Ticker

6/recent/ticker-posts

Header Ads Widget

21 වැනි සියවසේ දිගම චන්ද්‍රග්‍රහණය ජූලි 28 දා (අවසානයක ආරම්භය ?)





ලෝකායන ජ්‍යෝතිෂයේදී ඉතා වැදගත් ලෙස සලකන චන්ද්‍රග්‍රහණ හා සූර්යග්‍රහණ මගින් ලෝකයාටත්, රාජ්‍ය පාලකයන්ටත් එමෙන්ම සොබාදහමටත් විවිධාකාරයේ බලපෑම් සිදුකරනු ලබයි. ඉදිරියේදී එනම් ජූලි 13 වැනිදා ඇති වන අර්ධ සූර්යග්‍රහණයත්, 28 වැනිදා සිදුවන ඓතිහාසියක චන්ද්‍රග්‍රහණයත්, අගෝස්තු 11 වැනිදා ඇති වන අර්ධ සූර්යග්‍රහණයත් යන ත්‍රිත්ව ග්‍රහණ ක්‍රියාවලිය පිළිබඳ හා එයින් ඇති කරන බලපෑම ලෝකයටත්, රාජ්‍ය පාලකයන්ටත්, මහජනයාටත් බලපාන්නේ කෙසේද යන්න විමසීම සඳහා ටොලමියානු ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා සම්බන්ධ කර ගතිමු.

කාලය සෑම විටම ඒකාකාරව ගලායන නමුත් මොහොතින් මොහොත කාලය විවිධාකාර වේ. එහෙත් විශ්වයේ පවතින සෑම දෙයක් තුළම ඇත්තේ ඒකත්වය සහ විවිධත්වයයි. ඒ අතරින් වඩාත් කැපීපෙනෙනුයේ විශ්වයේ හටගන්නා සංසිද්ධි තුළ ප්‍රකට කරන චක්‍රීය ස්වභාවයයි. එනම් නියමිත කාලපරාසයක් තුළ එකම දෙය යළියළි සිදු වෙයි. එහෙත් කිසිම සිද්ධියක් ඊට පෙර හෝ ඊට පසුව හෝ සිදුවන දෙයක් සම්බන්ධයෙන් සමාන නොවේ.

හිරු නැගීම, හිරු බැසීම, නිශ්චිත කාලපරාසයක සිදුවන නමුත් ඒ සෑම අවස්ථාවක්ම එකිනකට වෙනස් වේ. සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ යනාදිය සම්බන්ධයෙන්ද එකී නියමය එලෙසටම බලපාන්නේය. සූර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ චක්‍රීය ස්වරූපයකිනි. සෑම විටම නීතියක් ලෙසටම කිසිම සූර්ය ග්‍රහණයක් හෝ කිසිම චන්ද්‍රග්‍රහණයක් හෝ තනිව හුදකලාව සිදුවන්නේ නැත. ඕනෑම චන්ද්‍රග්‍රහණයකට සති දෙකකට පෙර හෝ සති දෙකකට පසුව හෝ සූර්යග්‍රහණයක් හටගැනීමද දක්නට ලැබේ.

එකී නියමය පෙන්වා දෙමින් ලබන 13 වැනිදා සිකුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 8.30ට අර්ධ සූර්යග්‍රහණයක් හටගනී. එකී ග්‍රහණය සිදු වන්නේ මිථුන රාශියේ පුනාවස නැකතේ දෙවැන පාදයේය. එහෙත් එම අර්ධ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දර්ශනය නොවේ. එයින් හරියටම සති දෙකක් පසුවන විට එනම්, ජූලි මස 28 වැනිදා මධ්‍යම රාත්‍රී 1.53ට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වේ. එකී පූර්ණ චන්ද්‍රග්‍රහණය මුළුමනින්ම පාහේ ශ්‍රී ලංකාවට දර්ශනය වන අතර, එය 21 වැනි ශතවර්ෂයේ හටගන්නා සුවිශේෂ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වෙයි. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ යනාදිය ලෝකායතන ජ්‍යෝතිෂයේදී ඉතා වැදගත් කොට සලකනු ලැබේ. සොබාදහම සහ එක් එක් රටවලටත්, රජ්‍ය පාලකයන් සහ පාලන ක්‍රමයන්ටත් කාලගුණය හා දේශගුණයටත් මෙකී ග්‍රහණ විසින් තදබල පීඩනයක් ඇති කරනු ලබයි.

