කාලය මැනීම මුලින්ම පටන් ගත්තේ කවුද? කොහොමද? කොතැනද ? කියන කාරණාවලට හරි උත්තර සොයා ගැනීම දුෂ්කරයි. ඒත් කාලය මනින්න උත්සාහ කළ කොයි කවුරු නමුත් උසස් බුද්ධි මට්ටමකින් හිටියාය කියන කාරණේ නම් ඉතාම පැහැදිලියි. පුරාණ නක්ෂත්‍රවේදීන් හිරු සඳු සහ අනෙක් ග්‍රහ තාරකා පදනම් කරගෙන කාලය කොටස් කිරීමට සහ ඒවා ගණනය කිරීමට ගණිතමය සිද්ධාන්ත සහ ස්වභාවික තාක්ෂණයක් පාවිච්චි කළ බවට සාක්ෂි තියෙනව. ඒ ඇතැම් දැනුම් පද්ධති අද අභාවයට ගිහිං. අතීත හෙළදිව නක්ෂත්‍රකරුවන් අතර කාලය මැනීමට විවිධ ගණිත චක්‍රයන් තිබුණා. එයින් එකක් ගැන ටිකක් මතක් කර ගැනීම ඉදිරි සාකච්ඡාවට බොහොම වටිනව. අද සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී ඔරලෝසුවේ කාලය මනින කුඩාම මිම්ම තත්පරය නේ. හැබැයි නූතන පරමාණුක තාක්ෂණයෙන් ඒ තත්පරය පවා නැවත කොටස් 1000 කට හෙවත් මිලි තත්පරවලට බෙදන්න පුළුවන්. ms කෙටි යෙදුමෙන් මිලි තත්පරය හෙවත් තත්පරයෙන් 1000 න් පංගුව සංකේතවත් වෙනව. (1 ms = තත්පර 0.001) ඒ වගේ ඉතා සූක්ෂ්ම හෝ ක්ෂූද්‍ර සූක්ෂ්ම කාලය මැණීමේ භාවිතයක් තාමත් තියෙනව. පුරාණ මිසර පර්සියානු වගේ ශිෂ්ටාචාරවල තත්පරය කිව්වේ මිනිත්තු 1/60 කට නේ. පැය එකකට ගත්තොත් 1/3,600 යි. නමුත් පුරාණ හෙළදිව නක්ෂත්‍රවේදීන් සහ ග්‍රීක හෙළනිස්ටික් විදුහුරුවන් අතර ඊට වඩා අති සියුම් ක්ෂූද්‍ර සූක්ෂ්ම කාලය මැනීමක් තිබුණා. අන්න ඒකට එක උදාහරණයක් මෙහෙමයි.
{නිමේස 18 = කස්ට 1 යි. / කස්ට 30 = කලා 1 යි / කලා 30 = ක්සන 1 යි / ක්සන 2 = මුහුර්ත 1 යි. මුහුර්ත 2 = පෑ 1 යි. පෑ 60 = දින 1 යි. දින 15 = පක්ස 1 යි. පක්ස 2 = මාස 1 යි. මාස 6 = අයන 1 යි. අයන 2 = අවුරුදු 1 යි. }
ඉහත උදාහරණයෙන් කියවෙන කාලය මැනීමේ අවස්තා ගැන වෙනම පර්යේෂණයක් කරන්න තරම් කරුණු තියෙනව. නමුත් අපි එතනින් පෑ 60 = දින 1 කියන කොටස විතරක් ගමු. එහෙනම් හෙළ ක්‍රමය අනුව දිනකට පැය 60 ක් තියෙනව. ඒ කියන්නේ අද ඔරලෝසුව හදලා තියෙන ඉංග්‍රීසි පැය ක්‍රමයේ ඉංග්‍රීසි පැය 1 ක් ඇතුළේ හෙළ පැය 2 1/2 දෙකහමාරක් තියෙනව. හෙළ ක්‍රමයේ මිනිත්තු නෑ. ඒ වෙනුවට තියෙන්නේ විනාඩි. මෙන්න මේ දෙකත් අද බොහෝ අය වරදවා පාවිච්චි කරන වචන දෙකක්. මොකද මිනිත්තු සහ විනාඩි සමාන නෑ. ඉංග්‍රීසි මිනිත්තු 1 ක් ඇතුළේ විනාඩි 2 1/2 ක් තියෙනව. ඒ අනුව විනාඩි 24 ක් හෙළ පෑ 1 යි. විනාඩි 24 X 2 1/2 = පෑ 60 යි. මේ විනාඩි නැවත ඉතා සියුම් ක්ෂුද්‍ර සූක්ෂ්ම කොටස්වලට බෙදෙනව. මේ ලෝකයේ වෙන කොහේවත් විනාඩි භාවිතයේ නෑ. ඒක දැනට තියෙන්නේ ලංකාවෙම විතරයි. හැට පැයේ ක්‍රමයට කේන්දර හැදීම එදා ජයටම තිබුණා. නමුත් දැන් ඒ ක්‍රමය එතරම් භාවිතා කෙරෙන්නේ නෑ.
