වත්මන් ක්‍රීඩා පරිපාලනයේ ඇති දුර්වලතා හේතුවෙන් ක්‍රිකට් පරිපාලනය පමණක් නොව සමස්ත ක්‍රීඩවම ඉදිරියේදී කඩා වැටෙනු ඇතැයි ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු මේ බව පැවසුවේ අස්ගිරි – මල්වතු මහනායක හිමිවරුන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය වෙත අද අදහස් දක්වමිනි.
එහිදී මාධ්‍යවේදීන් අර්ජුන රණතුංග අමාත්‍යතුමාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළේ මාධ්‍ය වාර්තා කළ පරිදි ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තෙල් සංස්ථාවේ රැකියා ලබා දීමට විෂයභාර අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වීද යන්නයි. එය එසේ වූ බව තහවුරු කළ අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ ක්‍රීඩාවේ උන්නතිය උදෙසා තම යුතුකම ඉෂ්ට කිරීමට කටයුතු කළ බවයි. මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය ආයතනවල රැකියා ලබා දීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පදනම් කර ගනිමින් සිය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“කැබිනට් මණ්ඩලයේ වෙන දේවල් එළියට ඇවිත් කථා කරන කෙනෙක් නෙමෙයි මම. මම මගේ යුතුකම ඉටු කළා. නමුත් කැබිනට් මණ්ඩලය විසින් මම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කළා. ඒ ගැන මගේ කණගාටුවක් නැහැ. ගම්වලින් එන දක්ෂ ක්‍රීඩකයින්ව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් මේ රටේ තිබිය යුතුයි. ඇත්තට එවැනි වැඩපිළිවෙලක් පසුගිය අවුරුදු 40 ගත්විට රාජ්‍ය ආයතන ආශ්‍රිතව තිබුණා. ඒ අනුව බොහෝ විට ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කළේ රාජ්‍ය ආයතන විසින්. අපිත් ක්‍රීඩා කරන කාලේ තෙල් සංස්ථාවේ, වරායේ වැනි රාජ්‍ය ආයතනවලින් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා ලබා දී තිබුණා. එය ඉදිරියට ගෙනයමින් රාජ්‍ය ආයතනවල රැකියා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා. එම කැබිනට් පත්‍රිකාවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය ආයතනවල රැකියා ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අවසර ඉල්ලා තිබුණා. එය පදනම් කරගනිමිනුයි සංස්ථාවේ රැකියා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කළේ. ඉතිං මම මගේ යුතුකම ඉටු කරලා තියෙනවා. කැබිනට් පත්‍රිකාවට මොකද්ද වුණේ කියන කරුණ කැබිනට් ප්‍රකාශකතුමාගෙන් ඇහුවොත් හොඳයි. මොකද කැබිනට් එක ඇතුළේ වෙන දේවල් මම කියන එක හොඳ නැහැ….”.
“අපේ රටේ රැකියාවල් නැති ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ඉන්නවා. දවසට ආහාරය බඩට දාගන්න බැරි ජාතික මට්ටමේ ක්‍රීඩකයෝත් ඉන්නවා. ඔවුන්ව රැක ගැනීමට අපි වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. අපේ රට ගැන ලෝකය දැන ගත්තේ මේ ක්‍රීඩාවෙන්. නමුත් අද අපේ රටේ ක්‍රීඩා ඇමැතිවරුන්ට අවශ්‍ය වෙන්නේ ක්‍රිකට් දිහා බලන්න විතරයි. අනෙක් ක්‍රීඩාවලට ඔවුන් තමන්ගේ අවධානය යොමු කරනවාද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද අපි ක්‍රිකට්වලිනුත් පහළට ඇවිල්ලා. අපි ස්ථාන ගත කිරීම්වල උඩින්ම හිටියේ. ටෙස්ට් තරගවලත්, තනි දින තරවලත්, විස්සයි විස්සේ තරගවලත්. නමුත් අද අපි විස්සයි විස්ස තරගවලින් ඇෆ්ගනීස්ථානයටත් වඩා පහළට ඇවිල්ලා….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග අවධාරණය කළේය.
The post රැකියා දීමට ගෙන ආ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වීම ගැන ඇමැති අර්ජුන කථා කරයි.. appeared first on Lanka News Column.
0 Comments