Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසරේ ක්‍රීඩිකාව මන්දානා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වසරේ ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් පිලේ උපනායිකා ස්මිත්‍රි මන්දානා සමත්වූවාය. මේ සම්මානයට අමතරව වසරේ හොඳම එක්දින ක්‍රීඩිකාව ලෙසත් ඇය සම්මාන දිනාගත්තාය. ගෙවුණු වසරේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග බිමේ විශිෂ්ටතම ක්‍රීඩිකාවන් අගයමින් පෙරේදා අයි.සී.සී.ය විසින් සම්මානලාභින්ගේ නම් ලැයිස්තුව නිවේදනය කළේය.

22 හැවිරිදි වමත් පිතිකාරිනියක වන මන්දානා වසර 2018දී එක්දින තරග 12කදී ලකුණු 669ක් රැස් කිරීමට සමත්වූ අතර විස්සයි20 තරග 25කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 622කි. ඇය වර්තමානයේ ජාත්‍යන්තර කාන්තා එක්දින පිතිකාරිනියන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන අතර හොඳම විස්සයි20 පිතිකාරිනියන් අතර 10 වැනි ස්ථානයේ සිටින්නීය.

60 දශකයේදි එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකාරිනිය රෂේල් හේයිහෝ ෆ්ලින්ට් නමින් වාර්ෂිකව පිරිනැමෙන වසරේ ක්‍රීඩිකාව සම්මානය ඉන්දීය ක්‍රීඩිකාවක දිනාගත් දෙවැනි අවස්ථාව මෙය විය. මීට පෙර එම සම්මානයට හිමිකම් කීමට සමත්වූයේ වේගපන්දු යවන ක්‍රීඩිකා ජුලාන් ගොස්වාමිය. ඇය 2007 වසරේදි එම සම්මානය දිනාගත්තාය.

පසුගිය වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තරග5කදී ලකුණු 178ක් රැස් කරමින් මන්දානා කැපී පෙනෙන දස්කම් පෑවාය.

අයි.සී.සී. කාන්තා ක්‍රිකට් සම්මාන ලැයිස්තුවේ ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකාරිනිය හා කඩුලු රකින්නිය වන ඇලීසා හීලි වසරේ හොඳම විස්සයි20 ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් අතර එංගලන්තයේ 19 හැවිරිදි වමත් දඟපන්දු යවන ක්‍රීඩිකා සොෆී ඉසෙල්ස්ටෝන් වසරේ නැගී එන ක්‍රීඩිකාව ලෙස නම් කෙරිණි.

මේ අතර ඉන්දීය පිලේ නායිකා හර්මන්ප්‍රීට් කොවුර් වසරේ විස්සයි20 ක්‍රිකට් නායිකාව ලෙසත්, නවසීලන්තයේ සුසී බේට්ස් වසරේ එක්දින ක්‍රිකට් නායිකාව ලෙසත් නම් කරමින් අයි.සී.සී. වසරේ කාන්තා එක්දින හා විස්සයි20 ලෝක කණ්ඩායම් නම් කිරීම ද සිදුකෙරිණි.

අයි.සී.සී.වසරේ කාන්තා එක්දින කණ්ඩායම - සුසී බේට්ස් (නායිකා -නවසීලන්තය), ස්මිත්‍රි මන්දානා (ඉන්දියාව), ටැමී බියුමොන්ට් (එංගලන්තය), ඩේන් වැන් නයිකර්ක් (දකුණු අප්‍රිකාව), සොෆී ඩිවේන් (නවසීලන්තය), ඇලිසා හීලි (ඔස්ට්‍රේලියාව), මේරිසන් කේප් (දකුණු අප්‍රිකාව), ඩීන්ඩ්‍රා ඩොටින් ( කොදෙව් පිල), සානා මිර් (පාකිස්තානය), සොෆී ඉසෙල්ස්ටෝන් (එංගලන්තය), පූනම් යාදෙව් (ඉන්දියාව)

අයි.සී.සී. වසරේ කාන්තා විස්සයි20 කණ්ඩායම - හර්මන්ප්‍රීට් කොවුර් (නායිකා - ඉන්දියාව), ස්මිත්‍රි මන්දානා ඉන්දියාව), ඇලිසා හීලි (ඔස්ට්‍රේලියාව), සුසී බේට්ස් (නවසීලන්තය), නටාලි ෂීවර් (එංගලන්තය), එලිස් පෙරී, ඈෂ්ලි ගාර්ඩ්නර්, මීගන් ෂූට් (ඔස්ට්‍රේලියාව), ලේ කැස්පරෙක් (නවසීලන්තය), රුමානා අහමඩ් (බංග්ලාදේශය), පූනම් යාදෙව් (ඉන්දියාව)

ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();