Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාතාලය සුරකිමින් ගුරුවරුන් හිරේ දමන යහපාලනයේ මානව හිමිකම් චින්තනය

සිසුවකුට පහර දුන්නා යැයි කියන ගුරුවරියකට බරපතල වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම් නියම කිරීමට කුරුණෑගල මහාධිකරණය කටයුතු කර තිබේ. අදාළ පුවතේ කියවෙන පරිදි එය බොරු චෝදනා මත පැනවූ සිර දඬුවමකි. චෝදනාව බොරු වුවද ඇත්ත වුවද මෙය පුදුමාකාර නඩු තීන්දුවකි. පාතාල නායකයන්ගේ මගුල් ගෙවල්වලට පොලීසියෙන් ආරක්ෂාව සපයන කාලකණ්ණි රටක (එය පසුගිය අප්‍රේල් 25 වැනිදා වත්තල ප්‍රදේශයේ සිදුවූ සිදුවීමකි.) දරුවෙකුට දඬුවම් දුන් ගුරුවරියක් දෙවසරකට හිරේ යැවීම එක් අතකින් පුදුමයක්ද නොවේ. ළමා හිංසනය පිළිබඳ ගොබ්බ තර්කයකට මුවාවී දරුවන්ට දඬුවම් දීමට එරෙහිව පළවන රූපවාහිනී දැන්වීම් ආදිය පසුගිය කාලයේදී අපට නිතර දක්නට ලැබිණි. ඒ වෙනුවෙන් පෙනී සිටින එන්ජීඕ සංවිධාන ආදිය වර්තමාන යහපාලන ආණ්ඩුවේ මහා මෙහෙයුම්කරුවෝ වෙති. ඒ නිසාම මේ යකාගේ නඩු තීන්දුවද මෙරට සමස්ත දේශපාලන වියවුලේ ප්‍රකාශනයක් යැයි කිසිවෙකුට සැක සිතෙන්නේ නම් එහි කිසිදු අසාධාරණයක් නැත.

ළමා හිංසනයට එරෙහි විය යුතු බව ඇත්තකි. නමුත් ප්‍රායෝගිකව ඒ හිංසනයේ සීමා මායිම් හා නිර්ණායක මොනවාදැයි තීරණය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නොහැකි නම් සිදුවිය හැක්කේ මහා ඛේදවාචකයකි. සිසුවෙකුට දඬුවම් කිරීම සම්බන්ධව ගුරුවරයෙකු වැරදි කරුවෙකු කළ යුත්තේ ඔහු ද්වේශ සහගත ලෙස, අසාධාරණ ලෙස, නොගැළපෙන තරමේ ශාරීරික දඬුවමක් ලබා දී එයින් එම සිසුවාට සැලකිය යුතු හානියක් සිදුවී ඇත්නම් පමණි. නමුත් ඊනියා මානව හිමිකම් කරුවන්ගේ තර්ක අනුව සිසුවකුට කරන ඕනෑම පහර දීමක් වැරදිය. දේශීය සංස්කෘතිය තුළ ගුරුවරයා සිසුවෙකුට දඬුවම් කිරීම අනිසි කටයුත්තක් ලෙස නොසැලකෙයි. වෙනස් වන නවීන ලෝකය තුළ ඒ සංස්කෘතික පුරුද්ද නොකඩවා ඉදිරියට ගෙන යා යුතු යැයි නියමයක් නැතත් ඒ ගැන කටයුතු කළ යුත්තේ ප්‍රායෝගික තත්ත්වයන් අනුව මිස ඊනියා ගල් ගැසුණු නීති පද්ධතියකට අනුව නොවේ.

