Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනතාවට අපි කියනවා තවදුරටත් ආණ්ඩුවේ බොරු දේශප්‍රේමී ගුලි ගිලින්න එපා කියලා.

ඔක්තෝබර් මාසයේ 28වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට එන බව නිල වශයෙන් ඇමරිකාවත්, ශ්‍රී ලංකාවත් තහවුරු කර තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළදී ලෝකයේ බලවත් රටවල් ශ්‍රී ලංකාවට සුවිශේෂී මැදිහත්වීමක් කළ බව කවුරුත් දන්නවා. ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ හැටියට ජනතාව දැනුවත් කරන්න ඕනෑ. පවතින කොවිඞ් තත්වය යටතේ ජනතාවත් සෞඛ්‍ය අංශයත් අදාල නිරෝධායන කටයුතු අනුව කටයුතු කළත් ශ්‍රී ලංකා රජයත් විදේශ බලවත් රාජ්‍යයනුත් ඒ නීතිරීති කිසිවක් පිළිපදින්නේ නැහැ. ජනතාවට මුඛවාඩම් දාගන්න කියලා ඉතාම හදිසි තත්වයක් යටතේ සිදුවන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මතුවන ගැටළු රාශියක් තිබෙනවා.

 

ඇමරිකාව තුළත් ලෝකය තුළත් ලංකාවෙත් මෙතරම් බරපතළ තත්වයක් තිබියදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේ නිල සංචාරයකට පැමිණීමේ හේතුව ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. ඇමරිකානු ජනාධිපතිවරණය යෙදී තිබෙන්නේ නොවැම්බර් 03වැනිදාට. මයික් පොම්පියෝ එන්නේ මේ මාසේ 28වැනිදා. ජනාධිපතිවරණයට දින 5ක් තිබියදී ඇමරිකානු අධිරාජ්‍යයේ යුද සහ දේශපාලන පණිවුඩ ලෝකය වටේ ගෙනියන පණිවුඩකරුවා ලංකාවට එන්නේ ඇයි? අපේ රටේ රාජ්‍ය නායකයන් සමග ඇමරිකානු නායකයන්ට අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය නම් එය අන්තර්ජාලය ඔස්සේ කළ හැකියි. එවැනි අත්දැකීම් රාශියක් තිබෙනවා. ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලංකාවේ ජනාධිපතිවරයාට අක්ත පත්‍ර භාරදුන්නේ ඔන්ලයින් ක්‍රමයට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75වැනි සංවත්සරයට ලෝකයේම රාජ්‍ය නායකයන් සම්බන්ධ වුණේ ඔන්ලයින් ක්‍රමයට. ඇමරිකාව, සුඩානය සහ ඊශ්‍රායලය ගිවිසුමක් අත්සන් කළේ ඔන්ලයින් ක්‍රමයට.

 

එසේ තිබියදී ඡන්දයට දවස් පහකට කලින් මයික් පොම්පියෝ එන්නේ ඇයි? ශ්‍රී ලංකා ආණ්ඩුව ඔහුගේ පැමිණීම ස්ථිර කරන්නේ සතියකට පමණ පෙර. එක්කෝ වසන් කිරීමක්. නැත්නම් 20 සංශෝධනයෙන් පසුව හිටපු ඇමරිකන් පුරවැසියෙක් වන ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට විශාල බලතල ප්‍රමාණයක් ගැනීමෙන් පසුව නිවේදනය කළාද කියලා ගැටළුවක් තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ පැමිණීම ස්ථිර කරන්නෙත් 23වැනිදායි. විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පැමිණීමේදී සාකච්ඡා කරන කරුණු කලින් නිවේදනය කරනවා. නමුත් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ පවා සාකච්ඡා කෙරිලා නැහැ. මයික් පොම්පියෝ සමග ඇමරිකානු ආරක්‍ෂක ලේකම් මයික් එස්පර් ඉන්දියාවට යනවා. ඔහුත් ලංකාවට එනවාද කියලා වාර්තා කරලා නැහැ.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක.

The post ජනතාවට අපි කියනවා තවදුරටත් ආණ්ඩුවේ බොරු දේශප්‍රේමී ගුලි ගිලින්න එපා කියලා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments