“මා වෙනස් වෙනස් පන්දු යැවීමට කැමැතියි. සාමාන්‍යයෙන් මා යවන්නේ පිට දඟ පන්දු. නමුත් වෙනසක් අවශ්‍ය වුණාම ලෙග් බ්රේක් පන්දු වගේම, ගුග්ලි පන්දු යැවීමටත් කල්පනා කරනවා. මට ගොඩක් කඩුලු ලැබුණේ ‘ගුග්ලි’ පන්දු යැවීමෙන්. පෙරළා මා වෙතටම පැමිණෙන උඩ පන්දු ලබා ගන්නේත් ‘ගුග්ලි’ පන්දුවෙන්. ඉදිරියේදී තවත් අත්හදා බැලීම් කිහිපයක්ම කරනවා. කැරම් බෝල් එක ඉදිරියේදී පුහුණුවීමට බලාපොරොත්තු වෙනවා. ඒකත් ඉදිරි කාලයේ මගේ පන්දු යැවීමේ එක් තුරුම්පුවක් වේවි” අකිල ධනංජය පැවැසීය.
මෙයට පෙර ‘කැරම් බෝල්’ තුරුම්පුවෙන් දස්කම් දැක්වූ අජන්ත මෙන්ඩිස් වේගවත්ම ජාත්‍යන්තර එක්දින කඩුලු 50 වාර්තා කිරීමට සමත් විය. ඔහු 2008දී කරච්චියේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 13කට කඩුලු 6ක් බිද හෙලූවේ ‘කැරම් බෝල්’ පන්දුව ඉන්දීය පිතිකරුවන්ට යොමු කිරීමෙනි.
දකුණු අප්‍රිකානු සංචාරයේ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 178ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ධනංජය මේ බව පැවැසීය. අවසන් තරගය ජය ගත්තද තරග 5කින් සමන්විත තරගාවලියේ ජය 3-2ක් ලෙස දකුණු අප්‍රිකාව හිමිකර ගත්තේය. ආර්. ප්‍රේමදාස පිටියේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර් 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 299ක් ලබාගත් අතර අප්‍රිකානුවෝ සියලු දෙනා ඕවර් 24.4කදී ලකුණු 121කට දැවීගියහ. මෙය ශ්‍රී ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු ගණන ලෙස වාර්තා වූ අතර මෙයට පෙර ආර්. ප්‍රේමදාස පිටියේදී 2013දී දකුණු අප්‍රිකාව ඕවර් 31. 5කදී ලකුණු 140කට දැවී ගොස් තිබුණි.
මෙම තරගයේ වීරයා සම්මානය දිනාගත් අකිල ධනංජය සිය ඇගිලි තුඩු අතරින් පිට දඟ පන්දු, ගුග්ලී හා පා දඟ පන්දු යන සම්මිශ්‍රණය ප්‍රදර්ශනය කරමින් ලකුණු 29කට කඩුලු 6ක් බිඳ හෙලීමට සමත්වූ අතර එය ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීම ලෙස වාර්තා පොතට එක්විය.
“මගේ ඉලක්කය තරගාවලියෙන් තරගාවලියට හොදින් පන්දු යවන්නයි. හොද විශ්වාසයකින් මා පන්දු යැව්වා” ධනංජය පැවැසීය.
මේ මාධ්‍ය හමුව ඇමැතූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසූවේ අවසන් තරග දෙක ඉතා හොඳින් නිමා කිරීමට හැකිවීම පිලිබඳ සතුටට පත්වන බවයි.
“හොඳ විශ්වාසයකින් සිටියා මේ තරගාවලිය හොඳින් අවසන් කිරීමට. අවසන් තරග දෙකේදී දස්කම් පෙන්වීමට හැකිවීම පිළිබඳ සතුටුයි. පිතිකරුවන් සියලු දෙනා හොඳින් පහරදී ලකුණු 300ක ඉලක්කයක්දීම පන්දු යවන්නන්ට පහසුවක් වුණා. එය තමයි සිදුවිය යුත්තේ. එවිට පීඩනයක් නැතිව තරගයට අවතීර්ණ විය හැකියි” ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
“මුල්ම එක්දින තරග දෙකම අපි ක්‍රීඩා කළේ මන්දගාමී තණතීරුවල. ඒ නිසා දඟ පන්දු යවන සෑම අංශයකින්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකු අවශ්‍ය බව අප විශ්වාස කළා. ෂෙහාන් ජයසූරියගෙන් පසුව අප ධනංජය ද සිල්වා කැදෙව්වේ ඒකයි. තරගයෙන් තරගයට පිතිකරුවන් පන්දු යවන්නන් හෝ සෑම අංශයකින්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් වෙනස් වෙනවා. දසුන් ශානක ඔහුට ලැබුණු අවස්ථාවලදී හොඳ දස්කම් පෙන්නුවා. ගෙවී ගිය තරග කිහිපයේදී පන්දු රැකීම, පිතිකරණය හා පන්දු යැවීම යන සෑම අංශයක්ම සාර්ථකවූ දවසක් තිබුණේ නෑ. පිතිකරුවන් සාර්ථක වෙද්දී පන්දු යවන්නෝ අසාර්ථක වුණා. තවත් වෙලාවක පන්දු රැකීම දුර්වල වුණා. මේ සෑම අංශයක්ම තව තවත් දියුණු කරගෙන ලෝක කුසලාන තරගාවලියට යෑම අපේ අරමුණයි” මැතිව්ස් පැවැසීය.
ලබන වසරේ මැයි මාසයේදී අයි. සී. සී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේදී පැවැත්වෙන අතර එයට පෙර ශ්‍රී ලංකාවට උපරිම වශයෙන් එක්දින ජාත්‍යන්තර තරග 20කට පමණ මුහුණදීමට ඇත. මේ සීමිත කාලය තුළදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම තලයේ සිටින ක්‍රීඩකයන් හඳුනා ගැනීම තේරීම් කමිටුවට පැවැරෙන විශාල වගකීමකි.
0 Comments