ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන දෙරට අතර ඇත්තේ ඓතිහාසික සබඳතාවකි. ආර්ථික, දේශපාලන සංස්කෘතික සහ ආගමික යනාදි සෑම අංශයක් ඔස්සේම විහිද-පැතිර පවතින මේ සබඳතා වසර 2500කට වඩා ඉපැරණිය. දෙරට අතර නූතන රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවා ආරම්භ වූයේ මෙරටට නිදහස ලැබීමටත් පෙර සිටය. එනම් 1942 තරම් ඈත අතීතයක පටන්ය.නිදහස් ඉන්දියාවේ පළමුවන අගමැතිවරයා වූ ශ්‍රීමත් ජවහර්ලාල් නේරු සහ ශ්‍රී ලංකාවේ ’56 විප්ලවයෙන් බලයට පත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා අතර ඉතා සමීප මිත්‍රත්වයක් ගොඩනැගී තිබිණි. ඉන් පසු ඉන්දිරා ගාන්ධි හා සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය අතර වර්ධනය වූ මිත්‍රත්වයද ඉන්දු-ලංකා සබඳතා තවදුරටත් ගොඩනැංවීය.
සිරිමා ශාස්ත්‍රී ගිවිසුම පවා අස්සන් තැබුණු ’70 දශකයේ මුල් භාගයේ පවා ඉතා යහපත් මට්ටමක පැවති ඉන්දු-ලංකා සබඳතා, පසුව මෙරටේ උත්සන්න වූ බෙදුම්වාදී අරගල සමග යලි යම් තරමකට දුරස් විය. මේ අතර ඉන්දු-ලංකා ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම්ද දෙරට අතර අස්සන් තැබුණු අතර, ඒවාද දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල තීරණාත්මක සාධක බවට පත් විය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජාතීන්ගේ ඉල්ලීම් ඉටු කරවාගැනීම සඳහා ඉන්දියාව අඩු-වැඩි වශයෙන් දීගින් දිගටම මැදිහත්වීම් සිදු කළ අතර, ඒ සඳහා මෙරට දේශපාලන පක්ෂ මෙන්ම තමිල්නාඩු දේශපාලන පක්ෂ වෙතින්ද එල්ල වූ බලපෑම් හේතුකාරක විය. අදටත් ඒ තත්ත්වයේ විශාල වෙනසක් සිදුව නැත. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය රජය කාලයක පටන්ම මෙරට රජය වෙතින් ඉල්ලා සිටිනුයේද ඒ අනුවය.
පුරා දශක තුනක කාලයක් මෙරට පැවති සිවිල් යුද්ධය 2009 වසරේ අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සහ ආර්ථිකයට සහාය දක්වන ප්‍රධාන රට බවට පත් වූයේ චීනයයි. මේ තත්ත්වයත් සමග ශ්‍රී ලංකාව, චීනය දෙසට යම් නැඹුරු වීමක් වූ අතර එයද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා ශක්තිමත් කිරීමට දායක වූ කරුණක් නම් නොවීය.
ශ්‍රී ලංකා අගමැති ඉන්දීය දූත පිරිස සමඟ මහාචාර්ය ජී ඇල්. පීරිස් මහතා ද මෙහි සිටී |
මෙවැනි මතභේද, මතගැටුම් පැවතියද ඒවා දෙරට අතර මිත්‍රත්වය, සහයෝගිත්වය පලුදු කිරීමට විනාශ කරදැමීමට සමත් නොවීය, දෙරට අතර ඇති සබඳතාවේ ඇති සුවිශේෂත්වයද එයමය. ශ්‍රී ලංකාවට ඉන්දියාවත්, ඉන්දියාවට ශ්‍රී ලංකාවත් අවශ්‍ය වන බව දෙරටේම නායකයන් නිවැරදිව වටහාගෙන තිබිණ. කෙසේ වෙතත් වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආගමනයත් සමඟ මේ තත්ත්වය තවදුරටත් යහපත් මට්ටමකට පරිවර්තනය වී ඇති බවක් පෙනෙන්න ඇත. මෙහිදී ඉන්දියාවේ ශක්තිමත් රජයක් බිහි වීම ඉන්දු-ලංකා සබඳතාවලටද සුබදායී බලපෑමක් ඇතිකළේය. දකුණු ඉන්දියාවේ එල්ටීටීඊ හිතවාදී බලවේගවලටද විශාල පරාජයක් ඉන් අත් වූ අතර ඉන්දු-ලංකා සබඳතා හැසිරවීමට ඔවුන්ට තිබූ ශක්තිය ඉන් බොහෝදුරට ගිලිහී යනු දක්නට විය. ‘අසල්වැසියාට මුල් තැන’ දීමේ සුවිශේෂ විදෙස් ප්රතිපත්තියක. ක්‍රියාත්මක කිරීමට මෝදි මහතා පියවර ගෙන ඇත. මෙහිදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් දීමටද මෝදි අගමැතිවරයා කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත්ව හා දේශපාලනික වශයෙන් ස්ථාවරව සිටීම තම රටටද වැදගත් බව මෝදි අගමැතිවරයා තම විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි කරමින් වරක් සඳහන් කළේය. මේ තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ නව රජය හා නරේන්ද්‍ර මෝදි රජය අතර ගොඩනැංවෙන සබඳතාව දෙරටටම අතිශයෙන් තීරණාත්මක වනු ඇති බව පැහැදිලිය. රාජපක්ෂ ජනපතිවරයා තම ප්‍රථම විදෙස් සංචාරය ලෙස ඉන්දියාවම තෝරාගත්තේ එම නිසා බවද පැහැදිලිය. එම සංචාරය තුළදී දෙරටටම අතිශය වැදගත් වූ කරුණු කාරණා රැසක් පිළිබඳ විවෘතව හා පුළුල් ලෙස සාකච්ජා කෙරුණු අතර, ඒ හරහා දෙරට අතර සබඳතා නව මානයකට ඔසවා තැබීමටද එම සංචාරය ඉවහල් විය.
ඒ සාකච්ජාවල ප්‍රතිඵල සම්බන්ධව අවධානය යොමු කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේ කළ සංචාරයද දෙරටෙහි ද්විපාර්ශ්වික සබඳතාවලට බෙහෙවින් වැදගත් වන්නේ ඒ අනුවය.
ඇත්තෙන්ම මේ සංචාරයේ ප්‍රධානතම අරමුණ වූයේ දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීමය. මෙරට ඉදිරියේ ඇති ආර්ථික අභියෝග ජයගැනීමට චීනයේ පමණක් නොව ඇමෙරිකාව ඉන්දියාව වැනි බලවතුන්ගේද සගයෝගය මේ මොහොතේ අවශ්‍යව තිබීම ඊට හේතුවයි.
මේ සිව් දින සංචාරය සඳහා අගමැතිවරයා පිටත්ව ගියේ මෝදි මහතාගේ ආරාධනාව අනුවය. දෙදෙනා අතරපැවති නිල සාකච්ජාවේදී ඉන්දීය අගමැතිවරයා යළි තම විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳව විග්‍රහ කළේය. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව, ස්ථාවරත්වය සමෘද්ධිය ඉන්දියාවට පමණක් නොව ඉන්දීය සාගර කලාපයටම වැදගත් බව මෙහිදී ඉන්දීය අගමැතිවරයා සඳහන් කළේය.
චෙන්නායි හා යාපනය අතර ඍජු ගුවන් ගමන්වාර ආරම්භ කිරීම මේ සබඳතා නැංවීමේ උත්සාහයේ පළමු පියවර වනු ඇති බව ඉන්දීය අගමැතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. සැමවිටම පාහේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විවිධ මතභේද මතු කරන මෙරට ජාතික ප්‍රශ්නය පිළිබඳවද මේ ද්විපාර්ශ්වික සාකච්ජාවලදී විවෘතව අදහස් හුවමාරු විය.
ශ්‍රී ලංකාවේ සාමය, සමානාත්මතාව, යුක්තිය හා ගෞරවය සඳහා දෙමළ ජනතාව අතර අපේක්ෂා ඇති බවත්, ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් මෝදි අගමැතිවරයා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා වෙත සඳහන් කළේය. ශ්‍රී ලංකා රජය විසින් මේ සම්බන්ධව විධිමත් පියවරක් ගනු ඇතැයි විශ්වාස කරන බවද ඉන්දීය අගමැතිවරයා මෙහිදී පැවසීය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමද මෙහිදී වැදගත් වන බව ඉන්දීය අගමැතිවරයා සුපුරුදු පරිදි සිහිපත් කළේය .
කෙසේ වෙතත් මේ සංචාරය අතරතුර, මෙරටට දෙන ඉන්දියානු ණය ආධාර පිළිබඳවද සුවිශේෂ කතා-බහක් මතු විය. ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ණය ආපසු අය කිරීම වසර තුනක් සඳහා තාවකාලිකව අත්හිටුවන ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මෙහිදී ඉන්දියානු රජයෙන් ඉල්ලා සිටියේය.
ඉන්දියාව විසින් තාවකාලිකව මෙසේ ණය අයකිරීම නතර කරන්නේ නම් එය අනෙක් රටවලින්ද ඒ ආකාරයෙන් සහනයක් ලබාගැනීමට හැකි වනු ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ඉන්දීය අගමැතිවරයා වෙත පෙන්වාදුන්නේය.
මේ වසර තුනක කාලය අවශ්‍ය වන්නේ යළි රටේ ආර්ථික තත්ත්වය නගාසිටුවාගැනීමට වන බවද රාජපක්ෂ මහතා මෙහිදී පැහැදලි කළ අතර, පසුගිය රජය අනවශ්‍ය ආකාරයෙන් ණය ලබාගැනීම් නිසා ආර්ථිකය කඩාවැටීමට ලක්ව ඇති බවද සඳහන් කළේය.
රාජපක්ෂ මහතා ඉන්දියාවෙන් කළ මේ ඉල්ලීම පිළිබඳ මෙරට විපක්ෂය වෙතින් විවිධ විවේචන එල්ල විය. එහෙත් මේ විවේචන රටේ පවතින ප්‍රයෝගික තත්ත්වයන් හා කොතෙක් දුරට ගැළපෙන්නේදැයි සැකයකි.
ත්රස්තවාදයට එරෙහිව යුද්ධය පැවති අවස්ථාවේදී එයට අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙසට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට දැඩිව බලපෑම්කොට ඉන්දීය රජය අපට සහය ලබාදුන් බව අපට මතකය. ඒ අවස්ථාවේ ඉන්දීය රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලට තරයේ කියා සිටියේ “ඔබ ශ්‍රී ලංකාවට මුදල් ලබා නොදුන්නොත් ඉන්දියාව මුදල් දෙනවා’’ යනුවෙනි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපට ඒ අවස්ථාවේ මූල්‍යාධාර දුන්නේ ඉන්දීය බලපෑම මතය.
ඒ අනුව රටට අනාගතයේ මුහුණ දීමට සිදු වන ඉදිරි ආර්ථික අභියෝග ජය ගන්නද ඉන්දියාවේ සහාය අත්‍යවශ්‍යය වනු ඇත. ඒ සහාය ගැනීම කිසිදු අයුරකින් රට හෑල්ලු කිරීමක් නොවන බව පැහැදිලිය. වැදගත් වන්නේ ගන්නා ආධාර හා ආර්ථික සහයෝගය කොතෙක් දුරට රටේ ආර්ථික සංවර්ධනයට උපයෝගී කරගන්නේද යන්නයි. ඉදිරි වසර 5 තුළ ගෙවීමට සිදු වන ණය වාරික මුදල් ප්‍රමාණය ඉහළ යන හෙයින් ඊට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් සොයාගැනීමට අපට සිදු වේ. චීනය අපට ණය ආධාර දෙන නමුත් එහිදී පොලී අනුපාතයකට යටත් වීමට අපට සිදු වේ. එබැවින් ණය ගෙවීම සඳහා තාවකාලික සහනයක් ඉන්දියාවෙන් මෙසේගැනීම අපට මේ අවස්ථාවේ ඉතා වැදගත්ය. චීනය සහ ඇමෙරිකාව අතර ආර්ථික විරසකයක් පවතින බව සත්‍යයකි. එසේම ඉන්දියාව සහ ඇමෙරිකාව අතර මිත්‍රත්වය මුල් කරගනිමින් චීනය හා ඉන්දියාව අතරද ඇත්තේ සීතල යුද්ධයක් බවද පැහැදිලිය. ඒ අනුව චීනයද තරහා නොකරගන්නා අතරම ආර්ථික වශයෙන් ඉන්දියාව වෙත නැඹුරු වීමේ වාසි නිසි ලෙස අත්පත් කරගැනීමටද ශ්‍රී ලංකාව පියවර ගත යුතුය. මේ සියලු තත්ත්ව දේශපාලනික වශයෙන් කළමනාකරණය කරගත හොත් ඉදිරියේදී මුහුණ දීමට සිදු විය හැකි ආර්ථික අර්බුද රැසකට විසඳුම් සොයාගැනීමට ලක් රජයට හැකි වනු ඇත.
from silumina
0 Comments