Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රස්සාවක් නැතිකමටයි මං ක්ෂේත්‍රයට ආවේ

ජනවාරි 2, 2020

මහේන්ද්‍ර කුලසිංහ නමැති නිර්මාණකරුවා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය ති‍්‍රත්වයක් මේ දිනවලදී විකාශය වේ. ඒ සුසුමක ඉම, ආදරවන්තයෝ සහ පොඩ්ඩිය. එයින් සුසුමක ඉම ස්වාධීන රුපවාහිනී නාළිකාවේ විකාශය වන අතර අනෙක් නාට්‍ය ද්විත්වය සියත නාළිකාවේ විකාශය වේ.

සහාය නිෂ්පාදන කළමනාකරුවකු හැටියට ක්ෂේත්‍රයට අවතීර්ණ වූ මහේන්ද්‍ර අද වනවිට කාර්යබහුල අධ්‍යක්ෂවරයකු බවට පත්ව සිටියි. මේ ඔහුගේ නිර්මාණයන් මෙන්ම නිර්මාණ දිවිය අලළා කළ කතාබහකි.

පොඩ්ඩි, ආදරවන්තයෝ සහ සුසුමක ඉම කියන නාට්‍ය ත්‍රිත්වයම විකාශය වෙනවා. විවිධ අන්දමේ ප්‍රතිචාර දකින්න අහන්න ලැබෙනවා ඇති?

ඔව් නාට්‍ය තුන ආදරය තේමාව කොට නිර්මාණය වුවත් කතාවන් එකිනෙකට පරස්පරයි. එක එක මට්ටමේ පේ‍්‍රක්ෂකයෝ ඒවා නරඹනවනේ. නිර්මාණකරුවන් හැටියට අපට වඩා නිර්මාණයක පේන්න ඉන්න නළු නිළියනටනෙ වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ. ක්ෂේත්‍රයේ අපිව දන්න උදවිය නම් එක එක විනිශ්චයත් ලබා දෙනවා. කොහොම වුණත් නිර්මාණ තුනටම එක එක ප්‍රමාණයන්ට ප්‍රතිචාර ලැබෙනවා. අපිව නොදන්නවා වුණාට සමහර අය නාට්‍ය ගැන කතා කරනවා.

ඔබ තවත් ටෙලි නාට්‍යයක් නිර්මාණය කරමින් නේද මේ දවස්වල ඉන්නේ?

ඔව්. ෆයර් කියලා තමයි නම තියලා තියෙන්නේ. ඒක ක්‍රියාදාම ගණයේ නාට්‍යයක්. දැනට අපි දවස් විස්සක් විතර ෂූට් කළා. අයේෂා අබේගුණරත්න සහ මේනුක ඩයස් තමයි ෆයර් නිෂ්පාදනය කළේ. දර්ශන් ධර්මරාජ්, සුලෝචනා වීරසිංහ, ගාවින්ද නවරත්න, කාවින්ද්‍යා දුල්ෂානි, ටෙක්ලා කුමුදු කුමාරි, හර්ෂණ බෙත්මගේ, සංජය මුරමුදලි ඇතුළු නළු නිළියන් ගණනාවක් ඒකේ රඟපෑවා. ෆයර් කියන්නේ එක අතකින් මට අවදානමක්.

ඇයි එහෙම කියන්නේ?

මේක ඇක්ෂන් ඩ්‍රාමා එකක්නෙ. මේ දවස්වල එවැනි නාට්‍ය කරනවා අඩුයි. අනික චැනල් එකකට කොටු වෙලා නෙවෙයි මේක පටන් ගත්තේ. මෙගා නාට්‍යයක් කරනවාට වඩා වැඩි මහන්සියක් ගත්තා ෆයර් නාට්‍යය කරන්න. මං මේ නාට්‍යයට දර්ශන්ලා වගේ ටෙලි නාට්‍යවල අඩුවෙන් දක්නට ලැබෙන නළු නිළියන්ව ගත්තෙත් ඒකයි. අප මේකෙ වැඩිපුරම ෂුූට් කළේ වහලා දාපු කාර්මාන්ත ශාලාවක. ඒකේ හොල්මන් ඉන්නවා කියලා ගම්මු කිව්ව. සමහරු බයත් වුණා. කාවින්ද්‍ය දුල්ෂානිව අඩි හයක විතර වලක බස්සලා දර්ශනයක් ගත්තා. ඇය පස් දාලා වහන සීන් එකක් තිබුණෙ. ලෙහෙසි වුණේ නැහැ හැම දෙයක්ම.

ෆයර් වගේ නාට්‍යයක් කළත් ඔබ වැඩි වශයෙන් ආදර කතා ළඟ කොටු වුණා නේද?

