Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකථන රැහැන් පද්ධතිය-රටේ ආර්ථිකය විනාශ කරයි.

slt sri lanka
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විදුලි සංදේශ සේවා සපයන්නා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයයි. මේ වන විට ලංකාවේ විශාලතම දුරකථන තඹ රැහැන් පද්ධතිය ද ඇත්තේ ඔවුන්ට ය.
දියුණු යුගයේ මෙම රැහැන් පද්ධතිය තුළින් අධිවේගී අන්තර්ජාල සේවා සැපයුම් සිදුකරන අතර එම නිසා මෙම රැහැන් පද්ධතියට විශාල වටිනාකමකින් යුක්ත උපකරණ ද පාරිභෝගිකයා විසින් සවිකරනු ලබයි.
නිවර්තන කලාපීය රටක් වන ශ්‍රී ලංකාව තුළ අකුණු සහිත දේශගුණය සුලබ වන අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තඹ රැහැන් පද්ධතිය එවැනි අකුණු නිසා ඇති වන අධි වෝල්ටියතා තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීම ටෙලිකොම් ආයතනයේ ඍජු වගකීමක් වේ. මේ සඳහා ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය ගෑස් විසර්ජන ටියුබයක් (Gas Discharge Tube) සහිත අකුණු ආරක්ෂිත උපකරණයක් සෑම පාරිභෝගික නිවසකම සවිකිරීමට කටයුතු කරනා අතර එය නිසියාකාරව බිම් ගැන්නීමක් (grounding) සිදු කරනු ලබයි.
නමුත්, අකුණු සහිත දේශගුණයක් තිබුණු ප්‍රදේශයක ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා ස්ථානයක සිටිනා ඔනෑම කෙනෙකුට තේරුම් ගත හැක්කේ, එවැනි දිනවල විශාල පාරිභෝගිකයන් පිරිසක් අකුණු ගැසීම් නිසා විනාශ වූ අන්තර්ජාල පිවිසුම් උපකරණ (router) රැගෙන එන බවයි. මෙහිදී පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් අකුණු අනතුරුවලින් හා ඊට සම්බන්ධ අධි වෝල්ටියතා තත්ත්වයන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට සවිකරනා අදාළ උපකරණය එම ක්‍රියාව නිසියාකාරව සිදු නොකරන බවයි.
වෘත්තීයෙන් මා පරිඝණක, සී.සී.ටී.වී අලුත් වැඩියා හා ජාලකරණ සිදුකරන පුද්ගලයෙක් බැවින් මෙහි බරපතළම තත්ත්වය මා බිම් මට්ටමෙන් ඍජුව අත් දකිති. බොහොමයක් අවස්ථාවලදී අකුණ නිසා ඇතිවූ අධි වෝල්ටියතා තත්ත්වයෙන් විනාශයට පත්වන්නේ අන්තර්ජාල පිවිසුම් උපකරණය (router) පමණක් නොවේ. ඊට සම්බන්ධ කර තිබෙනා සියලුම වටිනා උපකරණ ද විනාශයට පත්වීම ඉතාමත් සුලභ තත්ත්වයක් බවට පත්ව ඇත.
මේ පිළිබඳව මා විසින් කරන ලද අධ්‍යනයන්ට අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් අකුණු අනතුරු හා ඒ හා සම්බන්ධව රැහැන් පද්ධතිය තුල ඇතිවන අධි වෝල්ටියතා වලින් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනිමට සවිකරනා ගෑස් විසර්ජන ටියුබයක් (Gas Discharge Tube) සහිත අකුණු ආරක්ෂිත උපකරණය එහී තාක්ෂණික සීමා හේතුවෙන් එවැනි අධි වෝල්ටියතාවක් වැළැක්වීම සඳහා සැලකිය යුතු කාලයක් ගන්නා බැවින්, අකුණු තත්ත්වයක් හා සම්බන්ධ  අධි වෝල්ටි යතා තත්වයන් බොහෝවිට වැළැක්වීමට එයට හැකියාවක් නොමැති බවට කරුණු පැහැදිලිව ඉදිරිපත් වී ඇත. තවද එම උපකරණයට සීමිත ආයු කාල සීමාවක් ද තිබෙනා බවට පැහැදිලි කරුණු ඉදිරිපත්ව ඇත. මේ අනුව ලොව පිළිගත් තාක්ෂණික සම්මත නිර්දේශයන්ට අනුව, ගෑස් විසර්ජන ටියුබ (Gas Discharge Tube) මගින් පමණක් අධි වෝල්ටියතා තත්ත්වයන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ කාරනාව ඉටුකර නොහැකි බවට ඉතාමත් පැහැදිලි ය. ඒ සඳහා ප්‍රතිරෝධ සහිත විලායක (fusible resistant) හා MOV (Metal Oxide Varistor) යන උපාංග ද අදාළ ගෑස් විසර්ජන ටියුබවලට අමතරව සවිකිරීමට අවශ්‍යව තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ එන්ජිනේරුවන් මේ සරල කරුණු පිළිබඳව දැන දැන, තත්ත්වය වැළැක්වීමට හැකි පියවර ගැනීමට හැකියාවක් තිබිය දී, ආයතනයක් ලෙස නිසියාකාරව කටයුතු නොකිරීම තුළින් මෙරට ආර්ථිකයට සිදුවී ඇති හානිය හා සිදුවෙමින් පවතින හානිය අති විශාලය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පාරිභෝගිකයාට දැනුම් දෙන්නේ විදුලි කොටනා අකුණු අවස්ථාවක අදාළ අන්තර්ජාල පිවිසුම් උපකරණයෙන් දුරකථන රැහැන විසන්ධි කර දමනා ලෙසයි. සියල්ල පැය 24 පුරා අන්තර්ජාලට සම්බන්ධ නූතන යුගයේ, තරගකාරී පසුබිමක් තුල එය කිසි සේත් ප්‍රායෝගික නැත. තවද, කාලගුණය කිසිවෙකුට නිශ්චිතවම කිව නොහැක. රාජකාරි බහුල සමාජයක බොහොමයක් අය නිවසේ රැඳී සිටින්නේ ද නැත.
