ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී සිදු වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් අතර ඓතිහාසික හමුව බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් සාර්ථක ලෙස නිමාව දුටුවේය. මෙම නායක ෙයා් දෙදෙනා එරට වේලාවෙන් උදෑසන 9 ට මුණ ගැසී විනාඩි 40 ක පමණ පෞද්ගලික කතාබහකින් අනතුරුව දෙරටෙහි දූත පිරිස් සහභාගී වූ සාකච්ඡාවකට සහභාගී වූහ. ඉනික්බිතිව දිවා ආහාරය ගත් ඔවුහු මෙම සමුළුව අවසන් වීමට පෙර ඒකාබද්ධ ලියවිල්ලකට ද අත්සන් කළෝ ය. දශක ගණනක් විරසකව පැවැති රටවල් දෙකක නායකයින් මෙසේ හමුවූ මුල් ම අවස්ථාවේ ඒකාබද්ධ ලියවිල්ලකට අත්සන් කිරීම වැදගත් සිද්ධියක් බව පැහැදිලි ය.
මීළඟ ගැටලුව වන්නේ මෙතැනින් ඔබ්බට ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර මෙන් ම උතුරු කොරියාව සහ අනෙකුත් රටවල් අතර සබඳතා කිනම් අයුරකින් වර්ධනය වේද යන්න ය.
ගිවිසුමෙහි කරුණු
සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයින් දෙදෙනකු මුණ ගැසෙන අවස්ථාවක යම්කිසි ලියවිල්ලකට අස්සන් කිරීමට අදහසක් තිබේ නම් එම ලියවිල්ල පිළිබඳ කලින් ම ඔවුන්ගේ දූතයින් අතර සාකච්ඡා සිදු වන අතර ඒ අනුව එකඟ විය හැකි මූලික කරුණු සහිත ලියවිල්ලක් කලින් ම කෙටුම්පත් කෙරේ. මෙම සමුළුවේදී ද බොහෝ විට එසේ සිදුවන්නට ඇත. මේ ලියවිල්ලෙහි අඩංගු කරුණු කිසිවක් දෙපාර්ශවයට එකඟ නොවිය හැකි කරුණු නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදය සහ කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන ජනරජය හෙවත් උතුරු කොරියාව එකඟ වූ එම කරුණු සැකෙවින් පහත පරිදි ය.
1. දෙරටෙහි ජනතාවගෙන් අභිලාෂයන්ට අනුකූල වෙමින් සාමය සහ සෞභාග්‍ය සඳහා නව සබඳතා ඇති කර ගැනීමට දෙරට එකඟ වන බව.
2. කොරියානු අර්ධද්වීපයේ කල්පවතින සාමය ස්ථාපිත කිරීම උදෙසා දෙරට කැපවන බව.
3.2018 අප්‍රේල් 27 වනදා උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර වූ හමුවේදී එකඟ වූ පන්මුන්ජෝම් ප්‍රකාශනයේ සඳහන් කළ පරිදි කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටිකහරණය කිරීම සඳහා ඇමෙරිකාව සහ උතුරු කොරියාව කැපවන බව.
4. දැනට දෙරට බාරයේ තිබිය හැකි යුද සිරකරුවන්ගේ හෝ අතුරුදන් වූ සෙබළුන්ගේ දේහ ආදිය සොයා ගැනීම, හඳුනා ගැනීම සහ කඩිනමින් අදාළ රටට බාර දීම සඳහා ක්‍රියා කරන බව.
මෙම ඒකාබද්ධ ලියවිල්ලෙහි දිස්වන ප්‍රධානම කරුණ නම් දෙපාර්ශ්වයම තමන්ට එකඟ විය හැකි අවම කොන්දේසිවලට එකඟ වී ඇති බව ය. ඩොනල්ඩ් ට්‍රම්ප් පුන පුනා කියා සිටින ප්‍රධානම කාරණය වන්නේ උතුරු කොරියාව සම්පූර්ණ න්‍යෂ්ටිකහරණයකට එකඟ වූ බවත්, එම කොන්දේසිය නොවී නම් තමන් මෙම සාකච්ඡාව මෙතරම් දිගට රැගෙන නොඑන බවත් ය. උතුරු කොරියාව වැනි රටක් සිය න්‍යෂ්ටික ආයුධ සඳහා දෙනු ලබන වැදගත්කම හේතුවෙන්, මෙවන් කොන්දේසියකට කිම් එකඟ වීම ම විශේෂිත කරුණකි. කෙසේ නමුත් මෙය කලින් එකඟ වූ කොන්දේසියක් බව සිහි තබා ගත යුතුය.