අපි වෘත්තීය අධ්‍යක්ෂවරුන්නේ. ඔය තත්ත්වය මත සමහර රීතීන්වලට එකඟ වෙලා තමයි නිර්මාණ කරන්නේ. චැනල්වලින් ඉල්ලන්නත් ලව් ස්ටෝරිනෙ වැඩි වශයෙන්ම. දිගින් දිගටම එවැනි ගනයේ නාට්‍ය කළේ ඒකයි. හැබැයි මං මගේ කොලිටිය අඩු කර ගත්තේ නැහැ. ඒකයි මං නිර්මාණය කරපු නාට්‍ය එකක්වත් ෆේල් වුණේ නැත්තේ. අන්තිමේ මං තීරණය කළා වෙනස් අන්දමේ නිර්මාණ කිහිපයක් කරන්න. එකේ පළමුවෙනි පියවර තමයි ඔය ෆයර් නාට්‍යය.තව නාට්‍යයක් පටන් ගන්නවා තල් අරණෙන් නිල් අරණට කියලා. ඒකත් ලොකු වැඩක්.

මහේන්ද්‍ර ක්ෂේත්‍රයට ආව විදිහ මතක් කළොත්?

දෙදහස් හතරෙ විතර තමයි මං ක්ෂේත්‍රයට ආවේ. ඇත්තටම මට මේක ගැන ඇල්මක් තිබුණේ නැහැ. රස්සාවක් නැතිකමටයි මං සහය නිෂ්පාදන කළමනාකරුවකු ලෙසට වැඩකරන්න පටන් ගත්තේ. සහාය නිෂ්පාදන කළමනාකරු කිව්වට වැඩිපුරම කළේ කඩේ යන එක. හැබැයි තෘප්තියෙන් ලැබුණු සෑම කාර්යයක්ම ඉටු කළා. පළමු ටෙලි නිර්මාණය වසූදා. දෛවයේ හැටි කියන්නේ සහාය නිෂ්පාදන කළමනාකරු හැටියට එකතු වෙලා අවසානයේ මං ඒ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වුණා. අන්තිම කොටස් තුන්සීය විතර අධ්‍යක්ෂණය කරන්නට මට අවස්ථාව හිමි වුණා. මං හිතනවා මට ඒ අවස්ථාවත් හිමි වුණේ ලැබුණු වගකීම් හරියටම ඉටු කරපු නිසයි කියලා. පස්සේ නාට්‍ය දෙකක, හිතට වහල්වීමි සහ සිහින පුරය සහාය අධ්‍යක්ෂණය කළා. නාලක වෙදමුල්ල අධ්‍යක්ෂණය කරමින් සිටි ඉටි මල් නාට්‍යය ඔහුගේ වියෝවෙන් පසුව මට අධ්‍යක්ෂණය කරන්න ලැබුණා. හරියට වසුදා නාට්‍යයත් එහෙමනෙ. මගේම කියලා මුලින් අධ්‍යක්ෂණය කළේ තරුමලි නාට්‍යය. හිරු සඳුට ආදරෙයි, ආදරවන්තයෝ වගේ නාට්‍ය පසුව නිර්මාණය කළා.

වර්තමානයේ බොහෝ අධ්‍යක්ෂවරු සරල තේමාවන් යටතේ නාට්‍යය නිර්මාණය කරන්නේ ඇයි?

දැන් තියෙන තත්ත්වය අනුව මිනිස්සු හිත් රිද්දගෙන නාට්‍ය නරඹන්න ආස නැහැ. හිත හිත ඉන්න, මේකෙ අන්තිමයට මොනවා වෙයිද, අර සීන් එකේ මොකෝ වුණේ වගේ කල්පනා කරන්න තියෙන කතා රැගත් නාට්‍යවලට වඩා සරල නාට්‍යවලටයි මිනිස්සු ආස. මොනවා හරි වැඩක් කරන ගමන් තමයි වැඩි දෙනා නාට්‍යය බලන්නේ. ඒ හින්දා මං හිතන පරිදි ටෙලි නාට්‍ය සරල විය යුතුයි.

නවක නළු නිළියන් ගැනත් ඔබට කියන්න වචනයක් ඇති?

ඇත්තටම දෙයක් තියෙනවා කියන්න. මමත් තවමත් ක්ෂේත්‍රය ගැන ඉගෙන ගන්නවා. ඇතැම් අලුත් අයට එහෙම කිසිම වුවමනාවක් නැහැ. නාට්‍යයකට කතා කළාම මුලින්ම අහන්නේ මට ඩයලොග් තියෙනවද කියලා. මූණ කළු කරන චරිතවලට ආස නැහැ. කැමරාව ඉස්සරහ සුදුවට ඉන්න ඕන. ටික වෙලාවක් අව්වේ ඉන්නත් අකැමැතියි. මම නම් දන්නේ නැහැ මෙහෙම පිරිසකට කවදා හොඳ නළුවෙක් නිළියක් වෙන්න ලැබේවිද කියලා.

නිශ්ශංක විජේරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();