Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික දින පණිවුඩ

ආධ්‍යාත්මික සංවර්ධනය ඇතිකර ගැනීමට අදිටන් කර ගනිමු

 මල්වතු මහා නාහිමි

ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය සමරණ මේ අවස්ථාවේ දී දේශපාලන පක්ෂ භේද අමතක කොට නිදහසේ නිසි ඵල නෙළා ගෙන දේශ මාමකත්වයෙන් හා යහගුණයෙන් පෝෂණය වූ සමෘද්ධිය හා සෞභාග්‍යය සපිරි රටක් ඇතිකර ගැනීමට අවශ්‍ය ශක්තිය ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ලැබේවායි ආශිංසනය කරන බව මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා නාහිමියෝ නිදහස් දින පණිවිඩයෙන් කියා සිටිති.

එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

දිළිඳු බව තුරන්කොට ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගැනීමට අදිටන් කර ගනිමු.

වර්ෂ 1815 මාර්තු 2 වන දින ඓතිහාසික මගුල්මඩුවේදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම තුළින් නිදහස් ස්වෛරී රාජ්‍යයක්ව පැවති ශ්‍රී ලංකාව ඉංග්‍රීසීහු ස්වකීය අධිරාජ්‍යයේ යටත්විජිතයක් බවට පත්කර ගත්හ. වැඩිකල් නොගොස්ම ඉංග්‍රීසින්ගේ උගුලට හසුව තම ස්වාධිපත්‍යය සම්පූර්ණයෙන්ම වාගේ අහිමි වී ගිය බව අවබෝධ කරගත් බොහෝ ගිහි පැවිදි ජාතික වීරයෝ ජීවිත පූජාවෙන් නිදහස පතා සටන්බිමට අවතීර්ණ වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1948 පෙබරවාරි මස 04වැනි දින නිදහස දිනාගැනීමට හැකිවිය.

එතැන් සිට මේ වනවිට ශ්‍රී ලංකාව නිදහස දිනා වර්ෂ 71ක් ගත වී ඇති නමුත් දිනාගත් නිදහස වඩාත් අර්ථවත් කර ගැනීමට අපොහොසත් වී සිටිමු. ඉංග්‍රීසි පාලකයන්ගෙන් නිදහස දිනාගත් සමකාලීන බොහෝ රටවල් දියුණුවේ හිණිපෙත්තට නැගී ඇති නමුත් අප රටට ආර්ථික හා ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර ගැනීමට අසමත්වීම බලවත් කනගාටුවට කරුණකි. අපේ පිටිසර ගම් දනව්වල වාසය කරන අහිංසකයන්ගේ දිළිදු බව තුරන් කොට ආර්ථික හා ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමට අනලස්ව ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇත.

ශ්‍රී ලංකාවේ 71 වන නිදහස් දිනය සමරන මෙම අවස්ථවේදී දේශපාලන පක්ෂ භේද අමතක කොට නිදහසේ නිසි ඵල නෙළා ගෙන දේශමාමකත්වයෙන් හා යහගුණයෙන් පෝෂණය වූ සමෘද්ධිය හා සෞභාග්‍යය සපිරි රටක් ඇති කර ගැනීමට ක්‍රියාකිරීමට අවශ්‍ය ශක්තිය ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ලැබේවායි ආශිංසනය කරම්හ.

**************

නිවහල් සමාජයක් බිහිකිරීම අප කාගේත් යුතුකමක්

 අස්ගිරි මහා නාහිමි

මනුෂ්‍ය ගුණධර්ම අගයන, ජාතික, ආගමික, සමාජීය සහ සංස්කෘතික අනන්‍යතාවයන් සුරැකෙන පරිදි ආධ්‍යාත්මික ගුණවගාවෙන් යුතු නිවහල් ජාතියක් ලෙස කටයුතු කරන සමාජයක් බිහිකිරීම අප කාගේත් යුතුකමක් බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක මාහිමිපාණන් සිය ජාතික දින පණිවුඩයෙන් කියා සිටිති.

එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බලන කළ වරින්වර අප විදේශීය සතුරු ආක්‍රමණවලට කිහිප වතාවක්ම ලක්වූ බව ඉතිහාසයේ සඳහන්ව ඇත. ඒ සෑම අවස්ථාවකම අපගේ ජාතික ආගමික සමාජයීය රටාවන්ට බලපෑම් එල්ල වූ අතර අපගේ සංස්කෘතියක් තුළ අපටම ආවේණික වූ උදාර මිනිස් ගතිගුණ‍යන් පරිහානියට පත්විය. එවැනි රටාවක් තුළ අප තුළ තිබූ එක්සත් බව නැතිවීමෙන් රටේ සමෘද්ධිය හා සෞභාග්‍යයට විශාල හානියක් සිදුවිය.

අප ජාතියට අත්වූ මේ අවාසනාවන්ත ඉරණමෙන් රට ජාතිය මුදාගැනීම පිණිස ජීවිත පරිත්‍යාගයෙන් උදාර සේවයක් ඉටුකළ ගිහි පැවිදි ජාතික වීරයන් බොහෝය. ඒ උදාර කැප කිරීම තුළින් ක්‍රිස්තු වර්ෂ 1948 පෙබරවාරි මස හතරවැනි දින බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස ලබාගැනීමට අපට හැකිවිය. එදා මෙදාතුර හැත්තෑ එක් වසරක් ගතවී ඇති වර්තමාන කාල වකවානුව තුළදී විදේශ ආධිපත්‍යයට යටත්වී සිටි බොහෝ රටවල් දෙස බලන කළ අපට වඩා ආර්ථික හා භෞතික වශයෙන් ඒ රටවල් සංවර්ධනය වී නිදහසේ සැබෑ අර්ථය අත්විඳිමින් සිටින බව දක්නට ලැබේ. අපට ජාතියක් වශයෙන් ආගමික හෝ දේශපාලනික හෝ නානාවිධ භේදයන්ගෙන් තොරව සමගි සම්පන්න එක්සත් රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට නොහැකිවීම ජාතියක් වශයෙන් කනගාටුවිය යුතු කාරණාවකි.

හැත්තෑ එක්වන නිදහස් දින සැමරුම් උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට රජය කටයුතු කරමින් සිටින මේ අවස්ථාවේදී මනුෂ්‍ය ගුණධර්ම අගයන, ජාතික, ආගමික, සමාජයීය සහ සංස්කෘතික අනන්‍යතාවයන් සුරැකෙන පරිදි අධ්‍යාත්මික ගුණවගාවෙන් යුතු නිවහල් ජාතියක් ලෙස කටයුතු කරන සමාජයක් බිහිකිරීම අප කාගේත් යුතුකමක් බවත් ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස්කිරීම සැමගේ වගකීමක් බවත් සඳහන් කරන අතර මේ නිදහස් දින කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ආශිංසනය කරම්හ.

**************

බුද්ධිමත්ව අපි කවුරුත් ක්‍රියා කළ යුතු කාලය ඇවිත්

 කොටුගොඩ ධම්මාවාස හිමි

රටේ අනාගතය පවතින්නේ අපේ දරු පරපුර නිසි මඟට යොමුකරවා ගැනීමෙන් බවත් සදාචාරයත්, එයින් ඇතිවන සාමයත්, සාමයෙන් බිහිවෙන සමෘද්ධියත් ඇති කරනු සඳහා මීට වඩා බුද්ධිමත්ව අපි කවුරුත් ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇති බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමි සිය නිදහස් දින පණිවිඩයෙන් ‍කියා සිටියහ.

එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකාද්වීපය අපේ සිංහල රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ පරිපාලනය යටතේ බුද්ධාගම අනුශාසකත්වයෙහි තබාගෙන පාලනය වූ දිවයිනකි. එහෙත් එක්දහස් පන්සිය පහෙන් පසු පෘතුගීසි ලන්දේසි යන ජාතීන්ට රටේ මුහුදුබඩ ප්‍රදේශ ඇතුළු රටවටා විශාල පෙදෙසක් යටත්ව පැවතියහ. ඉන් අනතුරුව දාහත් වසරක උපායශීලී ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙන් එක්දහස් අටසිය පහළොවේ මාර්තු මාසයේදී කඳුකරය ඇතුළු මුලු රටම ඉංග්‍රීසින්ට යටත්කර ගැනීමට හැකිවිය. මේ අනුව වසර හාරසිය හතළිස් දෙකක පරාදීන යුගයකින් පසු නැවත පූර්ණ නිදහස ලැබුවේ එක්දහස් නවසිය හතළිස් අටේ පෙබරවාරි හතරවැනිදා ය.

