තුර්කියේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ චෙස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ පළමු චෙස් ක්‍රීඩා පිඩේ මාස්ටර් වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්. සසිත් නිපුන් පියුමන්ත ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තෝරාගෙන ඇත.
තුර්කියේ දී පෙරේදා ආරම්භ වූ මේ තරගාවලිය 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඔහු ජාත්‍යන්තර චෙස් තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන කිරීමට තේරී පත්වූ 26 වන අවස්ථාව වේ. එම අවස්ථාවලදී 14 වතාවක්ම ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් තරඟ සංචාර සඳහා සහභාගි වී ඇත.
එම සංචාරවලදී ඔහු රන්, රිදී හා ලෝකඩ පදක්කම් 16ක් දිනා දීමට සමත් වී ඇත. රන් පදක්කම් පහක් රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් පහක් එයට ඇතුළත් වී ඇත. ඔහු ශ්‍රී ලංකාවේ පළමු පාසල් චෙස් පිඩේ මාස්ටර් වීමේ ගෞරවය අත්කර ගත්තේ 2014 වසරේ තායිවානයේ පැවති දහවැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී 13න් පහළ බාලක රන් පදක්කම දිනා ගනිමිනි.
එමෙන්ම මේ වසරේ තායිලන්තයේ පැවැති 18 වන ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී අවුරුදු 16න් පහළ රන් පදක්කම දිනා ගනිමින් ආසියානු යොවුන් චෙස් තරගාවලියකදී පළමු පදක්කම දිනාගත් චෙස් ක්‍රීඩකයා ලෙසද ශ්‍රි ලංකා චෙස් ඉතිහාස පොතට එක්විය.
මේ වසරේ 14 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේ දී අවුරුදු 16 පහළ බාලක ඉසව් නියෝජනය කරමින් ලංකාවට රන් පදක්කම් 3ක් හා එක් රිදී පදක්කමක් ඇතුළුව පදක්කම් 4ක් දිනා ගැනීමත් ඔහු සමත්විය.
16 හැවිරිදි මේ පාසල් චෙස් ක්‍රීඩකයා පස් දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමේ ද සාමාජිකයෙකි. ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනුයේ පිටපිටම තුන්වන වරටය. චෙස් ක්‍රීඩාවෙන් ඉදිරියට යන සසිත්ගේ චෙස් ක්‍රීඩා උපදේශක ලෙස ප්‍රවීණ චෙස් ක්‍රීඩා උපදේශකයකු වන ගිහාන් කාංචන ද සිල්වා මහතා කටයුතු කරයි. සසිත් සීනිගම ගුණ ජය සතුට පදනමේ චෙස් ක්‍රීඩා පාසලේ නිත්‍ය සාමාජිකයෙකි.
කරන්දෙනිය අනුරාධ ප්‍රියදර්ශන
0 Comments