මැතිවරණය සඳහා නායකත්වයේ බලපෑමක් නැහැ
ඉදිරි මහ මැතිවරණයට කොහොමද ඔබලාගේ සූදානම?
එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර තිබෙන්නේ. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සියල්ල මේ වනවිට සාකච්ඡාවට නංවමින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. සමස්ත රටේ ම සිටින පාර්ශිකයන් මුල් කරගෙන තමයි මේ සියලු කටයුතු සිදුවන්නේ.
පෙරමුණක් හෝ සන්ධානයක් හැටියට ද මැතිවරණයට තරග කරන්නේ? එසේත් නැත්නම් එක්සත් ජාතික පක්ෂය හැටියට තනිව තරග කරනවාද?
ඇත්තටම අපි සන්ධානයක් හැටියට තරග කරනවා කියන එක තමයි සැලසුම. හැබැයි අපගේ පාක්ෂිකයන් වැඩි පිරිසක් ඉල්ලා සිටින්නේ අලියා ලකුණෙන් තරග කරන ලෙසයි. අපි පක්ෂයක් හැටියට පාක්ෂිකයන් පැත්තෙන් තීන්දු තීරණ ගත යුතුයි. මේ රටේ සන්ධාන තුළින් රජයන් බිහිවෙලා තිබෙනවා. තනි පක්ෂවලට වඩා අපි සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ගෙන ඒම සඳහා සන්ධානගත වුණා. එලෙසම මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීම සඳහා සන්ධාන ගත වුණා. පෙරමුණු ගත වුණා. ජනතා විමුක්ති පෙරමුණ මේ ආකාරයට සන්ධාන ගත වී මැතිවරණවලට මුහුණදී තිබෙනවා. ඒ නිසා අප මේවරත් සන්ධාන ගත වී මැතිවරණයට පැමිණීම අලුත් දෙයක් නොවෙයි කියන එක මගේ මතයයි.
මේ රටේ මොන සන්ධාන හැදුවත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තමන්ගේ ප්‍රතිපත්ති සහ අනන්‍යතාවය ආරක්ෂා වෙන විදියට තමයි සන්ධාන ගත වෙන්නේ.
මේ නිසා අපි හදන ඕනෑම සන්ධානයක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට යටත්ව ප්‍රතිපත්ති රාමුව තුළ සිටිමින් තමයි ගොඩනගන්නේ.
මහ මැතිවරණයට පක්ෂයක් හැටියට මුහුණදීම සඳහා ගම් මට්ටමින් සූදානම කොහොමද?
ඇත්තටම ගම් මට්ටමින් අප සිදු කළ සේවාව ඉතිහාසයේ කවදාකවත් සිදු වුණේ නැහැ. ඉකුත් වසර හතරකට වැඩි කාලයක් ගමට සංවර්ධනය ලබාදුන්නා. අප ගම් දහස් ගණනින් දස දහස් ගණනින් සංවර්ධනය කළා. මට හිතෙන්නේ ඒවායේ කිසිම ප්‍රතිඵලයක් නෑ කියන එකයි. විශේෂයෙන් ම ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව එය ඉතා හොඳින් පෙනී යන කරුණක්.
මේකෙන් පැහැදිලිව පෙනී යන්නේ ජනතාවට වැඩ කළහම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න බෑ කියන කාරණය. නිදහසෙන් පස්සේ බිහිවූ කිසිම රජයක් මේ ආකාරයට සංවර්ධනයක් සිදු නොකළ බව මා නොබියව කියනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ කිසිදු දේශපාලනයක් කරලා නොවෙයි. මතවාදයක් සහ යම් අරමුණක් පෙරදැරි කරගෙන තමයි ඔහු ජයග්‍රහණය කරන්නේ.
ඒ නිසා එක්සත් ජාතික පක්ෂයත් ඒ පෙරමුණත් රටේ මූලික කරුණු අරමුණු කරගෙන, ඉලක්ක කර ගනිමින් තමයි මැතිවරණය සංවිධානය කළ යුත්තේ කියන එක මගේ මතයයි.