යටත්විජිත යුග තුනක් ගෙවා, නිදහස ලද ශ්‍රී ලංකාද්වීපය දැන් මේ ගතකරනු ලබන්නේ අදින් ආරම්භ වන හැත්තෑ එක් වැනි වසරය. මේ දශක හත තුළ නිදහසින් පසු අප ලද ප්‍රගතිය ගැන සෑහෙන තරමකින් අපට සතුටුවිය හැකිය. විවිධ දේශපාලන අරගල, මැද තිස් වසරක යුද්ධයක්ද ගෙවා ශ්‍රී ලංකාද්වීපය එදාට වඩා අද දියුණු තත්ත්වයකට පත්ව ඇත. එනමුත් තවමත් අප ඉදිරියේ ඇති රටේ ආර්ථික ප්‍රශ්නය විසඳාගැනීම පිණිස රජය ඇතුළු ජනතාව විසින් වඩා වේගවත් ගමනක් යා යුතුව තිබේ. ඒ අතරම අධ්‍යාපන තත්ත්වයෙන්ද අපි පෙරට වඩා සතුටුදායක විය හැකි අයුරින් ප්‍රගතියක් ලබමින් සිටිමු. වඩාත් අනාගතය සරුසාර කරගැනීම පිණිස, පෙරකී පරිදි සෞභාග්‍යසම්පන්න වීමට අවශ්‍ය මග නිසිපරිදි තෝරාගෙන ජාති ආගම් වශයෙන් නොබෙදී ඉදිරියට යා යුතු අවස්ථාව දැන් අප පැමිණ ඇති ස්ථානයයි. වේගයෙන් දියුණුව කරා යන ලෝකයේ තාක්ෂණික දියුණුව මිනිසාගේ අභිවෘද්ධියට හේතුවී ඇතත්, අනෙක් අතට එය පරිහානියට හේතුවන අයුරින් යොදා ගැනීමද බොහෝ ජාතීන් වගේම අපෙන්ද සිදුවෙමින් පවතින බව විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. රටේ අනාගතය පවතින්නේ අපේ දරු පරපුර නිසි මඟට යොමුකරවා ගැනීමෙනි. සදාචාරයත්, එයින් ඇතිවන සාමයත්, සාමයෙන් බිහිවෙන සමෘද්ධියත් ඇති කරගනු සඳහා මීට වඩා බුද්ධිමත්ව අපි කවුරුත් ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇතිබව සැළකිය යුතුය.

 

**************

නිදහස පුද්ගලයකුට ගෞවරනීය හැඟීමක්

 කතානායක කරූ ජයසූරිය

උතුම් මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගයන්ගේ ප්‍රතිඵලයක් වන නිදහස යම් දේශයකට ජන සමාජයකට හෝ පුද්ගලයකුට අතිශයින්ම ආශ්වාදනීය ගෞවරනීය හැඟීමක් බවත්, එම හැඟීම මූර්තිමත් කරමින් ජාතික නිදහස සමරන මේ මොහොතේ රටක් ජාතියක් ලෙස අප විසින් ජය ගත යුතු අභියෝග පිළිබඳව නිවැරැදි දැක්මක් ඇති කර ගැනීම අතවශ්‍ය බවත් කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කරයි.

කතා‍නායක කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ 71 වැනි ජාතික සමරුව නි‍මිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ඉතිහාසය පුරාම මිනිස් නිදහස අහිමි කළ බලවේග නිර්මාණය වූයේ ද මිනිසුන් අතරින්මය. විටෙක අනේක විධ වධ බන්ධන හා බලහත්කාර යටපත් කිරීම් ද තවත් විටෙක නොයෙකුත් වරප්‍රසාද වරදාන මගින් ආත්මාර්ථය සන්තර්පනය කිරීම්ද එහිදී යොදා ගනු ලැබූහ.

එම සියල්ල හමුවේ ස්වකීය කශේරුකාව නොනැමූ හෘද සාක්ෂියට දැනෙන නිවහල් යුක්තිගරුක හැඟීම් වෙනුවෙන් පෙනී සිටි උදාර මිනිසුන් නිදහසේ පීතෘවරුන් වෙති.

සැබැවින්ම එම උතුම් මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගයන්ගේ ප්‍රතිඵලය වන නිදහස යම් දේශයකට ජන සමාජයකට හෝ පුද්ගලයෙකුට අතිශයින්ම ආශ්වාදනීය ගෞවරනීය හැඟීමකි. එම හැඟීම මූර්තිමත් කරමින් ජාතික නිදහස සමරන මේ මොහොතේ රටක් ජාතියක් ලෙස අප විසින් ජය ගත යුතු අභියෝග පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කර ගැනීම අතවශ්‍ය වෙයි. අනාගත පරපුරට වඩාත් නිදහස් සමෘද්ධිමත් දේශයක් උරුම කර දීමත් නිදහස උදෙසා ඉතිහාස වංශ කතාව පුරාම ස්වකීය දිවි පූජා කළ විරුවන්ට නිසි ගෞරවය පුද කිරීමත් කළ හැක්කේ එවන් ප්‍රවේශයක් තුළිනි.

නිරන්තර දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කර ගත යුතුව තිබේ. නිර්මාණශීලිව නව ඉසව් හඹා යමින් ස්ථීරසාර ආර්ථික සමෘද්ධියක් අත්පත් කර ගත යුතුව තිබේ. ජාතික, ආගමික, සංහිඳියාව එහි පදනම බවට පත් වීම අත්‍යවශ්‍යය.

 

**************

නිවහල් සිතුවිලිවලින් සිත් සන්තර්පනය කරගැනීමට ජනතාව අදිටන් කරගත යුතුයි

 ඇමැති සජිත් ප්‍රේමදාස

ලැබූ නිදහස මෙරට සියලු ජාතින් විසින් සංහිඳියාවෙන් බුක්ති විඳිනු ලබන්නේ නම් මේ මහෝත්සවය වර්ණවත් කිරීමට එය ඉවහල් වන බවත් ජාතීන් අතර අවබෝධය හා මිත්‍රශීලී ආකල්ප බිඳ දමනසුලු ජාති ද්‍රෝහීන් හා ඔවුන්ගේ දුෂ්ට ව්‍යාපාර හඳුනා ගැනීමට සහ ඒවායින් මිදී නිවහල් සිතුවිලිවලින් සිත් සන්තර්පනය කරගැනීමට මෙවර ජාතික නිදහස් දිනයේදී සමස්ත ජනතාව අදිටන් කරගත යුතු බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා 71 වැනි නිදහස් දින පණිවිඩයෙන් කියා සිටියි.

එම පණිවුඩයේ මෙසේද දැක්වේ.

හැත්තෑ එක්වන ජාතික නිදහස් සමරුවට අපි එක්ව සිටිමු. නිදහස දිනා ගැනීමට එකාවන්ව පෙළගැසුණු මෙරට සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන සියලු ජාතීන්ට එකට එක්ව අභිමානයෙන් සැමරිය හැකි නිදහස් දින මහෝත්සවය අපේ ජාතික එකමුතුව තවදුරටත් තීව්‍ර කරයි.

ජාතියක් ලෙස ඉදිරිය කරා පියමැනීමේදී අප මෙතෙක් ලද පසුබෑම් මෙන්ම සුවිශේෂ ජයග්‍රහණ ආවර්ජනය කිරීමට ජාතික නිදහස් දිනය තරම් මහඟු අවස්ථාවක් නොමැතිය. නිදහස ලබා වසර හැත්තෑ එකක් පසුවූවත් තවමත් අපට තෘප්තිමත් විය නොහැකි කරුණු කාරණා රැසකි. ජනතාව අතර පවතින ආර්ථික විෂමතා අවම මට්ටමකට පත්කිරීමේ සටන තවමත් ජයග්‍රහණය කිරීමට හැකිවී නැත. දීප ව්‍යාප්ත මට්ටමින් ගෙන හැර බැලීමේදී අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවලින් තවදුරටත් ප්‍රගතියක් අත්පත් කරගත යුතුව තිබේ. දශක ගණනාවක් මුළුල්ලේ අඛණ්ඩව ඉටුනොවුණු ජනතාවට නිවාස හා ඉඩම් අයිතිය හිමිකර දීමේ මෙහෙයුමින්ද අපේක්ෂිත ඉලක්ක රැසක් සපුරා ගත යුතුව ඇත. තරුණ තරුණියන්ට රැකියා අවස්ථා හිමිකරදීම කෙරෙහි අප තුළ පවතින බලාපොරොත්තු සාක්ෂාත් කරගත හැකි ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සිදුවිය යුතුය.

පෙර කී අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙරට ජාතීන් අතර සාමය හා සංහිඳියාව මැනවින් තහවුරු වී පැවතීම දැඩි බලපෑමක් ඇති කරයි. සෙසු ජාතීන්ටත්, ආගම්වලටත් සියලු අවස්ථාවන්හිදී ගෞරවපූර්වකව කටයුතු කිරීම සෑම පුරවැසියෙකුගේම යුතුකම වේ. මන්ද අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස දිනාගැනීමට මෙරට සියලු ජාතීන් කොන්දේසි විරහිතව එක්වීම හේතුකොටගෙනය. අද ඒ නිදහස මෙරට සියලු ජාතීන් විසින් සංහිඳියාවෙන් බුක්ති විඳිනු ලබන්නේ නම් මෙම මහෝත්සවය වර්ණවත් කිරීමට එයම ඉවහල් වනු ඇත. ජාතීන් අතර අවබෝධය හා මිත්‍රශීලී ආකල්ප බිඳ දමනසුලු ජාති ‍ද්‍රෝහීන් හා ඔවුන්ගේ දුෂ්ට ව්‍යාපාර හඳුනාගැනීමට සහ ඒවායින් මිදී නිවහල් සිතුවිලිවලින් සිත් සන්තර්පණය කරගැනීමට මෙවර ජාතික නිදහස් දිනයේදී අපි අදිටන් කර ගනිමු.

 

**************

අලස නොවී රට වෙනුවෙන් වැඩ කළ යුතුයි

 ස්වාමි අක්ෂරාත් මානන්දගේ

රටේ සියලු පුරවැසියන් පක්ෂ ආගම් බේදයකින් තොරව රටේ සංස්කෘතිය, නිදහස හා වගකීම් ආරක්ෂා කරමින්, අලස නොවී මහන්සියෙන් තම රට වෙනුවෙන් වැඩ කළ යුතු බව රාමක්‍රිෂ්ණ මීෂන්හි කොළඹ ශාඛාවේ උප සභාපති ස්වාමි අක්ෂරාත් මානන්දගේ 71 වැනි නිදහස් දින පණිවිඩයෙන් කියා සිටියි.

එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබ දිනයක් වූ 71 වැනි නිදහස් දිනය අපි අද සමරන්නෙමු.

ශ්‍රී ලංකාව අවුරුදු ගණනාවක බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස ලබාගත්තේ අද වැනි දිනකය. නිදහසට පෙර අප සිටි තත්ත්වය පිළිබඳව සිහිකිරීමට අවස්ථාවක් ලැබීම නිසා මේ දිනය ශ්‍රී ලාංකිකයන්ට වැදගත් දිනයක් වන්නේය. නිදහස නොමැතිව කිසිදු රටකට පූර්ණ සංවර්ධනයක් අත්පත් කරගත නොහැකි වනවා මෙන්ම එම රටේ සංස්කෘතිය හා සම්ප්‍රදායයන් පවත්වාගෙන යාම ද කළ නොහැකිය.

රටක ප්‍රතිරූපයට අද්විතීය බවක් ලැබෙන්නේ සංස්කෘතිය මඟින්ය. නිදහස හා වගකීම වෙන් කළ නොහැක. එබැවින් සියලු පුරවැසියන් අනලස්ව හා මහන්සියෙන් තම රට වෙනුවෙන් වැඩ කළ යුතුය.

අද වැනි දිනක සියලු පුරවැසියන් තමන් වගකිව යුතු හා උගත් පුරවැසියන් බව අවධාරණය කරමින් සපථ කළ යුතුය. සියලුදෙනාම ජාතික ඉලක්ක ළඟා කර ගැනීමට තම තමන්ගේ යුතුකම ඉටුකරමින් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුය.

ආගමික හා සංස්කෘතික වටිනාකම්වල අගය අනුව ලංකාවේ වර්ධනය තීරණය කළ හැකිවාක් මෙන්ම ජාතික සම්පත් සෑමදෙනා අතර සමානව බෙදී යන්නේ ද යන්න අනුවත් රටේ වර්ධනය තීරණය විය හැක. අපට සිතීමට නිදහස ඇතිවිට අපගේ වගකීම වන්නේ ධනාත්මක ලෙස සිතීමයි. අපට කතා කිරීමට නිදහස ඇති විට අපගේ වගකීම වන්නේ මනා ලෙස හා අර්ථවත් ලෙස කථා කිරීමය. අපට ක්‍රියාකාරී වීමට නිදහස ඇති විට අප ක්‍රියා කළ යුත්තේ නිවැරදි ආකාරයටය. සෑම ශ්‍රී ලාංකිකයකුටම එලෙස වගකීම් සහගත හැඟීමක් ඇති කර ගත හැකි නම් ලංකාව නියම මාවතේ ගොඩනැඟීමට හැකි වනු ඇති අතර ලංකාව සියලුදෙනාටම යහපත් රටක් වනු ඇත.

මේ සතුටුදායක අවස්ථාවේ සියලු ශ්‍රී ලාංකිකයන්ට සාමයෙන් සමාදානයෙන් සෞභාග්‍යමත් ලෙස ජීවත්වීමට දෙවියන්ගේ ආශීර්වාදය ලබා දෙන ලෙස යාච්ඥා කරමි.

**************

මවු රටේ දියුණුවට කැපවීමට ඉදිරිපත් විය යුතුයි

 එම්. එම්. ඒ මුබාරක්

මිතුන් මිත්තන් මෙන් ජාති ආගම් බේද නොතකා රටේ නිදහස වෙනුවෙන් අරගල කළාක් මෙන් අපද ජාති ආගම් දේශපාලනයට එහායින් ගොස් මවු රටේ දියුණුව උදෙසා කැප වන්නට ඉදිරිපත් විය යුතු යැයි සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනයේ ලේකම් එම්. එම්. ඒ මුබාරක් මහතා 71 වැනි නිදහස් දින පණිවිඩයෙන් කියා සිටියි.

එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

අපගේ මව් රට වන ශ්‍රී ලංකාව 71 වැනි නිදහස් දිනය පෙරදැරි කර‍ගනිමින් සුභපැතුම් පණිවිඩයක් දැනුම් දීමෙහි සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනයේ ඉමහත් සතුටට පත්වෙයි.

අප මව් රටට මේ නිදහස ලබාදුන් බෞද්ධ, හින්දු, මුස්ලිම්, කිතුනු නායකයන් එක්ව ජාති, ආගම් භේදවලට එහායින් ගොස් ඇප කැපවී එකමුතුව ක්‍රියා කළහ. මෙසේ ක්‍රියා කළ ශ්‍රේෂ්ඨයන් අපගේ නිදහස් දින වැඩසටහන් තුළ මෙනෙහි කරනු ලැබීම අනිවාර්යය කරුණකි.

එමෙන්ම අපගේ මුතුන් මිත්තන් ජාති ආගම් භේද නොතකා රටේ නිදහස වෙනුවෙන් අරගල කළාක් මෙන්ම අප ද ජාති ආගම් හා දේශපාලනයට එහායින් ගොස් මවු රටේ දියුණුව උදෙසා කැපවන්නට ඉදිරිපත් විය යුතු යැයි සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන් මුස්ලිම්වරු, රටේ නිදහස වෙනුවෙන් සටන් කළ අපගේ මුතුන් මිත්තන් වන ටී. බී. ජයා, සර් රාසික් ෆරීඩ් වැනි උත්තමයන් ආදර්ශයට ගෙන කටයුතු කොට, දේශය වෙනුවෙන් කැපවන දේශප්‍රේමීන් බවට තමන් හැඩගස්සවා ගත යුතු යැයි ද අප සම්මේලනය අපේක්ෂා කරයි.

බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි යන බහු ආගමිකයන් ජීවත්වන මෙරට කවදත් සමෘද්ධිමත් හා සංවර්ධිත රටක් ලෙස වැජඹිය යුතුයි යන්න අපගේ අපේක්ෂාව හා පැතුමයි. රටක සමෘද්ධිය හා සෞභාග්‍යය එරටේ ජනතාවගේ එකමුතුකම හා දේශප්‍රේමිත්වයෙහි රැඳී පවතින බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය මතක් කර දෙයි.

එබැවින් මේ රටේ ඒකීයත්වය හා එකමුතුකම නගාසිටුවන්නට එකිනෙකා අනෙකාට ඉඩ දී සියලු ජාතීන් එක මවකගේ දරුවන් මෙන් ජීවත්වන්නට සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය සුබපතයි. එමෙන්ම අප රට සියලු සම්පත්වලින් පිරුණු එක්සත් ලංකාවක් ලෙස වැජඹෙන්නට ප්‍රාර්ථනා කරයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();