ලෝකයේ ඉහළ ආර්ථික වර්ධනයක් ඇති දියුණු යැයි සම්මත රටවල පාසැල් සිසුන්ට ශාරීරික දඩුවම් ලබා දීම අනුමත නොකෙරෙන අතර බොහෝ විට එය නීතියෙන් තහනම් කටයුත්තකි. මානව හිමිකම් ගැන කතා කරන අයට ඒ කාරණයද තම ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමේ ප්‍රබල තර්කයක් ලෙස ඉදිරිපත් කළ හැක්කකි. ඔවුන්ට එහිදී අවශ්‍ය නම් දූපත්වාසී ගෝත්‍රික සිංහලයාගේ වනචාරීත්වය ගැන කියමින් ලෝකය ඊට වඩා බොහෝ වෙනස් බව පවසමින් තමන්ගේ සදාතනික දේශපාලන ආරෝව පිට කර හැරීමටද එය අවස්ථාවක් කර ගත හැකිය. එහෙත් සංවර්ධිත රටවල ප්‍රතිපත්ති ලංකාවේ එලෙසින්ම ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද? ශාරීරික දඬුවම් තහනම පිළිබඳ දියුණු රටවල ප්‍රතිපත්තිය වැරදි නැත. අපිට ඒ ප්‍රතිපත්තිය සමඟ සංකල්පමය වශයෙන් කිසිදු ආරෝවක්ද නැත. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමට ලංකාවේ සමාජ ආර්ථික පරිසරය මීට වඩා කොතෙක් නම් වෙනස් විය යුතුද? රටේ අගමැතිවරයා රටේ මහ බැංකුව සුද්ද කරමින් පාර්ලිමේන්තුව රස්තියාදු කාරයන්ගෙන් පුරවා ඇති රටක පාසැල් සිසුන්ගේ විනය සම්බන්ධව ස්විස්ටර්ලන්ත නීති පැනවීමට යාම තරම් විහිළුවක් තවත් තිබේද?

දියුණු රටවල් තම සංවර්ධනය උදාකරගත් ආකාරය හිතන තරම් ශිෂ්ට නැතත් ඔවුන්ගේ සමාජ පරිසරය මේ රටවලට වඩා බෙහෙවින් යහපත්ය. ඒ රටවල දරුවන්ගේ හැදියාවට අදාළ බොහෝ දේ ඔවුන්ට තම නිවසින්, දෙමාපියන්ගෙන්, සමාජ පරිසරයෙන් යන මේ සෑම තැනෙකින්ම ලැබේ. නමුත් ලංකාවේ තත්ත්වය…? හද්දා පිටිසර දුෂ්කර පාසැල්වලට යා යුතු නැත. ආර්ථික සමාජ මට්ටම අතින් ලංකාවේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ දිස්ත්‍රික්කයේ මා දන්නා පාසැල්වල පවා අයහපත් සමාජ පරිසරයක ජීවත් වන දරුවන් පමණක් සිටින පාසැල් කොතෙක් නම් තිබේද?

ඒ බොහෝ දරුවන්ට ඉගෙන ගන්නවා තබා එදා වේල සපයා ගැනීමට ක්‍රමයක් නැත. අම්මලා තාත්තලා බොහෝ විට අඩු පඩියට කුලී වැඩ කරන ශ්‍රමිකයෝය. බොහෝ දරුවන්ගේ එක්කෝ අම්මා නැත. එක්කෝ තාත්තා නැත. ඔවුන් වෙනත් ගැහැනුන් සමග හෝ මිනිසුන් සමග ගොස්ය. එක්කෝ අම්මා මැදපෙරදිග වහල් සේවයේය. තාත්තා බීගෙන ඇවිත් ගෙදර දෙවනත් කරයි. සමහරුන්ගේ තාත්තලා හිරගෙවල්වලය. අම්මා තාත්තා දෙදෙනාම නැතිව වෙනත් නෑදෑයන් ළඟ සිටින දරුවන් බොහෝය. ඇතැම් දරුවන් පාසැල් එන්නේ පන්සල්වල සිටය. මේ දරුවන්ගේ ඉගෙනීමට නිවෙස්වලින් කිසිදු අනුබලයක් සැපයෙන්නේ නැත. ඔවුන්ට මාපිය රැකවරණය ආදරය හිමිවන්නේ නැත. ඒ දරුවන් ආශ්‍රය කරන්නේ හන්දිවල සිටින රස්තියාදුකාරයන්වය. බලන්නේ දහජරා ටෙලිනාටකය. උදේ හවා අහන්නේ ඊනියා නූතන ගායකයන්ගේ ඔක්කාරය දනවන සුළු ගීතය. ගුරුවරුන්වත් නොදන්නා නානා මාදිලියේ මත්ද්‍රව්‍ය ගම්මානවල පවා අස්සක් මුල්ලක් නෑර පැතිරී ඇත. ඇතැම් සිසුන් පන්ති කාමරයට එන්නේ මේ මත්ද්‍රව්‍යවලින් මත් වීය. මෙවන් පරිසරයක හැදී වැඩෙන දරුවන්ගේ මානසිකත්වය තිරිසන් සතුන්ගේ මානසිකත්වයෙන් වෙනස් වන්නේ සුළු වශයෙනි. එහෙව් දරුවන්ට ඉගෙන ගැනීමට සපයා ඇති විෂය නිර්දේශද අපූරුය. කිසිදු වැදගැම්මකට නැති නීරස විෂය කරුණු ගොන්නක් කටපාඩම් කර තරඟ විභාගවලට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇත. එවිට සිදුවිය හැක්කේ කුමක්ද?

