පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වාවි යැයි විශ්වාස කරනවාද?
ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ මැතිවරණ කල් දාන්න. ආණ්ඩුවේ වගකීම තමයි මැතිවරණය නිසි වේලාවට පැවැත්වීම. මේ වන විට පළාත් සභා වැඩි ප්‍රමාණයක නිල කාලය අවසන් වෙලා. තව ටික දවසකින් බස්නාහිර වගේම දකුණු පළාත් සභාවේත් නිල කාලය අවසන් වෙනවා. ඌව පළාත් සභාවේ විතරයි ඉතිරි වන්නේ. මේ වන විට පළාත් සභා අක්‍රිය තත්ත්වයකයි පවතින්නේ. ආණ්ඩුව ඊට වගකිව යුතුයි.
ඒත් ආණ්ඩුව කියන්නේ මැතිවරණ පැවැත්වීමට ඇති ක්රමයේ ප්‍රශ්නයක් නිසා මැතිවරණය කල් යන බවයි.
මැතිවරණ ක්රමයේ ගැටලුවක් නිසා මැතිවරණය කල් යනවා නම් ඒකෙ වැරැද්දත් ආණ්ඩුවේ. මැතිවරණ පවත්වන ක්රමයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හදන්න ඕනෙත් ආණ්ඩුවමනේ. කවුරුවත් පිටින් ඇවිත් හදලා දෙන්නෙ නැහැනෙ. මැතිවරණය පවත්වන්න ඕනෑ නම් ඒක මහ දෙයක් නෙමෙයි. එක්කො අලුත් ක්‍රමය සම්මත කරගන්න පුළුවන්. නැති නම් පරණ ක්‍රමයට තියන්න ක්‍රමවේදය හදාගන්න ඕන.
ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවා තිබෙනවා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධව. ඒ ගැන දැනුවත් බවක් නැත්ද?
නැහැ. අපට ඒ ගැන දන්වා නැහැ. අපේ පක්ෂයේ කවුරුත් කැබිනට් එකේ නැහැනෙ.
මේ දවස්වල වේදිකාවල, වගේම රූපවාහිනියෙත් අසන්නට දකින්නට ඇහෙන්නේ රට බෙදීමක් ගැනයි. මහ නායක හාමුදුරුවන්ට පවා ඒ ගැන දැනුම් දෙනවා. ඒ ගැන ඔබේ පක්ෂයේ අය කියන්නේ එහෙම දෙයක් නැහැ කියලයි.
ඔය රට බෙදනවා කියන කතාව හරියට හිඟන්නගේ තුවාලෙ වගේ. හිඟන්නො හැමදාම කියන්නෙ අම්මට සනීප නැහැ, එහෙම නැති නම් අසනීපෙට බේත් ගන්න, කකුලෙ තුවාලයක් නිසා වැඩ කර ගන්න බැහැ, ඔය වගේ කතානෙ. ඒ හිඟන්නගේ අම්මා කවදාවත් සනීප වෙන කෙනෙක් නෙමෙයි. තුවාලෙත් එහෙමනෙ. මාසෙකට පස්සෙත් එහෙමමයි. මිනිස්සුත් මේක දන්නවා. දැකලා බොරුවක් කියලාත් දන්නවා. ඒ දැන දැනත් ‘අනුකම්පාව’ අපේ හිතේ තියෙන නිසා හිඟන්නට සල්ලි දෙනවා. එක අතකින් රැවටෙනවා. ඒ විදියට හිතන අපේ සමහර දේශපාලන හිඟන්නොත් ඉන්නවා. ජනතාවත් හිතනවා ඒක ඇත්ත කියලා. ජනතාව ඒක ඇත්ත කියලා හිතන කල් මේ දේශපාලන හිඟන්නො ඔය විදිහෙ කතා කියනවා. මේ දවස්වල හොඳම තුවාලෙ තමයි රට බෙදනවා කියන එක.
ජනතා විමුක්ති පෙරමුණ මේ රට බෙදන කතාව ගැන දරන මතය කුමක්ද?
ජ.වි.පෙ ඉතාම පැහැදිලිව බෙදුම්වාදයට විරුද්ධයි. අද වගේ නෙමෙයි යුද්ධය ඉතාම තීව්ර ලෙසින් තිබුණු කාලෙ, ඉන්දියාව හා බටහිර රටවල් ප්රභාකරන්ට රට කඩන්න උදවු කරද්දි, රනිල් වික්‍රමසිංහ - එරික් සොල්හයිම් එක්ක ගිවිසුම් ගහද්දි, අකාශිල රට බෙදන්න කතා කරද්දි ආපු බලවේග මීට වඩා දරුණුයි. රට ව්‍යවස්ථාවෙන්, එහෙමත් නැති නම් භෞතික ලෙසින් හෝ බෙදා වෙන් කරන්න අපි ඉඩ තියන්නෙ නැහැ. බෙදුම්වාදයේ කෙළවරටම ගිහින් තිබුණු යුගයකත් ජනතා විමුක්ති පෙරමුණ හැම විටම රට බෙදීමට විරුද්ධව කතා කළා.