කාලය මැනීම පිළිබඳ අන්තර්ජාතික ඒකකය වන UTC (UNIVERSAL TIME CODINATOR) අනුව ඉහත කී පූර්ණ චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ 18.24ටය. එහි පූර්ණ ග්‍රහණ අවස්ථාව 19.30ට ඇරඹේ. ග්‍රහණයේ උච්චතම අවස්ථාව හෙවත් මධ්‍ය්‍යනය 20.22ට හටගනී. පූර්ණ ග්‍රහණය 21.13ට අවසන් වේ. සමස්ත චන්ද්‍ර ග්‍රහණයම 22.19ට හමාර වේ. එවිට සමස්ත ග්‍රහණයටම පැය 4.00ට ආසන්න කාලයක් ගතවේ. එයින් පූර්ණ චන්ද්‍රග්‍රහණ කාලය පැය එකකුත් මිනිත්තු 43ක් පවතී. මෙය 21 වැනි සියවසේ දිගම පූර්ණ චන්ද්‍රග්‍රහණය ලෙස වාර්තාගත වේ. එකී වාර්තාගත චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට කෙසේ බලපාන්නේ දැයි ටොලමියානු ජ්‍යෝතිෂය අනුව විමසා බලමු.

සාම්ප්‍රදායික ජ්‍යෝතිෂය අනුව 2018 වර්ෂයේ ජූලි මස 28 වැනි සිකුරාදා මධ්‍යම රාත්‍රී 1.52 වන විට වෘෂභ ලග්නය උදා වී පවතින අතර, ග්‍රහණය සිදුවන්නේ මකර රාශියේ 'සුවන' නැකැතේ පළමුවැනි පාදයේය. එවිට මේ ඓතිහාසික චන්ද්‍රග්‍රහණය හටගන්නේ ලංකා කේන්ද්‍රයේ 12 වැන්නේ බව පෙනේ. එවිට සඳු පිහිටා තිබෙන්නේ මකර රාශියේ අංශක 10.39 හෙවත් මකර රැසේ 'සුවන' නැකැතේ පළමු පාදයේ බව පෙනේ.

'සුවන' නැකැත අයත් වන්නේ රටේ ලග්නයෙන් 06 වැන්න අධිපති ග්‍රහයාට අයත් නැකැතකය. හය වැන්න යනු ආණ්ඩුව නියෝජනය කරන 10 වැන්නේ සිට නමවැන්න වේ. 10 වැන්නේ ත්‍රිකෝණස්ථානය 06 වැන්නට අයත් වන මොහොතක එය අයත් අධිපති ග්‍රහයා තමන්ටම හිමි නැකැතක පීඩනයට පත්වන අවස්ථාවක රටේ ලග්නයෙන් 12 වැන්නද ඊට සම්බන්ධ වීම සැලකිය යුතු අවස්ථාවකි.

එකී තත්කාල කේන්දරයේ ග්‍රහ පිහිටීම අනුව ගත්කළ රටේ ලග්නය වූ කුම්භ රාශියේ නෙප්චූන්ද, එයින් 03 වැන්නේ යුරේනස්ද, 06 වැන්නේ රවි, බුධ රාහුද, 07 වැන්නේ සිකුරුද, 09 වැන්නේ ගුරුද, 11 වැන්නේ සෙනසුරු හා ප්ලූටෝද, කේතු, කුජ හා සඳුද පිහිටයි. ග්‍රහණය සිදු වන විට පවතින වෘෂභ ලග්නය සඳුගේ ආධිපත්‍යට ලක්වන අතර, ග්‍රහණ භූමියද සඳුගේම හිමිකාරීත්වයට යටත් වෙයි. මේ අනුව සඳු ග්‍රහයා ඉතා දැඩි පීඩාවකට ලක්වන බව පැහැදිලි වේ. එහි ප්‍රතිඵලය කුමක් විය හැකිද?