ආදරයෙන් හෝ තර්කානුකූලව කරුණු පැහැදිලි කරදී හෝ නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රම මඟින් හෝ එවැනි දරුවන් මෙල්ල කිරීමට ඇති හැකියාව ඉතා අල්පය. ආදරයෙන් ප්‍රශ්න විසඳන්නට යන ගුරුවරුන්ට මෙවැනි දරුවන්ට ඉගැන්වීම කෙසේ වෙතත් පන්ති කාමරයේවත් යහතින් සිටීමට ඉඩක් ලැබෙන්නේ නැත. එවැනි අහිංසක ගුරුවරුන් දැඩි සේ සමච්චලයට ලක්කරමින්, පන්ති කාමරවල යකා නැටීම කලහකාරී සිසුන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. පාසැලට පැමිණ ඉගෙන ගත යුතුය යන මානසිකත්වය හෝ ඊට අවශ්‍ය හැදියාව මේ සිසුන්ට තම පරිසරය තුළින් ලැබී නැත. තාරේ සමීන් පර් වැනි චිත්‍රපටවල කියන ආකාරයේ සුන්දර ක්‍රමවලට මෙවැනි සිසුන් ගොඩ ගත හැකි යැයි කියන අඳබාලයන්ව නැවත මොන්ටිසෝරි යැවීම සුදුසුය. එවැනි සුන්දර අධ්‍යාපන විප්ලව චිත්‍රපටවල මිස සැබෑ ලෝකයේ කළ නොහැකිය. මේ අවුල බොහෝ විට කළමනාකරණය කළ හැක්කේ සිසුන්ට දැඩි ප්‍රතිචාර දක්වන සැර ගුරුවරුන්ට පමණි. ඉහත කී නරක සමාජ පරිසරය ගැන නොතකා වියුක්ත ලෙස සිසුන්ගේ මානව හිමිකම් දිනා දීමට යාමෙන් සිදුවන්නේ ඔවුන් කබලෙන් ලිපට වැටී ලංකාවට තවත් රස්තියාදුකාරයන් බෝවීම පමණි. එහෙයින් සිහි බුද්ධියක් ඇති සියලු දෙනා මේ මුග්ධ අධිකරණ තීන්දුවට එරෙහිව වහ වහා පෙළ ගැසිය යුතුව තිබේ.

එහෙත් අද දෘෂ්ටිවාදීව මේ රට පාලනය කරන යහපාලන පඬියන්ගේ චින්තනය හා වැඩපිළිවෙළ වී ඇත්තේ මේ කිසිවක් නොතකා සිසුන්ට දඬුවම් දීම පමණක් නතර කිරීමය. ඔවුන්ගේ ඊනියා මානව හිමිකම් තරම් මේ අසරණ සිසුන්ට කළ හැකි තවත් හිංසනයක් නැත. එය හරියට රටේ මත්ද්‍රව්‍ය පැතිරීම නතර නොකර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට දෙන දඬුවම් හිංසාකාරී යැයි කෑ මොර දීම තරමේ විහිළුවකි. දියුණු රටවල නීති ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නම් කළ යුත්තේ සමාජයක් ලෙස ඊට ගැලපෙන ආර්ථික සමාජ සංවර්ධනයක් ඇති කර ගැනීමය. ආසියාවේ මහා මොළය යැයි වර නගමින් බැංකු හොරෙක් අගමැතිවරයා බවට පත් කරගත් මේ මානව හිමිකම් කාරයන්ට එවැනි වෙනසක් රටේ ඇති කිරීමට කිසිදු හැකියාවක් හෝ වුවමනාවක් නැත. ඒ නිසා මීටත් වඩා භයානක දේ ඉදිරියේදී සිදුවිය හැකිය. හෙට අනිද්දා වන විට මේ ගුරුවරියට දුන් දඬුවම තව මදි යැයි කෑ මොර දෙමින් රනිල්ගේ සිවිල් සංවිධාන බලු රෑන කළු ඇඳගෙන ලිප්ටන් වට රවුමට රැස් වුවහොත් එයද පුදුමයක් නොවන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුව ඇත.

ඉසුරු ප්‍රසංග


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();