එදා සුනාමි සහන මණ්ඩලය මඟින් වගේම සටන් විරාම ගිවිසුම්, ඒ වගේම උතුරු නැෙඟෙනයිර ඒකාබද්ධ කිරීම් මඟිනුත් සිදු කරන්න උත්සාහ කරපු රට බෙදීමේ උත්සාහයන් අපි පරාජය කළා. එදා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ රට බෙදීමේ උග්‍ර තත්ත්වයක් පැවතුණා. රජීව් ගාන්ධි උඩින් පරිප්පු දාලා කරන්න උත්සාහ කළේත් රට බෙදන්න පාර කපපු එකයි. ජනතා විමුක්ති පෙරමුණ රට බෙදීම සම්බන්ධව ආයුධ ගෙන කතා කරනවා නම් ආයුධවලින් හරි, නීතියෙන් නම් නීතියෙන් හරි, උද්ඝෝෂණයෙන් නම් උද්ඝෝෂණයෙන් හරි, එය පරාජය කරනවා. එයින් ආසන්න තත්ත්වයකටවත් තියන්න අප ඉඩ තියන්නේ නැහැ. මේ දවස්වල දේශපාලන වාසි තකා ගෙනියන කතාවල පදනමක් නැති නිසා අපි ඒ ගැන වෙහෙසෙන්නේ නැහැ.
නමුත් සුමන්දිරන් මන්ත්‍රීතුමා කිහිප අවස්ථාවකදීම කියලා තිබුණා. ඒකීය රාජ්‍යයක් යටතේ බලය බෙදීමක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නෙ කියලා.
සුමන්දිරන්ලටත් දේශපාලනයේ පවතින්න වෙන දෙයක් නැහැනෙ. ඒ ගොල්ල එහේ කරන්නෙ මෙහේ විමල් වීරවංශල, ගම්මන්පිලල කරන එකමනේ. විමල් වීරවංශ ගම්මන්පිල වගේ අය කියන දෙයක් අල්ලගෙන සුමන්දිරන් එහේ අයට කියනවා. අන්න දකුණේ අය අපිට මුකුත් දෙන්නෙ නැහැ කියලා. එහෙම ඒ අයගේ ඡන්ද පදනම හදා ගන්නවා. එයාල එහේ කියන කතාවක් අල්ලගෙන විමල්ල ගම්මන්පිලල මෙහේ එයාලගේ ඡන්ද පදනම හදා ගන්නවා. ගම්මන්පිලලට සුමන්දිරන් නැටවෙනවා. සුමන්දිරන්ලට ගම්මන්පිලල නැටවෙනවා. මෙතැන උතුරේ අයටවත් දකුණේ අයටවත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ ජාතිවාදය හැර වෙනත් දේශපාලනයක් නැති අයටයි. සුමන්දිරන්ට වඩා ජාතිවාදියිනෙ විග්නේෂ්වරන්ලා, ගජේන්ද්රන්ලා වැඩිය හයියෙන් ජාතිවාදය කතා කරන කෙනාටයි ඉස්සරහට යන්න පුළුවන් කියල එයාල හිතන්නෙ.
වත්කම් සඟවන අය අල්ලන්න අල්ලස් පනතට වැඩියෙන් බලය දෙන්න යනවා. ඒ ගැන ජනතා විමුක්ති පෙරමුණේ මතය කුමක්ද?
අපේ රටේ දූෂණය නාස්තිය වළක්වන්න ඕනෑ තරම් නීති තියෙනවා. අලුතින් නීති ගේන්න ඕනෑ පවතින නීති ප්‍රමාණවත් නැති නම් නෙ. ලංකාවෙ තියෙන්නෙ නීති මදිකමේ ප්‍රශ්නයක් නෙමෙයි. පවතින නීති ඕනෑ තරම් ප්‍රමාණවත්. ඒවා ක්‍රියාත්මක නොවීමේ ගැටලුවයි තියෙන්නේ. අල්ලස් කොමිසමේ පවතින නීති හොඳටම ප්‍රමාණවත්. තිබෙන නීති ක්‍රියාත්මක නොකිරීමයි තියෙන ප්රශ්නය වන්නේ. පවතින නීති නිසි පරිදි ක්‍රියාත්මක කරලද අලුතින් නීති ගේන්න හදන්නේ. අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිනියට වැඩ කරන්න දුන්නෙ නැත්තෙ එතැන හිටපු කාර්ය මණ්ඩලයද? එයාව අයින් කරේ කවුද කියල රටම දන්නවනේ. නීතිය ක්‍රියාත්මක කරවන අය හොරුන් වුණාම මොන නීතිය තිබුණත් වැඩක් නැහැ. මේවා නිකං හිනා යන කතා.
මත් විරෝධී වැඩසටහන මේ වන විට සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙනවා නේද?
සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙනවා කියන්නේ පෝස්ටර් බැනර් නිසාද? මත් උවදුර මඬින්න ගුවන් තොටුපොළෙනුයි වරායෙනුයි එන කුඩු නැවැත්වුවා නම් ප්‍රශ්නෙ ඉවරයිනෙ.
ඒත් බෝට්ටු මඟින් සෑහෙන්න මත්කුඩු ගෙනැත් මේ වන විට අසුවී තිබෙනවා.
නැව්වලින්, ප්ලේන්වලින් එන තරම බැලුවහම බෝට්ටුවලින් ගේන්නෙ මොන තරම් ද සොච්චමක්ද? කුඩු එන ප්‍රධාන තැන් වහන් නැතිව මොන විසඳුම් දුන්නත් වැඩක් නෑ.
from silumina
0 Comments