/මේ ග්‍රහණ ත්‍රිත්වය ආරම්භ වීමට පූර්ව දින 3 ක් සහ ග්‍රහණයෙන් මාස තුනහමාරක් ඇතුළත මහ පරිමාණ භූ චලන මාලාවක් ගොඩබිම සහ සාගර පතුළේ හටගත හැකිය. ජල විපත් මාලාවක් ද ඊට සමාන්තරව මතුවෙයි. /

අපේ රටේ ලග්නයෙන් 10 වැන්න වූ වෘශ්චික රාශියේ අධිපති කුජ 10 වැන්නෙන් 03 වැන්නේ හෙවත් රටේ ලග්නයෙන් 12 වැන්නේ වක්‍රව සිටීම සුබදායක තත්ත්වයක් නොවේ. කේතු ග්‍රහයා කුජ සමග සංයෝග වන අතර, එකී කේතු ග්‍රහයාද සඳුගේම නැකැතක තැන්පත්ව සිටියි. ග්‍රහණ භූමිය රවි, බුධ සහ රාහු යන ග්‍රහයන් තිදෙනාගේ දෘෂ්ටියට ලක් වේ. එය අංශක 180 අසුබ දෘෂ්ටියකි. පවතින ආණ්ඩුවේ ඉතා තදබල දුෂ්කර අවස්ථාවක් එයින් නිරූපණය කෙරේ. ආණ්ඩුව පමණක් නොව ආණ්ඩුවේ ඉහළම පෙළේ තනතුරු හොබවන අයට විශාල පීඩනයක් ගෙන දෙයි. එකී පීඩා කාලය චන්ද්‍රග්‍රහණයේ සිට මාස 4 1/2ක් දක්වා වූ කාලයක් ඉදිරියට පවතී.

එනම් නොවැම්බර් මාසය දක්වාම විටින්විට ක්‍ෂණිකව සහ ක්‍රමයෙන් ආණ්ඩුවේ සහ එහි නියෝජිතයන්ගේ ඛේදජනක පිරිහීම බෙලහීන බව සහ පරාජය පිණිස කරුණු ඉස්මතු වේ. ලබන නොවැම්බර් මාසයෙන් පසුව වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යෑම අතිශය දුෂ්කර තත්ත්වයකට පත්වේ. දැනට රජයේ ඉහළ පෙළේ තනතුරු හොබවන සැලකිය යුතු පිරිසකට එකී තනතුරු අහිමි වී යෑම සිදු වන අතර, ඔවුන් සම්බන්ධයෙන් සමාජය කම්පනයට සහ තිගැස්මට ලක් කරවන ප්‍රවෘත්ති වාර්තා වනු ඇත. කාටත් තේරෙන බසින් පැවසුවොත් නැවත පියවිය නොහැකි බරපතළ පරාජයන් හා පසුබෑම් ආණ්ඩු පක්‍ෂයට අත්විඳින්න සිදුවේ.

පූර්ණ චන්ද්‍රග්‍රහණයට ආසන්න දින කිහිපය, චන්ද්‍රග්‍රහණය සිදුවන දින කිහිපය සහ චන්ද්‍රග්‍රහණයෙන් පසුව මාස හතරහමාරක කාලය තුළ දැවැන්ත භූචලන හා ජල විපත් ලෝකයේ බොහෝ ප්‍රදේශවල වාර්තා වනු ඇත.
ඊට අමතරව කාලගුණ තත්ත්වය කෙරෙහි මේ පූර්ණ චන්ද්‍රගහණය විසින් ඇති කරනු ලබන්නේ හිතකර තත්ත්වයක් නොවේ. ඉදිරි මාස හතරක කාලය ඇතුළත ක්‍ෂණික සහ කෙටිකාලීන කාලගුණික විපර්යාස මාලාවක් හටගනු ඇත. ඒ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ලබන සතියේ බලාපොරොත්තු වන්න.

වැඩ කරන ජනතාව අතර හටගන්නා වූ නොසන්සුන්කාරී නැගීසිටීම් රෝහල් හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හටගන්නා පාලනය කළ නොහැකි මතභේදාත්මක තත්ත්වයන්, ජලය හා සුළඟ මගින් පැතිර යන බෝවන රෝග වසංගත යනාදිය මේ පූර්ණ චන්ද්‍රග්‍රහණයෙන් ලැබෙන තවත් අනිටු ඵලයකි. රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් අනතුරුදායක තත්ත්වයට පත්වන අතර, අනපේක්‍ෂිත හානි සහ හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව පෙනේ. විදේශ වෙළෙඳාම, විදේශ රටවල් සමග කරනු ලබන ගනුදෙනු කිරීම් යනාදිය හේතුකර ගෙන තවදුරටත් අවාසිදායක තත්ත්වයන් උද්ගත වේ.