මෙම එකඟතාෙවහි ඇති එක් දුර්වලකමක් නම් න්‍යෂ්ටිකහරණය සඳහා නිශ්චිත කාල රාමුවක් සඳහන්ව නොතිබීම ය. කෙසේ නමුත් මේ පිළිබඳ ප්‍රශ්නයක් නැගූ අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ සම්පූර්ණ න්‍යෂ්ටිකහරණය සඳහා ගතවන කාලය පිළිබඳ පුරෝකථනය කිරීම අසීරු බව ය. නමුත් මෙම ක්‍රියාවලිය උතුරු කොරියාව විසින් ඉතාමත් ම ඉක්මනින් අරඹනු ඇති බවත් තමන්ට කිම් ජොංග්-උන් විශ්වාස බවත් ට්‍රම්ප් පැවසීය.
තම සාකච්ඡාව ආරම්භයක් පමණක් බව සඳහන් කළ ට්‍රම්ප්, ඉදිරි කටයුතු මෙහෙයවීම රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ විසින් සිදු කෙරෙනු ඇතැයි කීවේය.
එමෙන්ම ට්‍රම්ප් තවත් වැදගත් කරුණක් හෙළි කළේය. එනම් ඔහුගේ රජය සහ උතුරු කොරියානු රජය කලක පටන් සාකච්ඡා පවත්වමින් සිටි බවත් ඔහු ද කිම් සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡා කර ඇති බවත් ය. එනම් මෙම කරුණු හතර සඳහා එකඟතාවයට එළඹ ඇත්තේ කලක පටන් කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බව පැහැදිලි ය. එම කරුණෙන් පැහැදිලි වන්නේ න්‍යෂ්ටිකහරණය සඳහා එළඹ ඇති මෙම කාල රාමුවකින් තොර සංකල්පීය එකඟතාවයෙන් එහාට යමක් කරා එළඹීමට එම සාකච්ඡාවලින් පසුව ද ඇමෙරිකාවට සහ උතුරු කොරියාවට හැකියාව ලැබී නැති බව ය.
උතුරු කොරියාවේ අභිලාෂ
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමෙන් සහ විශේෂයෙන් ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ තම නායකයා අතර හමුවෙන්, උතුරු කොරියාව කරුණු කිහිපයක් ඉටු කරගැනීමට අපේක්ෂා කරන අතර ඒවා එකිනෙක හා සම්බන්ධ ය. මූලිකව ම උතුරු කොරියාව සිය ආරක්ෂාව පිළිබඳ පැහැදිලි සහතිකයක් බලාපොරොත්තු වෙයි. මේ අතර ඇමෙරිකාව උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සහ බැලිස්ටික් මිසයිල වැඩපිළිවෙළ අහෝසි කිරීම බලාපොරොත්තු වේ. එම කොන්දේසියට එකඟ වීමට නම් උතුරු කොරියාව තම රටෙහි ආරක්ෂාව සහ ස්වෛරීභාවය තහවුරු කිරීමක් අපේක්ෂා වනු ඇත. මක් නිසාද යත් න්‍යෂ්ටික අවි සහ බැලිස්ටික් මිසයිල වැඩපිළිවෙළ යනු උතුරු කොරියාවේ ජාතික ආරක්ෂාවට වැදගත්ම වන සාධක දෙක වන බැවිනි. එමෙන්ම එම වැඩපිළිවෙළ හේතුවෙන් උතුරු කොරියාවට විශාල කේවල් කිරීමේ බලයක් ද ලැබී තිබේ. ඔවුන් මේ සියල්ල නිකරුණේ අත් හරිනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක.
මීළඟ කරුණ නම් ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට විදේශීය සහය ලබා ගැනීමයි. මේ කරුණේදී ද කුමන ආකාරයේ ගමන් මගක් කරා කිම් ජොංග්-උන් පිවිසේදැයි පැහැදිලි නැත.