අද ජ්යොතිෂවේදීන් කොයි කවුරුත් ග්‍රහ ගමන මනින්නේ විකලා කලා සහ අංශකවලින් . ඒ කියන්නේ විකලා 60 = කලා 1 යි./ කලා 60 = අංශක 1 යි. / අංශක 30 = රාශි 1යි / රාශි 12 = සූර්ය වර්ෂ 1 යි. අර මුලින්ම කිව්ව විකලා කියන අවස්තාවත් තව සියුම් කොටස්වලට බෙදන්න පුළුවන්. ඊට අමතරව සිතක් පහළ වන වේගයත් සිතක් පහව යන වේගයත් ආදී වශයෙන් කාලය මැනීමේ අති සූක්ෂ්ම අවස්ථාවන් බෞද්ධ දර්ශනයේ දකින්න ලැබෙනව.
මේක තව විදිහකට ගන්න පුළුවන්. හිරු එක් දිනකට ගමන් ගන්නා දුර අංශක 1 යි. අංශක 30 = රාශි 1 යි. රාශි 1 = සූර්‍ය මාස 1 යි. සූර්‍ය මාස 12 = අවුරුදු 1 යි. අවුරුදු 1 = අංශක 360 යි. එහෙම ගත්තම හැම සූර්‍ය මාසයක් ම දින 30 කින් අවසන් වෙනව. එතකොට අවුරුදු 1 ක් කියන්නේ දින 360 යි. ඒ මාස 12 සහ දින 360 නැකත් සහ රාශි චක්‍රයේ අංශක 360 ට සමානයි. ඉතිං අවුරුද්ද කියන්නේ හිරු නැකත් සහ රාශි චක්‍රයේ එක් වටයක් සම්පූර්ණ කිරීමයි. මෙතනදි තවත් අමතර දෙයක් කිව යුතුයි. බොහෝ දෙනා දිනය සහ දවස කියන දෙක පටලව ගන්නව. ' දින ' කියන්නේ ආලෝකය හෙවත් සූර්‍යාටයි. හිරු උදාවේ සිට හිරු බැස යෑම දක්වා වූ කාලය තමා දිනය (Day) කියා කියන්නේ. මේ 'දින ' යන්න ' දා ' හැටියටත් යෙදෙනව. ඉරිදා (රිවිදින ) සඳුදා (සඳු දින ) අගහරුවාදා (කුජ දින ) බදාදා (බුද දින ) බ්‍රහස්පතින්දා (ගුරු දින ) සිකුරාදා (කිවි දින )සෙනසුරාදා (ශනි දින ) හැටියට සතියේ දින හත නම් කෙරෙන්නේ ඒ එක් එක් දිනයේ සූර්‍ය උදාව සිදුවන මොහොතේ පවතින හෝරාව අයත් ග්‍රහයාට අනුවයි.
දැන් බලමු දවස (Date) කියන්නේ මොකක්ද කියලා. කිසියම් මාසයක 1-2-3-4-5- ආදී වශයෙන් අංක යෙදෙන්නේ දවස කියන එකටයි. සෑම දිනයක්ම සූර්‍ය අංශක 1 ක් හෙවත් ඊට අදාළ ඉර උදාව සහ ඉර බැසීම තුළ පවතිනව. නමුත් දවස කියන එක මධ්‍යම රාත්‍රී 12 හෙවත් 00.00 දෙකෙන් අවසන්ව 00. 01 එකෙන් පටන් ගන්නව.ජ්‍යොතිෂයට මේ දවස කියන එක අදාළ නෑ. ඒකේ වටිනාකම තියෙන්නේ සම්මත ව්‍යවහාර ඔරලෝසුවට සහ කැලැන්ඩරයට විතරයි. දැන් ඔබට පෙනෙනව විනාඩිය පැය දිනය මාසය අවුරුද්ද කියන මේ සියල්ලම සකස් වෙන්නේ නිශ්චිත ස්වාභාවික ගණිතමය ක්‍රමයක් අනුවය කියලා. නමුත් ඉංග්‍රීසි ඔරලෝසුවට සහ කැලැන්ඩරයට එහෙම තර්කානුකූල ස්වාභාවික ගණිතමය පදනමක් පේන්නේ නෑ. ඉංග්‍රීසි මාසවලට දවස් 28-29-30-31 ආදී වශයෙන් යෙදෙනව. ඒ වගේම දවස සහ නව වසර පවා අලුත් වෙන්නේ මධ්‍යම රාත්‍රී 12 ටයි. එතන කිසි පදනමක් නෑ. ඒවා හිතුවක්කාරකමට කරපු දේවල් මිස ස්වභාවික නීතියක් සිද්ධාන්තයක් අනුව හදා ගත්ත දේවල් නෙවෙයි. රෑ 12 ට උදාවෙන දවස සහ දෙසැම්බර් 31 රෑ 12 ට උදාවෙන නව වසර කියන දෙකටම මෙලෝ තේරුමක් නෑ. අන්න ඒ නිසා ජ්‍යොතිෂයට ඔය ඉංග්‍රීසි දවස සහ නව වසර ( Date & New Year ) කියන දෙකම වෙනුවට වැදගත් වෙන්නේ දිනය සහ අලුත් අවුරුද්ද ( Day & New Year / Dhina & Aluth Avurudhu ) කියන දෙක විතරයි. මොකද අලුත් අවුරුද්ද සහ නව වසර කියන්නෙත් දෙකක් මිස එකක් නෙවෙයි. ' අවුරුදු / අවුරුද්ද කියන යෙදුමට වෙනම නිරුක්තියක් තියෙනව.
