Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගැබිණි මවුවරුන්ට ක්ෂණික දුරකතන අංකයක්.

ගැබිණි මවුවරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් හඳුන්වා දී ඇත .

0710301225 යන දුරකථන අංකය පැය විසිහතර පුරා ක්‍රියාත්මක බවත් ගැබිණි මව්වරුන් සඳහා උපදෙස් ලබා දීමට විශේෂඥ වෛද්‍යවරුන් සූදානම්ව සිටින බවත් ඔවුහු පවසති.

ශ්‍රී ලංකාවේ වසරකට 360,000 ක් පමණ කාන්තාවන් ගර්භණී භාවයට පත් වන අතර වසරේ ඕනෑම අවස්ථාවක 201,000 ක් පමණ ගර්භණී මවුවරුන් සිටියි .

දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතයේ දී ගර්භණී මවුවරුන් ද සුවිශේෂී කාණ්ඩයක් ලෙස සැළකෙන හෙයින් මෙම කාල පරිච්ජෙදයේදී ඔවුනගේ සෞඛ්‍යමය ආරක්ෂාව ඉතා වැදගත් වේ .මේ අනුව සියලුම ගර්භණී මවුවරු මෙම කාලයේදී අනෙකුත් පුද්ගලයිනට වඩා ආරක්ෂාකාරී විය යුතුය. විශේෂයෙන්ම ඔවුනට හැකිතාක් නිවසටම වී සිටීමට උපදෙස් දෙනු ලැබේ.

මහජනයා එකතු වෙන ස්ථාන වල ගැවසීම, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම, වැඩි පිරිසක් එකතු වන විනෝද චාරිකා, විවාහ හෝ මංගල උත්සව, අනෙකුත් ප්‍රිය සාද, ආගමික උත්සව, පොදු හෝ සුපිරි වෙළෙඳ සල් හෝ සාප්පු සංකීර්ණ වලට යාමෙන් වැලකී සිටීමට උපදෙස් ලබා දී ඇත.

උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු පුද්ගලයින් ගෙන් ඈත්ව සිටීම ද වැදගත්ය.

“සෑම ගර්භණී මවක්ම උණ හෝ ඒ සමග සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනාව ආදී රෝග ලක්ෂණ ඇතිවුවහොත් පළමු දිනයේ දීම ළඟම ඇති රජයේ රෝහල වෙත යොමු විය යුතුයි. හැකි සෑම විටම පවුල් සෞඛ්‍ය නිලධාරිනියට තමාගේ ගැටළු සහ රෝගී තත්ත්ව නිරන්තරයෙන්ම දැනුම් දීම අත්‍යවශ්‍යයි,” ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න ප්‍රකාශ කළේය.

 

ගැබිණි කාන්තාවන් විශේෂයෙන් ප්‍රවේසම් විය යුතු බවට උපදෙස් ලබා දී ඇත්තේ කොරෝනාවෛරසයට ගොදුරුවීමට පවතින ඉඩකඩ අවම කිරීම සඳහාය. නමුත් ඇත්තවශයෙන්ම මෙම වසංගතය ගැබිණි කාන්තාවන්ට ඇති කරන්නේ කුමන ආකාරයේ බලපෑමක්ද?

නව කොරෝනාවෛරසයෙන් ගර්භණීභාවයට ප්‍රශ්නයක් ඇති වේද?

කොරෝනාවෛරසයෙන් ගර්භණීභාවයට කෙතරම් බලපෑමක් ඇතිවේද යන්න පිළිබඳව වෛද්‍යවරුන් තවමත් වැඩි යමක් නොදන්නා නමුත් ඉන් රෝගාතුර වන සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දරුණු මට්ටමකට ගැබිණි කාන්තාවක් පත් වන බවක් පෙනෙන්නට නොමැත.

“විශාල අවදානමකට ඔවුන් ලක්වෙනවා නම් මේ වන විට එය අපට දැකගන්න ලැබෙන්න ඕන,” ලන්ඩන් නුවර ඉම්පීරියල් කොලේජ් හි ප්‍රසව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටෝෆ් ලීස් පැවසීය.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්නප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න

මෙතෙක් වාර්තා වී ඇති අන්දමට ගැබිණි කාන්තාවන්ට ද මතු වී ඇත්තේ සාමාන්‍ය පුද්ගලයෙකුට මතුවන රෝග ලක්ෂණ පමණි. එය සුළු හෝ මධ්‍යම මට්ටමේ විය හැක. කැස්ස, උණ, කෙටි හුස්ම, හිසරදය සහ ගන්ධය පිළිබඳ දැනීම අඩු වීම එම රෝග ලක්ෂණ අතර වෙයි.

කෙසේ නමුත් ගැබිණි කාන්තාවක් කොරෝනාවෛරසයට ගොදුරු වී බරපතල ලෙස රෝගාතුර වුවහොත් එය දරු ගැබට ප්‍රශ්නයක් වීමට ඉඩ ඇතත් එම තත්වය ඉතා විරලය.