උතුරු කොරියාවට සැලකිය යුතු පමණක කාර්මික ආර්ථිකයක් හිමි වූයේ ය. ඒ, නිරවි යුද සමයේදී සෝවියට් දේශයට සහ චීනයට සමීප ව සිටීමේ ප්‍රතිලාභයක් ලෙස ය. නමුත් එහි ක්‍රියාත්මක වූයේ මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයකි. මෙම ක්‍රමයෙහි වූ අකාර්යක්ෂමතාව සහ වෙනත් කරුණු හේතුවෙන් සෝවියට් දේශය බිඳ වැටෙන විට ද උතුරු කොරියාවේ ආර්ථිකය දුර්වල අඩියක පැවතුණි. පසුව එම තත්ත්වය තවත් අයහපත් අතට හැරුණු අතර ආර්ථික සම්බාධක හේතුවෙන් තත්ත්වය තවදුරටත් අයහපත් විය. රට තුළින් ම අමුද්‍රව්‍ය සොයාගත හැකි වූ කර්මාන්ත යම් තරමකට ක්‍රියාත්මක වන අතර අනෙක් කර්මාන්ත අභාවයට ගියේය.
කිම් ජොංග්-උන් පාලනය යටතේ උතුරු කොරියානු ආර්ථිකය යම් පමණකට වර්ධනය වූ බවක් පෙනෙන්නට ඇතත් කලාපයේ අනෙක් රටවල් හා සැසඳීමේදී ඔවුන් තවමත් සිටිනුයේ ගවු ගණනක් පිටුපසිනි.
මේ අනුව ආර්ථික සංවර්ධනය සඳහා උපකාර වන අයුරින් සම්බාධක ඉවත් කරගැනීම උතුරු කොරියාවේ අපේක්ෂාව ය. නමුත් උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් ම නවතා දමන තෙක් ඇමෙරිකාව ද ආර්ථික සම්බාධක ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු නොකරනු ඇත.
රටෙහි අති විශාල ආරක්ෂක වියදම් අඩු කරගැනීමේ හැකියාවක් ඇත්නම් එය ද ආර්ථිකයට යහපත් සේ බලපානු ඇත. උතුරු කොරියාව සිය "සොන්ගුන්" හෙවත් "මිලිටරිය පළමුව" සිද්ධාන්තය අත හරිනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. මන්ද යත්, එය උතුරු කොරියානු පාලන තන්ත්‍රය රඳා පවත්නා ප්‍රධාන සිද්ධාන්තයක් වන බැවිනි. නමුත් න්‍යෂ්ටික අවි සහ බැලිස්ටික් මිසයිල සඳහා කෙරෙන අධික වියදම් කප්පාදු කළ හැකි වුවහොත් එය ආරක්ෂක වියදම් පහළ දැමීමට හේතුවක් වන්නේය. මේ අනුව න්‍යෂ්ටික වැඩසටහන නවතා දැමීමෙන් ආරක්ෂක වියදම් අඩු වීම සමඟ ම ආර්ථික සම්බාධක ඉවත් කිරීමට අවශ්‍ය මාර්ගය විවර වීම සිදු වනු ඇත. නමුත් සිය ආරක්ෂාව පිළිබඳ තහවුරු කිරීමක් නොමැතිව කිම් ජොංග්-උන් න්‍යෂ්ටික අවි වැඩසටහන සපුරා නවතා දමන්නේ ද නැති බව පැහැදිලි ය.
ආර්ථික සංවර්ධනයට අවශ්‍ය සාධක
උතුරු කොරියාවේ ආර්ථික සංවර්ධනය සඳහා තවත් වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දිය හැක.
පළමුවැන්න නම් පුහුණු ශ්‍රම හිඟය යි. මිලියන 25ක් පමණ වන රටේ ජනගහනයෙන් මිලියනයක් හෙවත් සියයට 4ක් පමණ වන ප්‍රමාණයක් හමුදා සේවයේ යෙදේ. මෙය රැකියාවන්හි නිරතවන වයසෙහි ජනගහනයෙන් දහයෙන් එකකි. ඉතිරි කොටස අතර ද පුහුණු ශ්‍රමිකයින් ප්‍රමාණවත් තරම් නොමැත. නමුත් ශ්‍රමිකයන් පිටරටින් ගෙන්වීමේ පියවරට උතුරු කොරියාව ගමන් කරනු ඇතැයි සිතීම අපහසු ය. එනම්, ඔවුනට ග්‍රම බළකාය පුහුණු කිරීමට සිදු වනු ඇත.