සමස්තයක් වශයෙන් ගත්කළ මෙකී චන්ද්‍රග්‍රහණය ආශ්‍රිතව හටගන්නා වූ පීඩාව තවදුරටත් ඉහළ දැමීමට ග්‍රහණ භූමියෙන් හතර වැන්නේ කේන්ද්‍රගතව සිටින යුරේනස් ග්‍රහයා හේතුවන බව පෙනේ. ග්‍රහණ භූමියෙන් හත්වැන්නෙන් තැන්පත් රවි, රාහු සහ වක්‍ර බුධ රටේ බවභෝග සම්පත් හා කෘෂි ආර්ථිකයට ගෙන දෙන්නේ ඍණාත්මක බලපෑමකි. බවභෝග සම්පත් විනාශ වී යෑමක් එයින් නිරුපණය වේ.

මේ කරුණු මෙසේ පෙළගැන්වූයේ කිසිවකු බියපත් කිරීමට නොව අනාගතයේ සිදු විය හැකි අවාසිදායක තත්ත්වයන් කල්තබා හඳුනා ගෙන ඒවයේ හානි අවම කිරීම සඳහා දැන් සිටම සූදානම් විය යුතු බව අවධාරණය කිරීමටය.

සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ යනාදිය අසුබ ඒවා ලෙස දැකීම බුද්ධිගෝචර නොවේ. ඇතැම් සූර්යග්‍රහණ හෝ චන්ද්‍රග්‍රහණ ආශ්‍රිතව සුබදායක තත්ත්වයන් හටගන්නා අවස්ථාද තිබේ. එහෙත් ජූලි මස 28 වැනිදා හටගන්නා පූර්ණ චන්ද්‍රග්‍රහණය තුළ අවාසියක් මිස වාසියක් අපේක්‍ෂා කළ නොහැකිය.

සමස්තයක් වශයෙන් ගත්කළ මෙකී පූර්ණ චන්ද්‍රග්‍රහණය ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, චීනය ආදී ආසියානු රටවලට, මැදපෙරදිග, අප්‍රිකාව, ඇමෙරිකාව සහ යුරෝපය යන රටවලටද ඍජු බලපෑම් ඇති කරන බව පෙනේ. ඒ අතරින් ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, නවසීලන්තය, දකුණු ඇමෙරිකාව, උතුරු ඇමෙරිකාව යන රටවලට විශේෂ බලපෑමක් ඇති කරයි. ජූලි 28 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාව කෙරෙහි ආසන්න හා ඍජු බලපෑම් ඇතිකරන හෙයින් ශ්‍රී ලංකාව, ඉන්දියාව යන රටවල් වඩාත් විශේෂිත වෙයි.

මෙම චන්ද්‍රග්‍රහණයෙන් පසුව දෙසතියක් ගතවන්නට පෙර එනම්, අගෝස්තු මස 11 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.15ට තවත් අර්ධ සූර්යග්‍රහණයක් හටගනී. එය සිදුවන්නේ කටක රාශියේ අස්විද නැකැතේ තුන්වැනි පාදයේය. මේ අනුව දෙසතිය බැගින් වූ කලාන්තරයන්වල එක පෙළට ග්‍රහණ ත්‍රිත්වයක් සිදුවන බව පෙනේ.

ටොලමියානු ලෝකායන ජ්‍යෝතිෂය අනුව මෙකී ග්‍රහණ ත්‍රිත්වයම 2018 වසර අවසන් කරනුයේ සිත්කම්පා කරන සිදුවීම සහ ඇ‍ඟේ ලේ රත්කරන උද්වේගකර සිදුවීම් මාලාවක් සහිත බව යළි යළිත් තහවුරු කරයි. ඉවසීම, ප්‍රඥාව, යුක්තිගරුක බව සහ උපේක්‍ෂාව යන ගුණාංග මුල්කර ගෙන ජීවත් විය හැකි නම් මෙකී අහිතකර කාලපරිච්ජේදයේ සිදු විය හැකි හානිය අවම කරගත හැකි බව අවධාරණය කළ යුතුව තිබේ.

Kcj Ratnayake

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();