Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ද. ආසියා තරගාවලියේ ඉන්නවාද? නැද්ද?

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

තීරණය අද මාලදිවයින සමඟ තරගයෙන්

‘ගෝල් කීපර් සුජාන්ගේ දුරකතනය පකීර් අලී අතේ’

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ඉතා තීරණාත්මක තරගය බංග්ලාදේශයේ බංගබන්ධු ක්‍රීඩාංගණයේදී මාලදිවයින සමඟ අද පැවැත්වෙයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භවන අතර මේ තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථා උදාකරගත හැකිවන අතර නොඑසේනම් පළමු වටයෙන්ම ඉවතට යෑමට සිදුවෙයි. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුවහොත් අනිද්දා (9) පැවැත්වෙන ඉන්දියාව හා මාලදිවයින අතර තරගයේ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා ඉදිරි ගමන තවදුරටත් තීරණය වනු ඇත.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර දකුණු ආසියා පාපන්දු ශූරතාවලි ඉතිහාසයේදී ශ්‍රී ලංකාවට එතරම් වාසිදායක අතීතයක් නොමැති අතර හමුවූ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව පසුපසින් සිටී. වසර 1999 තරගාවලියේදී දෙපිල ගෝල් වාර්තා නොකොට ජය පරාජයෙන් තොරව නිමාවී ඇති අතර 2005 තරගාවලියේදී 2-0කින් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

2008දී 1-0කින්, 2009දී 5-1කින් හා 2013දී ගෝල් 10 – 0කින් ශ්‍රී ලංකා පිලට පරාජය අත් විය. කෙසේ වුවද අද පැවැත්වෙන තරගයේදී මාලදිවයින නවක කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බැවින් ශ්‍රී ලංකාව සටන්කාමී අවසානයකට පිවිසෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ශ්‍රී ලංකා පිලේ නිත්‍ය ගෝල් රකින්නා ලෙස කටයුතු කරන සුජාන් පෙරේරා වසර ගණනාවක් තිස්සේ මාලදිවයිනේ වෘත්තීය ක්‍රීඩකයකු ලෙස කටයුතු කරමින් සිටින බැවින් මේ තරගයේ තීරණය මාලදිවයිනට වාසි වනු ඇතැයි රාවයක් පවතී.

ඒ පිළිබඳව පුහුණුකරු රුමී පකීර් අලී මහතාගෙන් කළ විමසුමකදී පැවැසූවේ එවැනි කිසිදු අවිශ්වාසයක් තමන් තුළ නොමැති බවය. ඔහු ඉතා දක්ෂ මෙන්ම අවංක ක්‍රීඩකයකු බව ශ්‍රී ලංකා පුහුණුකරුගේ අදහස විය.

“සුජාන් පෙරේරා මාලදිවයිනට ක්‍රීඩා කරන එක ඇත්ත. ඔහු මේ තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කරන බව පේනවා. ඔහු වෘත්තීය මට්ටමෙන් මාලදිවයිනට ක්‍රීඩා කළාට මාලදිවයිනට උදව් කරන ක්‍රීඩකයෙක් නොවෙයි කියා ශ්‍රී ලංකාවේ සියලු දෙනාට පෙන්වන්න හොඳ අවස්ථාවක් මෙය. ඒ වගේම හොඳ අභියෝගයක් හැටියටයි මා සිතන්නේ. ඔහු තරගාවලිය අතරතුර පිටස්තර කිසි අයෙකු සමග සම්බන්ධයක් නෑ. ඔහුගේ ජංගම දුරකතනය පවා මට ලබාදී තිබෙනවා. ඔහු ඒ තරම් විශ්වාසය ආරක්ෂා කරන හොඳ ක්‍රීඩකයෙක්” පකීර් අලී මහතා පැවැසීය.

මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයේදී ඉන්දියාව හමුවේ ගෝල් 2-0කින් පරාජය වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙන් නියම රිද්මයට පැමිණිමට අපොහොසත්වීම නිසා බව පුහුණුකරු සඳහන් කළේය. “ඉන්දියාව සමග තරගයේදී අපේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළේ නෑ. හැබැයි අපේ අය මහන්සියෙන් සෙල්ලම් කළා. අපට තවත් අවස්ථා තියෙනවා මේ තරගාවලියේ රැදෙන්න. ඉන්දියාව සමග තරගයේදී නායකයාගේ ශාරීරික යෝග්‍යතාව අඩුවූ නිසා ඔහුව ඉවත් කළා. නායකයා වුණත් හරියට ක්‍රීඩා කරන්නේ නැත්නම් එළියට ගන්න වෙනවා.

ඉන්දීය කණ්ඩායම 23න් පහළ කිව්වාට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ අත්දැකීම් අය ගොඩක් හිටියා. නමුත් පරාජයට දැන් හේතු කියා වැඩක් නෑ. අවශ්‍ය වන්නේ ඉදිරිය ගැන හිතන එකයි” පකීර් අලී මහතා පැවැසීය.

බංග්ලාදේශය අවසන් පූර්ව වටයට

ඊයේ පැවැති සත්කාරක බංග්ලාදේශය හා පාකිස්තානය අතර තරගයේ 84වැනි මිනිත්තුවේදී බංග්ලාදේශයේ තෝපූ බර්මාන් හිසෙන් ගෝලය තුලට එල්ල කළ පහර සාර්ථකවීමත් සමග බංග්ලාදේශයට මෙම ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ වාසනාව උදාවිය. බංග්ලාදේශය සහභාගීවූ තරග දෙකම ජයගෙන ‘ඒ’ කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටී.

මේ අතර නේපාලය හා භූතානය අතර තරගයෙන් ගෝල් 4-0ක ජයක් නේපාලය හිමිකරගත් අතර පළමු භාගයේදී 1-0ක් ලෙස නේපාලය ඉදිරියෙන් සිටියේය.

එහෙත් දෙවැනි භාගයේදී තවත් ගෝල් 3ක් නේපාල ක්‍රීඩකයෝ සතුකර ගත්හ. ඒ අනුව නේපාලය තරග දෙකකට සහභාගීවී තරගයක් පරාජයවී ‘ඒ’ කොටසේ දෙවැනි තැනට පත්විය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();