෝ යැයි කියමනක් තිබේ. ඒ කියමනට හොඳම උදාහරණයක් වන්නේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රහතන්ගම ග්‍රාම සේවා වසමේ වන්දම ගම්මානයේ පදිංචි එම්. එල්. සෝමවීර මහතායි. වසර පහළොවකට පමණ පෙර වන්දම ප්‍රදේශයට එන ඔහු එහි අක්කර දහයක පහළොවක පමණ කෙසෙල්, පොල් ඇතුළු වගාවන් පටන් ගන්නේ ජීවත් වීමේ සටන වෙනුවෙනි.

ඒ අතරවාරයේ පැළ තවානක් කරන අයකුගේ මාර්ගයෙන් ඔහු කටු අනෝදා වගාව සම්බන්ධයෙන් දැනුම්වත් වන අතර, කවුරුත් නොකළ වගාවක් ආරම්භ කිරීමට පෙලඹෙන්නේ එහි ඇති ආර්ථික වාසියටත් වඩා වන සතුන්ගෙන් ඇති වන හානිය අවම වීම නිසාය. ඒ අනුව එම තවාන පවත්වාගෙන යන පුද්ගලයාගෙන් පැළ 800ක් මිලට ගන්නා ඔහු වන්දම ප්‍රදේශයේ කටු අනෝදා වගාවක් ආරම්භ කරන්නේ පළමු වතාවටය.

ඔහු අප හා අදහස් දක්වමින් මෙසේ කීය.

"වන්දම කියන්නේ රත්තරං පසක් තියෙන පොළොවක්. ඕනෑම දෙයක් හිටෙව්වත් හොඳට පැළ වෙනවා. සාත්තුව විතරයි ඕනේ. හැබැයි ඉතිං අලින්ගෙන් තමයි බේරගන්න අමාරු. කොස්, පොල්, කෙසෙල් යනාදී හැම වගාවක්ම හැදුවා. ඒවා බලාගන්න බැරි වුණා. පොඩ්ඩක් බලන්න බැරි වුණොත් ඉවරයි. අලි කඩනවා, විනාශ කරනවා. ඒක නිසාම මට මේ වගාව කරන්න කැමැත්තක් ඇති වුණා. පස්සේ මට කියලා දුන්න විදිහට වගාව ආරම්භ කළා.

ජල සම්පාදනය තමයි ගැටලුවක් වුණේ. පළවෙනි මල් මුරේ එනකොට හිතට ලොකු සතුටක් දැනුණා. ඒකෙ මල් පිපිලා ගෙඩි හැදෙන්න පටන් ගන්න කොට මේ ගැන ආරංචි වුණ කෘෂිකර්මයේ මහත්වරු ආවා. ඒ ඇවිත් බලලා පලතුරු ගම්මාන වැඩ සටහනෙන් මට තවත් කටු අනෝදා පැළ 2000ක් නොමිලේ දුන්නා.

ඒ පැළ 2000 දෙවැනි වගාවක් විදිහට හැදුවා. මේ වගාව ඇත්තටම හොඳයි. මේ ප්‍රදේශයේ තියෙන දේශගුණයත් එක්ක හොඳටම හැදෙනවා. ජල සම්පාදනය කරන්න පුළුවන් නම් අවුරුද්ද පුරාම අස්වැන්න ගන්න පුළුවන්. දැනට මම අස්වැන්න දෙන්නේ පල්ලෙබැද්දේ තියෙන පලතුරු කොම්පැනියකට. ග්‍රෑම් 200ට වැඩි ගෙඩි ඔක්කොම ගන්නවා. එයා ඒවා කපලා කුඩු කරලා පිටරට යවනවා. කිලෝ තුන් හාරදාහක් වුණත් ගන්නවා. කිලෝවක් රුපියල් සියයකට තමයි ගන්නේ.

මේක පරිසරයට හානියක් නැති වගාවක්. ගස් හොඳින් හැදෙනවා. බෙහෙත්, පොහොරවලට කියලා අමතර මුදලක් යන්නෙත් නෑ. වගාවට හොඳට සාත්තු කරනවා නම් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. මේකේ කොළත් කඩලා විකුණන්න පුළුවන්. ඒත් මම කොළ කැඩුවේ නෑ. මොකද ගහට කොළ ඕනේ නිසා.

මට තියෙන එකම ප්‍රශ්නය තමයි ජල සම්පාදන ක්‍රමයක් නැති එක. ජල සම්පාදන පද්ධතියක් දෙනවා නම් මේ වගාව සාර්ථකව කරගෙන යන්න පුළුවන්. බට ටිකක් හරි දෙනවා නම් ගොඩාක්ම වටිනවා. අපි රටට කරන සේවය ගැන කවුරුවත් දන්නේ නෑ. හොයලා බලන්නෙත් නෑ. උපදෙස් දෙන්න මඟපෙන්වීමක් කරන්න කවුරුවත් එන්නෙත් නෑ. මේක මම සම්පුර්ණයෙන්ම කාබනික පොහොර යොදා කරන වගාවක් විදිහටයි කරන්නේ. හැමදාම ආදායමක් එන විදිහට හදාගන්න පුළුවන්. අගෝස්තු මාසේ හොඳ මල් පුරයක් එනවා. වතුර ගහනව නම් හොඳ අස්වැන්නකට යන්න පුළුවනි."

ඔහුගේ වගාව දියුණු කර ගැනීමටත් නිෂ්පාදන මිල දී ගැනීමටත් කැමැති කෙනකුට ඕනෑම උදවුවක් කිරීමට ඔහු සූදානම්ය.

 

වැල්ලවාය විශේෂ 
ජී.අයි.ආර්. ගරුසිංහ

 

 

 

 

 

 

 



from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();