මෙයින් ඔබ අදහස් කරන්නේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණට මතවාදීව ජනතාව අතරට යන්න බැරි වුණා කියන එකද?
නෑ. එහෙම නෑ. 2018 දී දින 51 කාලයක් රජයක් බිහි වුණා. මේ ටික කාලය ඇතුළත එම රජයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ පුටු කඩලා, කථානායක පුටුවට වතුර ඉහළා ඉතා නින්දිත විදියට හැසිරුණු පිරිසකට ජනතාව බලයක් ලබාදී තිබෙනවා.
ඉන් පසුව සහරාන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ජනතාවගේ මතය වෙනත් පැත්තකට යොමු වුණා. ජනතා මතය මේ නිසා වැදගත් වනවා. ඒ අවස්ථාවේ මැතිවරණය ක්‍රියාත්මක කරපු අවස්ථාවේ ඔවුන් පාවිච්චි කළේ අකුරු දෙකයි. ඒ ‘රට’ කියන එක. ජනතාව අන්න ඒ මතයට ගරු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කරා කියන එක මගේ හැඟීමයි. ඒ නිසා මූලික සිද්ධාන්තවලින් පැනලා යන්න බෑ එක්සත් ජාතික පක්ෂයට.
මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධව දැඩි අර්බුදකාරී මෙන් ම ගැටුම් කාරී තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන් ම ජනමාධ්‍ය මේ සම්බන්ධව නොයෙක් ප්‍රචාර සිදු කරනවා. එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී ඇති බව පැවසෙනවා. පක්ෂය රැක ගනිමින් මේ අර්බුදයට විසඳුම් ලබා දෙන්නේ කොහොමද?
ඇත්තටම දෙකඩ වීමක් සිදුවන්න අවශ්‍ය වන්නේ නැහැ. පක්ෂයක නායකත්වය කියන එක මේ රටේ සෑම දේශපාලන පක්ෂයක් ම අරගෙන බැලුවහම හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන්. බණ්ඩාරනායක මැතිනිය ගත්තම, ඩිව් ගුණසේකර මහතා ගත්තාම වාසුදේව නානායක්කාර මහත්මයා වෙන්න පුළුවන්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වෙන්න පුළුවන්. මේ කුමන නායකයා වුව ද ඔවුන් දිහා බැලීමෙන් පැහැදිලි වෙනවා පක්ෂයක නායකත්වය කියන එක. පක්ෂයක නායකත්වය කියන්නේ වෙනම විෂයක්. ඒ නිසා තමයි බණ්ඩාරනායක මැතිනිය දිගු කාලයක් පක්ෂයක නායකත්වය දැරුවේ.
පක්ෂයක නායකත්වය සහ මැතිවරණ ජයග්‍රහණය කියන්නේ කරුණු දෙකක්. මේක අප හොඳින් තේරුම් ගැනීමට අවශ්‍යයි. පක්ෂයක නායකත්වය කියන්නේ විශේෂයෙන් ම පරිනත දේශපාලනඥයකු විය යුතුයි. දේශපාලනය පිළිබඳව පළපුරුද්දක් තිබිය යුතුයි. මැතිවරණ පිළිබඳව පළපුරුද්දක් තිබිය යුතුයි. ඉවසීමක් තිබිය යුතුයි. විනය ගරුක විය යුතුයි. හික්මීමක් තිබිය යුතුයි. මේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සුදුසුයි. මැතිවරණය සඳහා නායකත්වයේ බලපෑමක් නෑ. අප කළයුත්තේ සියලු දෙනා එක්වී මැතිවරණය ජයග්‍රහණය කරා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමයි.
ඔබ මින් අදහස් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතා සිටිය යුතු බවත් අගමැති අපේක්ෂකයා මෙන් ම එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා විය යුතුයි කියන එකද?
ඇත්තටම ඔව්. ඒක මගේ මතයක් විතරක් නොවෙයි. සමස්ත එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ගේ මතයයි. ඒ මතයට අප ගරු කළ යුතුයි. ජනතා මතයකින් තමයි නායකයන් බිහිවන්නේ. ඒ වගේ ම පක්ෂයේ දේශපාලන නායකයින් බහුතරයකගේ මතයත් එයයි.