හෘද රෝග සහිත කාන්තාවක් ගැබ් ගෙන ඇත්නම් මෙම වසංගත තත්වය හමුවේ ඇය අයත් වන්නේ වැඩි අවදානම් සහිත කාණ්ඩයටය. ඔවුන් නිවෙසින් පිටත නොගොස් සිටිය යුතු බවට වෛද්‍යවරුන් උපදෙස් දෙන අතර තම රෝගී තත්වය පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය.

ගර්භණී කාන්තාවන්ට ඇතැම් වෛරස ඉතා අවදානම් ය. නමුත් නව කොරෝනාවෛරසය එසේ වේදැයි නිගමනය කිරීමට තරම් සාධක තවමත් නොමැත. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පර්යේෂණ සහ සමීක්ෂණ දියත් වී ඇත.

නිසි කලට පෙර දරු උපත සිදුවේද?

කොරෝනාවෛරසයෙන් රෝගාතුර වූ ගැබිණි කාන්තාවන් නිසි ගැබ් කාලය නිම කිරීමට මත්තෙන් සිය දරුවා ප්‍රසූත කළ අවස්ථාවන් ගැන වාර්තා ලැබී තිබේ. නමුත් ඊට මුල් වූ හේතුව තවමත් පැහැදිලි නැත.

“මව තුළ පවතින ආතතිය දරුවාට බලපෑමක් ඇති කිරීම මීට හේතුවක් විය හැකියි. එහෙම නැතිනම් මවට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය මදි වීම නිසා දරුවා කලින් උපදිනවා වෙන්නත් පුළුවන්.” ලන්ඩන් නුවර Queen Charlotte’s and Chelsea රෝහලේ වෛද්‍ය එඩ් මුලින්ස් පැවසීය.

“දරුණු රෝගී තත්වය මත ඇතිවන උණ ගතිය නිසාත් දරු උපත කලින් සිදු වීමට ඉඩ තියෙනවා.” ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මාතෘ සහ ළමා සෞඛ්‍යය පිළිබඳ මහාචාර්ය මේරියන් නයිට් පැවසුවාය.

කෙසේ නමුත් කෝවිඩ්-19 රෝගයට ගොදුරු වූ ගැබිණි කාන්තාවන්ගේ ශ්වසන අපහසුතා නිසා සිසේරියන් සැත්කමක් හරහා දරු උපත සිදු කිරීම බොහෝ විට සිදුකර ඇති බව ද ඇය හෙළි කළාය.

කොරෝනාවෛරසයට ගොදුරු වීම හේතුවෙන් ගබ්සාවන් සිදුවන බවට සාධක නොමැත.

කුස තුළ සිටින දරුවාට වෛරසය ආසාදනය වේද?

මවට ආසාදනය වූ කොරෝනාවෛරසය කුස තුළ සිටින දරුවාට ද ආසාදනය වීමේ හැකියාවක් පවතී. එවැනි අවස්ථා වාර්තා වී ඇත්තේ අඩු සංඛ්‍යාවකි. එනමුත් එවැනි දරුවන් සුවය ලබා නිරෝගීව සිටින බව වාර්තා විය.

චීනයෙන් ලැබුණු සංඛ්‍යා ලේඛන අනුව, කොරෝනාවෛරසයට ගොදුරු වූ ගැබිණි කාන්තාවන් බිහි කළ දරුවන් 33 දෙනෙකු අතරින් තිදෙනෙකුට පමණක් ආසාදනය වී තිබුණි.

නමුත් දරුවාට වෛරසය ආසාදනය වූයේ ගර්භාෂය තුළදී ද, ප්‍රසුතිය සිදුවන අතරතුරදීද නැතහොත් ප්‍රසුතිය සිදුවීමෙන් මොහොතකට පසුවද යන්න තවමත් පැහැදිලි නැත. දරුවා උපන් මොහොතේ පටන් මව සමඟ සමීපව සිටීමේ අවකාශය වැඩිය.

කොරෝනාවෛරසය දරුවාගේ වර්ධනයට බලපෑමක් සිදු කරන බවට තවමත් කිසිදු සාක්ෂියක් නොමැති බව බ්‍රිතාන්‍යයේ, ප්‍රසව හා නාරිවේදය පිළිබඳ රාජකීය විදුහල පවසයි.

වසංගත තත්වයක් සහ ඇඳිරි නීතිය පවතින මෙවැනි අවස්ථාවක වෙනත් අය සේම මව්වරුන් ද සිය මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා හැකිතාක් විවිධ කටයුතුවල නිරත විය යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පැවසීය.

  • ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න.
  • අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනාවෛරසය ගැන කියවීම සීමා කරන්න.
  • දරුවන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
  • සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
  • ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න.තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න.
  • පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.
  • එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්‍යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට බලපායි.
  • සංගීතයට සවන්දෙන්න. ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු වන්න.
  • බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දෙන්න.
  • වැරදි පුවත් නොබලා, වගකිව යුතු මාධ්‍ය ආයතනවල පුවත් පමණක් නරඹන්න, කියවන්න.
  • හැකි සෑම විට ම සමබර ආහාර වේලක් ලබා ගන්න.
  • අන් අයට පිහිට වන්න.

(BBC)

The post ගැබිණි මවුවරුන්ට ක්ෂණික දුරකතන අංකයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();