ඔය මුලින් කතා කෙළේ සූර්‍ය දින සූර්‍ය මාස සහ සූර්‍ය අවුරුද්ද ගැනයි. මීට සමාන්තරව සඳු ග්‍රහයාගේ ගමන පදනම් කරගෙන කාලය මනිණ තව ක්‍රමයක් තියෙනව. මෙන්න මේකත් බොහෝ දෙනා වරද්ද ගන්න තැනක්. සඳු ග්‍රහයා දින (2 1/2 ) දෙක හමාරකදී අංශක 30 ක් ගමන් කරනව. එතකොට රාශි 12 X 2.5 = 30 යි. තව විදිහකට කිව්වොත් එක් සූර්‍ය මාසයක් තුළදී සඳු ග්‍රහයා අංශක 360 ක් හෙවත් රාශි සහ නැකත් චක්‍රය වටා යන ගමන සම්පූර්ණ කරනව. හිරු පුරා අවුරුද්දක් යන ගමන සඳු එක සූර්‍ය මාසයකින් හමාර කරනව. ගණිතමය අනුපාතයට ගත්තොත් හිරු එක් සූර්ය වර්ෂයකදී යන දුර සහ වේගය සඳුගේ එක් සූර්ය මාසයක දුර සහ වේගයට සමානයි. ඒ අනුව හිරුගේ එක් ගමන් වටයක් සඳහා ගතවන කාලයේදී සඳුගේ ගමන්වාර 12 ක් සිදුවෙනව. රාශි දොළොසට සාපේක්ෂව මාස 12 ක් නිර්මාණය වීමත් මාස 12 ට පුර පෝය 12 ක් උදාවීමත් පුර පෝය 12 ක් එක් සූර්ය වර්ෂයක් වීමත් අතර තිබෙන නක්ෂත්‍ර පදනම ඉදිරියේදී ඔබට තව දුරටත් අවබෝධ වේවි. සූර්‍ය මාසයක් නම් කරන්නේ ඒ වන විට හිරු ගමන් කරමින් සිටින රාශිය මුල්කොට ගෙනයි. උදාහරණයට මේ ඉදිරියට එන අලුත් අවුරුද්ද ගත්තොත් මේෂ රවි (අප්‍රේල් 14 - මැයි 15 ) වෘෂභ රවි ( මැයි 15 - ජූනි 15 ) මිථුන රවි (ජූනි 15 - ජූලි 16 ) කටක රවි ( ජූලි 16 - අගෝස්තු 17 ) සිංහ රවි ( අගෝස්තු 17 - සැප්තැම්බර් 17 ) කන්‍යා රවි ( සැප්තැම්බර් 17 - ඔක්තෝබර් 17 ) තුලා රවි (ඔක්තෝබර් 17 - නොවැම්බර් 16 ) වෘශ්චික රවි ( නොවැම්බර් 16 - දෙසැම්බර් 16 ) ධනු රවි ( 2018 දෙසැම්බර් 16 - 2019 ජනවාරි 14 ) මකර රවි (ජනවාරි 14 - පෙබරවාරි 13 ) කුම්භ රවි ( පෙබරවාරි 13 - මාර්තු 15 ) මීන රවි ( මාර්තු 15 - අප්‍රේල් 14 ) කියන විදිහටයි යෙදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕනෑම අවුරුද්දක සූර්‍ය මාසයක් ආරම්භ වෙන්නේ ඉංග්‍රීසි මාසයක 15 වගේ මැද දවසක කියා මතක තබා ගැනීම ආසන්න වශයෙන් නිවරදියි.