දෙවැන්න නම් ආර්ථික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව යි. උතුරු කොරියාව තවමත් මධ්‍යගත සැලසුම් ආර්ථිකය අනුගමනය කරයි. වෙළෙඳපොළ ආර්ථිකයේ යහපත් ලක්ෂණ උතුරු කොරියානු පාලනයට දිස්වන නමුත් ඒ කරා පරිවර්තනය වන විට රුසියාව ආදී ඇතැම් කොමියුනිස්ට් පාලනය පැවති රටවල් ඉතා කටුක අත්දැකීම් ලැබූ හෙයින් ඒ පිළිබඳ ද කිම්ගේ පාලනය අවධානය යොමු කරයි. මේ අනුව යම් පාලනයකට යටත්ව කෙරෙන ප්‍රතිසංස්කරණ විනා සම්පූර්ණ ආර්ථික ක්‍රමය උඩු යටිකුරු කිරීමක් බලාපොරොත්තු විය නොහැක.
තුන්වන කරුණ ප්‍රාග්ධනය ය. කර්මාන්තශාලා නවීකරණයට හෝ අලුතින් ඉදි කිරීමට හෝ ප්‍රාග්ධනය අවශ්‍ය ය. මේ සඳහා විදේශීය ආයෝජන ගෙන්වා ගත යුතු ය. උතුරු කොරියාව මින් පෙර සිනුයිජු නම් ප්‍රදේශයේ නිදහස් වෙළෙඳ කලාපයක් ඉදි කිරීමට උත්සාහ කළ ද ආයෝජකයින් නොපැමිණීමෙන් එම සැලැස්ම සාර්ථක නොවී ය. මීට හේතු වූයේ උතුරු කොරියාව විවෘත වීමට දක්වන මැළියාව යි. එහෙයින් උතුරු කොරියානු නිලධාරීන් සමග ව්‍යාපාර කටයුතු සිදු කිරීම ආයෝජකයින්ට පහසු නොවී ය. මේ අනුව ඊට වඩා විවෘතභාවයකින් යුතුව ආයෝජකයින් සමඟ කටයුතු කිරීම අත්‍යවශ්‍යය වනු ඇත.
ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම ද අත්‍යවශ්‍ය වේ. මෙහිදී අගනුවරින් එපිට මහා මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම අවශ්‍ය ය.
එමෙන්ම අනාගතයෙදී උතුරු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වන සාකච්ඡාවලදී මතුවිය හැකි වැදගත්ම කරුණක් වන්නේ බලශක්තිය යි. උතුරු කොරියාවට ඛනිජ තෙල් සම්පත් නොමැති අතර ගල් අඟුරු සහ ජල විදුලි සම්පත ද ප්‍රමාණවත් නොවේ. බලශක්ති අර්බුදය දැනට ද රටට බලපාන ප්‍රශ්නයකි. එහෙයින් සාමකාමී කටයුතු සඳහා න්‍යෂ්ටික බලශක්තිය යොදාගැනීම පිළිබඳ උතුරු කොරියාව සාකච්ඡා කිරීමට යොමු වනු ඇතැයි අනුමාන කළ හැක. මෙහිදී ඇමෙරිකාව දක්වන ප්‍රතිචාරය අනාගත ඇමෙරිකා-උතුරු කොරියා සබඳතා සඳහා වැදගත් වේ.
බලශක්ති අර්බුදය සඳහා වෙනත් විකල්පයක් ඉදිරිපත් කිරීමට වෙනත් බලවතෙකු ඉදිරිපත් වීමේ ඉඩක් ද පවතී. ඒ රුසියාවයි. මීට සති කිහිපයකට පෙර රුසියාව දෙසින් යෝජනාවක් මතු වූයේ උතුරු කොරියාව හරහා දකුණු කොරියාවට ගෑස් නල මාර්ගයක් ඉදි කිරීමට ය. යම් හෙයකින් මෙම සැලසුම ක්‍රියාත්මක වුවහොත් රුසියානු බලපෑම උතුරු සහ දකුණු කොරියාව වෙත වඩා ප්‍රබලව පැතිරීමේ අවදානම ද සලකා බැලීමට ඇමෙරිකාවට සිදු වනු ඇත.
රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම
උතුරු කොරියානු නායකයාට අත්‍යවශ්‍ය තවත් කරුණක් ලෙස රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීම සැලකිය හැකිය. මෑතක් වනතුරු උතුරු කොරියාව සැලකුණේ ලෝකයෙන් තනි වූ අමුතු රටක් ලෙස ය. කිම් ජොංග්-උන් එහි පාලනය ගෙන ගිය අතිධාවනකාරී ඒකාධිපතියා වූයේ ය. මෙම තත්ත්වය යම් තරමකට වෙනස් වීමට මේ වසරේ දකුණු කොරියාව සමග කරන ලද සාකච්ඡා ඉවහල් විය. සිංගප්පූරුවේදී ද කිම් එරට අගමැතිවරයා හමු වී සුහද කතාබහක යෙදිණි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා වැනි අයකු විසින් "දක්ෂ පුද්ගලයකු" ලෙස හඳුන්වා දෙනු ලැබීම ජූනි 12 වනදා කිම් ලද පෞද්ගලික ජයග්‍රහණයකි. මේ ඔස්සේ ඔහු සිය පෞද්ගලික ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමට උත්සාහ කරයි. මේ අතර ජපන් අගමැති ෂින්සෝ අබේ ද, කිම් හමුවීමට සූදානම් බවට වාර්තා පළ වෙමින් පවතී.
මේ ඔස්සේ තම පාලනය ස්ථාවර කරගැනීම සහ ඊට රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් ලබාගැනීම උතුරු කොරියානු පාලක කිම් ජොංග්-උන්ගේ බලාපොරොත්තුව ය. එළඹෙන සැප්තැම්බරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට වුවද ඔහු බලාපොරොත්තු දල්වාගෙන සිටිනු ඇතැයි අනුමාන කළ හැක.
චීනයේ භූමිකාව
චීනය මෙම ක්‍රියාවලියෙදී කිනම් ආකාරයේ භූමිකාවක් රඟ දක්වයි ද යන්න එක්තරා ප්‍රහේලිකාවකි. 2018 වසරේදී දෙවතාවකදී ම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සහ කිම් ජොංග්-උන් මුණ ගැසීමට පෙර චීන ජනාධිපති ෂී ජින්පිං සහ කිම් මුණ ගැසුණහ. මෙයින් දෙවන හමුව පිළිබඳ ට්‍රම්ප් සිය නොසතුට පළ කළේ කිම් මුණ ගැසීමට වූ තම සැලසුම තාවකාලිකව අවලංගු කරමිනි. චීනයේ ප්‍රධානම අවශ්‍යතාව වන්නේ කලාපයේ ස්ථාවරත්වය ය. ආර්ථික වශයෙන් දියුණු වෙමින් පවතින රටක් ලෙස මෙය චීනයට ඉතා වැදගත් ය. මේ අතර කොරියානු අර්ධද්වීපයේ සාමය උදා වුවහොත් එයින් වැඩි වාසි සැලසෙන රාජ්‍යයක් ලෙස චීනය සැලකිය හැක. සංවෘත, තනි පක්ෂ පාලනයක් සහිත උතුරු කොරියාව සිය ආර්ථික සංවර්ධන මොඩලය ලෙස චීන මොඩලය ගුරු කොටගැනීමේ ඉඩකඩ වැඩිය. එවන් පසුබිමක චීන සමාගම්වලට උතුරු කොරියාවේ ආයෝජනය කිරීමේ අවස්ථාව උදා වනු ඇතැයි චීනය බලාපොරොත්තු වනු නොඅනුමාන ය.
මේ අතර ට්‍රම්ප් සිය ආවේණික අතිධාවනකාරී ස්වභාවය පෙන්නුම් කරමින් දකුණු කොරියාව සමඟ පවත්වන යුධ අභ්‍යාස නවතන බවට කළ ප්‍රකාශය ද ඇමෙරිකාව තුළ විවාදයක් නිර්මාණය කර තිබේ. මෙය උතුරු කොරියාවට සහ චීනයට අත්‍යවශ්‍ය වූ කරුණක් බව ට්‍රම්ප් විවේචනය කරන සෙනට් සභික ජෝන් මැකේන් ආදීහු කියා සිටිති. ට්‍රම්ප්ගේ මෙම තීරණය පිටිපස උතුරු කොරියානු හෝ චීන හෝ බලපෑමක් වූයේද යන්න පැහැදිලි නැත.
0 Comments