Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෙයින් අත්සන් කරන පෙත්සමක්.

Samantha-Vidyarathne-2018.08.17-

සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් සමාගමට, වෙල්ලස්ස ප්‍රදේශයේ ඉඩම් අක්කර 62500ක් උක් වගා කිරීමට බදු දීමේ සූදානමක් ඇතැයිද රජය එමගින් ගොවි ජනතාවගේ ගොවි බිම් කොල්ලකෑමට උත්සාහ කරන්නේ යැයිද ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ චෝදනා කර සිටී.

අම්පාර, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්ක තුනට අයත් මහ ඔය, පදියතලාව, මහියංගණය, රිදීමාලියද්ද, ලුණුගල, බිබිල හා මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටට මෙම ඉඩම් අයත් යැයි එම පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

මෙම ඉඩම් පැවරීම සිදුවුවහොත් ඌව වෙල්ලස්ස ගොවි ජනතාව කොම්පැනිකාරයන්ගේ කුලී කම්කරුවන් බවට පත්වන බවත් ඊට එරෙහිව ඌව පළාත් ජනතාවගේ ලෙයින් පෙස්සමක් අත්සන් කර ආණ්ඩුවට සිය විරෝධය පළ කරන බවත් සමන්ත විද්‍යරත්න සඳහන් කරයි.

බහු ජාතික සමාගමට ඉඩම් ලබාදීම නවතනු!, ඉඩම් භුක්ති විඳින ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙනු!, ඌව වෙල්ලස්ස බින්තැන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත කළ පාරිසරික හානි නොවන වැවිලි බෝග හඳුන්වා දී ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා උපකාර ලබාදෙනු! යන ප්‍රධාන ඉල්ලීම් තුන යටතේ මෙම පෙස්සම (15) සිට අත්සන් කිරීම ඇරඹෙන්නේ යැයි වැඩිදුරටත් සඳහන් කර සිටී.

ඒ පිළිබඳව ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ විසින් ප්‍රකාශයට පත්කළ මාධ්‍ය නිවේදනය පහතින්,

1815 මාර්තු 2 වන දින ශ්‍රී ලාංකීය ධරණිතලයම අධිරාජ්‍යවාදීන් යටත්කරගත් පසු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පළමු වෙඩිමුරය පත්තුකරමින් ජාතික නිදහස පතා ප්‍රථම අරගලය ඌව වෙල්ලස්සෙන් ආරම්භ විය. එම අරගලයට නායකත්වය දුන් වීර මොණරවිල කැප්පෙටිපොල මහ සෙනෙවියන් 1818 නොවැම්බර් මස 26 වන දින හිස ගසා ඝාතනය කර දැමීමත් සමඟ අරගලයේ නිමාව සටහන් විය.

අධිරාජ්‍යවාදීන් විසින් තමන්ට එරෙහිව නැගීසිටි ඌව වෙල්ලස්ස ප්‍රදේශය ගිණිබත් කර බිම්පාළු ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සියළු වැව් අමුණු කඩාබිඳ විනාශ කොට, ඵලදරණ ගස් කපා බිම හෙළා, අටු කොටු සුණු විසුණු කොට වෙල්, හේන් ගිණිතබා, වෙහෙර විහාර බිඳ දමා, හරකාබාන මරාදමා, විසිදහසකට ආසන්න ජනතාවක් ඝාතනය කොට, අරගලය මර්ධනය කර, තවත් වසර 200 කට ඌව වෙල්ලස්සෙන් අභියෝගයක් පැන නොනගින බවට සඳහන් කළේය.

එම අරගලයට වසර 200 පිරෙනුයේ මෙම 2018 වර්ෂයේදීය. අධිරාජ්‍යවාදීන් පැවැසූ පරිදිම ඌව පළාත ලංකාවේ දුප්පත්ම පළාත වෙමින් වෙල්ලස්සට අයත් මොණරාගල දිස්ත්‍රික්කය දුප්පත්ම දිස්ත්‍රික්කය වෙමින් අදටත් පෙන්වනුයේ අධිරාජ්‍යවාදීන් හා නිදහසින් පසු වසර 70 ක් රට පාලනය කළ පාලකයින් වෙල්ලස්සට දැක්වූ කුරිරු දායකත්වයයි.

අරගලයට වසර 200 පිරෙන මොහෙතේ නැවතත් ඌව වෙල්ලස්ස, බින්තැන්න අධිරාජ්‍යවාදී බහුජාතික සමාගමක්වූ සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් සමාගමට ලියදීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වේ. අම්පාර දිස්ත්‍රික්කයෙන් මහඔය හා පදියතලාව, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මහියංගණය, රිදීමාලියද්ද හා ලුණුගල, මොනරාගල දිස්ත්‍රික්කයෙන් බිබිල හා මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 08 න් ඉඩම් අක්කර 62500 ක් ඉහත කී සමාගමට උක් වගාවක් කිරීමට ලබාදීමට සූදානම් වේ. මෙසේ කොල්ලකෑමට සූදානම් වනුයේ වසර සිය ගණනක් පරම්පරාවෙන් ගොවිජනතාව භුක්තිවිදි හේන් ගොවිතැනේ නියලුණු අනවසර යැයි ආණ්ඩුව නම් කරන නමුත් දැනට ද ගොවිජනතාව පදිංචිව සිටින හා ගොවිතැන් බත් කරන ඉඩම්ය. පාලකයින්ගේ සැලසුම වන්නේ මෙම ඉඩම් කොම්පැණියට ලබාදී ඌව වෙල්ලස්ස ගොවිජනතාව කොම්පැණියේ කුලී කම්කරුවකු නොහොත් ශ්‍රමය සූරාකෑමට පත්වන වහලෙක බවට පත් කිරීමය. මෙම ඉඩම් කොල්ලයට එරෙහිව ප්‍රධාන ඉල්ලීම් 03 ක් පෙර දැරි කොට ගෙන

  1. බහු ජාතික සමාගමට ඉඩම් ලබාදීම වහා නවතනු,
  2. ඉඩම් භුක්ති විදීන ගොවි ජනතාවට ඔප්පු ලබාදෙනූ,
  3. ඌව වෙල්ලස්ස, බින්තැන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත කළ ආර්ථික, පාරිසරික හානි නොවන ආර්ථික වැවිලි භෝග හදුන්වාදී ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා උපකාර ලබාදෙනු.

මෙම ඉල්ලීම් දිනා ගැනීම උදෙසා ඌව වෙල්ලස්ස, බින්තැන්න ජනයා තම ලෙයින් අත්සන් තබන මහා පෙත්සම 2018 සැප්තැම්බර් මස 15 වන දින පෙර වරු 9.00 ට රිදීමාලියද්ද දෙහිගම ගම්මානයේදී ආරම්භ කරනු ලැබේ.

මෙම කරුණු පිළිබඳ පූර්ව ප්‍රචාරයක් ලබාදෙන ලෙසත්, එදිනට මාධ්‍ය ආවරණය ලබාදෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

මේ සම්බන්ධයෙන් ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි.

ස්තූතියි,

මෙයට හිතෛෂී,

සමන්ත විද්‍යාරත්න,

ඌව පළාත් සභා මන්ත්‍රී,

කැදවුම්කරු,

ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ.

 

The post ලෙයින් අත්සන් කරන පෙත්සමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();