නිරෝෂාන් ප්‍රියංකර
ජාතික ස්කොෂ් පිටියේ ආධිපත්‍යය නතුකරගෙන සිටින රවිඳු ලක්සිරි තිස්අටවැනි වරටත් පැවැති ජාතික ස්කොෂ් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඔහු මේ ශූරතාව පිට පිට දිනාගත් 6 වැනි අවස්ථාව මෙය වන අතර මෙලෙස පිට පිට ශූරතා 6ක් දිනාගත් පළමු ක්‍රීඩකයා වීමටද ඔහුට හැකිවිය. ඔහු 2012 වසරේ සිට මේ දක්වා ජාතික ශූරයා ලෙස කිරුළ දරණ අතර මෙවර ශූරතාවත් සමගින් වැඩිම වරක් ජාතික ශූරතාව දිනාගත් ක්‍රීඩකයන් අතර තෙවැනි ස්ථානයට පත්වීමට රවිඳුට හැකිවිය. ඔහු සමගින් ගිහාන් ප්‍රනාන්දු ද අවස්ථා 6කදී ශූරතාව දිනාගෙන තිබේ. සමන් තිලකරත්න 1990 වසරේ සිට 2007 දක්වා අවස්ථා 13කදී ජාතික ශූරයා බවට පත්ව ඇති අතර නවීන් සමරසිංහ (1999-2012) අවස්ථා 8කදී ජාතික ශූරයා වී ඇත. එහෙත් නවීන් 5 වරක් සහ සමන් අවස්ථා හතරකදී අඛණ්ඩව ශූරතාව දිනාගෙන තිබේ.
රවිඳු හමුවේ අවසන් තරගයේ දී පරාජයට පත්වූයේ පසුගිය වසරේත් අනුශූරයා බවට පත්වූ ශමිල් වකීල්ය.
පිට පිට තෙවැනි වරටත් ජාතික ස්කොෂ් ශූරිය බවට පත්වීමට මිහිලියා මෙත්සරණී සමත්වූයේ යළිත් වරක් ෆාතම් ඉසඩීන් පරාජයට පත්කරමිනි. ඇය පසුගිය වසරේ පැවැති තරගාවලියේදීද අවසන් තරගයේ මිහිලියා හමුවේ පරාජයට පත්වීමෙන් අනුශූරිය බවට පත්වූවාය.
මිහිලියා අඛණ්ඩව තෙවරක් ශූරිය බවට පත්වූ දෙවැනි අවස්ථාව මෙය විය. 2016 සිට ශූරිය වූ ඇය 2012 සිට 2014 දක්වා ද තෙවරක් අඛණ්ඩව ජාතික ස්කෝෂ් ශූරිය බවට පත්වූවාය. 2015 වසරේදී ජාතික ස්කොෂ් ශූරිය බවට පත්වූයේ නඳුනි ගුණවර්ධනය.
මෙවර ශූරතාව සමගින් වැඩිම ජාතික ස්කොෂ් ශූරතා දිනාගත් ක්‍රීඩිකාවන් අතර පිලිප්ස් අර්ෂකුමාර් සහ නිරාෂා ගුරුගේ සමගින් දෙවැනි තැනට පත්වීමටද මිහිලියාට හැකිවූවාය. ජාතික ස්කොෂ් පිටියේ වැඩිම වරක් ශූරිය බවට පත්ව ඇත්තේ යැෂ්මින් ශාරුක්ය. ඇය දිනා ඇති ශූරතා සංඛ්‍යාව 7කි.
දෙවැනි වරටත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධාන කළ 38 වැනි ජාතික ස්කොෂ් තරගාවලිය පනාගොඩ යුද හමුදා ජනපදයේ, ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණි.
යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංකේත ප්‍රදානෝත්වයට යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මේජර් ජෙනරාල් සංජය මුණසිංහ, යුද ස්කොෂ් කමිටු සභාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, ජාතික ස්කොෂ් සංගමයේ සභාපති එයාර් කමාන්ඩර් (විශ්‍රාමික) අජිත් අබේසේකර සහ ලේකම් කමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රියදර්ශන ජයවර්ධන මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.
0 Comments