ඔබ කියන්නේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා නායකත්ව අර්බුදය බලපාන්නේ නෑ කියලද?
පැහැදිලිවම. එහෙම නායකත්ව අර්බුදයක් නෑ. ඒ වගේ ම කිහිප දෙනෙකුට මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තමන්ගේ පුද්ගලයන් භාවිතා කිරීමට තමයි මෙවැන්නක් ප්‍රචාරය කරන්නේ.
තම තමන් තම තමන්ගේ පෞද්ගලික දේශපාලනය සිදු කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට ඔවුන් රාජකාරිය සිදු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සිදු කරන්නේ නම් නායකත්වය ගැන කිසිදු ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. ඔය නායකත්වය පිළිබඳව කතා බහ කරන අය පක්ෂයට කරන ලොකුම සේවාව මෙය බවත් මම අවධාරණය කරන්න කැමැතියි.
ඔබ විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවාද පක්ෂ නායකත්වය තුළ ගැටලුවක් නෑ කියන කාරණය?
පක්ෂයේ නායකත්වයක් ඉල්ල ඉල්ලා සිගමනේ යන කිසිවෙක් මම අනික් දේශපාලන පක්ෂවල දැකලා නෑ. මීට පෙරත් දැකලා නෑ. උදාහරණයක් හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා පොදුජන පෙරමුණේ නායකයා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂයේ නායකත්වය දෙන්නැයි කියලා ගැටලු ඇති කරමින් මහින්ද රාජපක්ෂ මහතා පස්සෙන් හෝ පක්ෂයේ අනෙක් නායකයින් පසුපස යන්නේ නැහැ. ඔහු තමන්ගේ ජනාධිපති ධූරයේ රාජකාරි කරමින් සිටිනවා. අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. වාසුදේව නානායක්කාර මහතා පක්ෂ නායකයෙක්. ඔවුන් පසුපස නායකත්වය යදිමින් කිසිවෙකු එන්නේ නෑ. මා මීට ඉහතදීත් සඳහන් කළා වගේ පක්ෂ නායකත්වය කියන්නේ ජ්‍යෙෂ්ඨයන්ට වෙන්වූ තනතුරක්.
මේ වනවිට බැඳුම්කර වංචාව පිළිබඳව නැවත කතා බහ වෙනවා.
ඔබ හිටපු ඇමැතිවරයෙක්.
වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔබ මේ සම්බන්ධව දරන මතය?
මගේ පෞද්ගලික මතය මම ඉතා පැහැදිලිව කියන්න කැමැතියි. අපේ රටේ මහ බැංකුව ස්වාධීනයි ස්වාධීනයි කියලා කිව්වට මේ බැංකුවට අදාළව නීති රීති හැදුවේ නැහැ. යල් පැනගිය නීති රීති තිබෙන අවුරුදු පනහකට වඩා පැරණි ක්‍රමවේද ඇති කුණු බක්කියේ තිබෙන බැංකුවක්.
අද ලෝකයේ තාක්ෂණ දියුණුවත් සමඟ මෙය වෙනස් විය යුතුයි. නීති රීති වෙනස් විය යුතුයි. මේවා වෙනස් නොවීම නිසා මහ බැංකුවත් සමඟ ගනු දෙනු කරන ව්‍යාපාරිකයන්ට ලාභ මෙන් ම පාඩු විඳගැනීමට සිදුවෙලා තිබෙනවා.
මහ බැංකුවට නීති අවශ්‍ය වෙලාවට නිති නොතිබූ නිසා යම් පිරිස් වංචනික ක්‍රියා කළා. ඔවුන් මුදල් ලබා ගත්තා. ඔවුන්ට දඬුවම් ලබාදිය යුතුයි. හැබැයි නීති නැති නිසා ආණ්ඩුවට මේ මුදල් ලබාගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ.
from silumina
0 Comments