ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ජවිපෙ නායක අනුර දිසානායක විදෙස් ගතවී සිටි බැවින් කණ්ඩායම් රැස්වීම පවත්වනු ලැබුවේ විජිත හේරත් මන්ත්රීවරයාගේ ප්රධානත්වයෙනි. මෙහිදී විශේෂයෙන් අවධානයට ගැනුණේ විජයකලා ඇමතිවරියගේ ප්රකාශයත්, විගණන පනතත් පිළිබඳවය.
”ආණ්ඩුව මේ සතියේ විගණන පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා. මේ විගණන පනත දින 100 වැඩපිළිවෙළ යටතේ එන්න තිබුණ එකක්. නමුත් දැන් කල් මරලා වෙනත් පාර්ශ්වවල බලපෑම නිසා තමයි ආණ්ඩුවට ගේන්න වෙලා තියෙන්නේ. නැතුව ආණ්ඩුව කැමැත්තෙන් ගේන එකක් නෙවෙයි.” විජිත හේරත් පැහැදිලි කළේය.
“ඇත්තටම මේ ආණ්ඩුව විගණන පනතේ අඬු කඩලා තමයි ගේන්නේ. විගණකාධිපතිවරයාගේ බලතල අඩුකරලා. අධිභාර පැනවීමේ ප්රතිපාදන කප්පාදු කරලා. දඩ පැනවීම දුර්වල කරලා. අපි මුලින්ම විවිධ පාර්ශව සමඟ සාකච්ඡුා කරලා විගණන පනතක් සකස් කළා. පෞද්ගලික මන්ත්රී යෝජනාවක් විදියට දැම්මා. නමුත් ආණ්ඩුව ඒකට ඉඩදුන්නේ නැහැ ඒක බලවත් එකක් නිසා. මේ ගැන උනන්දුව දක්වන බොහෝ පිරිසක් මාත් සමඟ සාකච්ඡා කළා. ඒ අයට උවමනාව තියෙනවා කොහොම හරි විගණන පනත සම්මත කරගන්න. නමුත් බලයක් නැති පනතක් සම්මත කරලා වැඩක් නැහැ.” විගණන පනත පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති මන්ත්රීවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
“අපි පනතට සංශෝධන යෝජනා කරමු” නිහාල් ගලප්පත්ති යෝජනා කළේය.
“ඔව්, අපි මේ විගණන පනත බලාත්මක කරන ආකාරයේ සංශෝධන දාන්න ඕනෑ. ආණ්ඩුව ඒවා භාරගනීද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ පනත රටට වැඩක් ඇති පනතක් වෙන්න නම් සංශෝධන ඉදිරිපත් කරන්නම වෙනවා.” බිමල් රත්නායක කියා සිටියේය.
ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති මන්ත්රීවරයා විසින් අද පෙරවරුවේදී විගණන පනතට සංශෝධන 16ක් සහිත ලියවිල්ලක් පාර්ලිමේන්තුවට බාරදෙන ලදී.
The post විගණන පනතට ජවිපෙන් සංශෝධන16ක්. appeared first on Lanka News Column.
0 Comments