මෙම අධි වෝල්ටියතාවලින් ආරක්ෂා වීමට විවිධ උපකරණ වෙළෙඳපොළේ මිල දී ගැනිමට ඇති නමුත් ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විශ්වාසයක් කිසිවෙකුට තිබිය නොහැක. එවැනි ඇතැම් උපකරණ අධික මිලක් ගන්නා අතර, බහුතරයක් මහජනතාව එවැනි දේ මිල දී ගනී යැයි බලාපොරොත්තු වීම මෝඩ කමකි. ඇතැම් අවස්ථාවල එවැනි ප්‍රමිතියෙන් තොර උපකරණ අතර මැදින් සවිකිරීම නිසා දුරකථන රැහැනේ සම්ප්‍රේෂණ ප්‍රමිතියට, ජාලකරණ රැහැනේ සම්ප්‍රේෂණ ප්‍රමිතියට ගැටලු ඇති වූ අවස්ථා මා අත් දැක තිබේ. මේ නිසා මීට නිසි විසඳුම ප්‍රමිතිගතව ලබාදිය යුත්තේ අදාළ සේවාව පාරිභෝගිකයාගේ නිවසට පිවිසෙන ස්ථානයෙ දී බවට තර්කයක් නැත.
නිසි සේවා කාලයක් ඉටු කිරීමට පෙර විනාශ වී යන සෑම විද්‍යුත් උපකරණයක්ම මෙරටට පැමිණ ඇත්තේ කඩා වැටෙමින් යන රුපියලේ අගය මත යම් හෝ බරක් දමමින් ය. ඒ විනාශ වන සෑම උපකරණයක් වෙනුවට නව උපකරණයක් ගැනීමට සිදුවීම තුළින් පාරිභෝගිකයා පීඩාවට පත්වනවා පමණක් නොව, කඩා වැටෙමින් යන රුපියලට තවත් ඍජු පීඩා ඇති කරති. මේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මේ වන විට රටේ ආර්ථිකයට අකුණු ගෙන එන අකුණු නිවාරකයක් බවට පත්ව ඇතිබව මහජනතාවට පැහැදිලිය. එය වලකාලීමට නිසියාකාරව කටයුතු කිරීම හා ප්‍රතිපත්ති සැකසීම ජනාධිපතිවරයාට විරුද්ධව කතා කරන වෙබ් අඩවි තහනම් කිරීමේ ඇතැම් කුපාඩි ජනාධිපති ලේකම්වරුන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට පමණක් අවදිවන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඍජු වගකීමකි. නමුත් මා ජනාධිපතිවරයා නොවන නිසාත්, මෙහි ආර්ථික ප්‍රතිලාභයක් නොමැති නිසාත් ඔවුන් අනෙකුත් මහජන ගැටලුවලදී මෙන් මෙම ගැටලුව ද නොදැක්කාසේ සිටිණු ඇත. දුරකථන අංක වෙනස් කර ඇමතුම් ලබා ගැනීම ගැන කිසිවක් නොදන්නා ඔවුන්, මෙහිදී අකුණු ගැසුවාම බඩු පිච්චෙනවා ද? කියා නිසැකව අසණු ඇත. එම නිසා මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට කටයුතු කිරීමට හැකි නම් එයට මහජනතාවගේ උත්තමාචාරය හිමිවනු ඇත.
චිරන්ත අමරසිංහ

The post ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකථන රැහැන් පද්ධතිය-රටේ ආර්ථිකය විනාශ කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();