සදුගේ ගමන අනුව එක් දිනයක ගමන් ප්‍රමාණය තිථියක් ලෙස නම් කෙරේ. පෑලවිය /දියවක / තියවක / විසේනිය / සැටවක / සතවක / අටවක / නවවක / දසවක / එකොළොස්වක / දොළොස්වක / තෙලෙස්වක / තුදුස්වක / අමාවක පසලොස්වක කියන විදිහට තමා ඒ තිථි 15 පිළිවෙළට එන්නේ. මේ තිථි පුර සහ අව හැටියට අවස්ථා දෙකක් යෙදෙනව. ඒ අනුව එකම තිථිය අව සහ පුර යනුවෙන් අව තුදුස්වක / පුර තුදුස්වක වගේ දෙවරක් දකින්න ලැබෙනව. මෙන්න මේ කාලයේදී පුර පසලොස්වක / අව අටවක/ අමාවක / පුර අටවක කියලා පෝය හතරක් උදාවෙනවා. ඒ පෝය හතර නිර්මාණය වෙන්නේ හිරුට සාපේක්ෂව සඳු පිහිටන කෝණය අනුවයි. හිරු සහ සඳු එකිනෙකාගෙන් අංශක 180 ක් දුරස්ථ වූ අවස්ථාව තමා පුර පසලොස්වක පෝය උදා වෙන්නේ . හිරු සහ සදු එකිනෙකාගෙන් අංශක 90 ක් අව සහ පුර ලෙස පිහිටන අවස්ථා දෙක අව අටවක සහ පුර අටවක හැටියට නම් කෙරෙනව. එතකොට මේ පෝය හතර කියන්නේ අංශක 90 කෝණ 4ක් බව ඔබට පෙනෙනව . තව විදිහකට කිව්වොත් වෘත්තයක මධ්‍ය ලක්ෂය හරහා සිරස්ව සහ තිරස්ව නිර්මාණය කරන සරල රේඛා දෙකක් එකී වෘත්තයේ පරිධියට තැන් හතරකින් යා වෙනව. අන්න ඒ ස්ථාන හතර අතර යාබද සමීප දුර අංශක 90 ක කෝණයක් හැටියටයි පෙනෙන්නේ. ඒ ස්ථාන හතරින් එකකට සදු ගමන් කරන සෑම අවස්ථාවක්ම පෝයක් හැටියටයි ගන්නේ. ඒ එක් එක් පෝය අතර කාල අන්තරය එක හා සමානයි.
ඔන්න එක් සූර්‍ය මාසයකට පෝය හතරක් නිර්මාණය වන හැටි දැන් පැහැදිලියි නේද ? හිරු සහ සඳු එකම අංශකයේ පිහිටී අවස්ථාවට අමාවක පෝය කියා කියනව. අව අමාවක තිථියෙන් පසුව උදාවන පුර පෑලවිය තිථියේ සිට පුර පසලොස්වක දක්වා වූ කාලය පුරපස හැටියටත් පුර පසලොස්වක සිට අව අමාවක දක්වා කාලය අවපස හැටියටත් දකින්න පුළුවන්. අවපස කාලයේදී සඳුගේ දීප්තිය සහ ප්‍රමාණය කෙමෙන් කෙමෙන් අඩු වෙමින් යනව. පුරපස කාලයේදී සඳුගේ දීප්තිය සහ ප්‍රමාණය කෙමෙන් කෙමෙන් වැඩි වෙමින් යන හැටි පොලොවට පේනව. අර තිථි හෙවත් චන්ද්‍ර දිනවල පෑලවිය සහ විසේනිය කියන අවස්ථා දෙක හැරෙන්න අනෙක් හැම අවස්ථාවක්ම ශබ්ද වෙන්නේ ' වක ' කියන යෙදුමෙන් බව ඔබට පේනවා. මේ 'වක' කියන්නේ සඳුගේ පරාවර්තන ආලෝක ප්‍රමාණයයි. හිරු සඳු සහ පෘථිවිය පිහිටන ජ්‍යාමිතික කෝණය අනුව සඳු වෙතින් පරාවර්තනය වන ආලෝකය පෘථිවිය කේන්ද්‍ර කොට ගෙන කොටස් 15 කට බෙදා වර්ග කළ බව පෙනෙනව. ඒ අනුව සඳුගේ කොටස් 15 ම මහ පොළොවට පෙනෙන ආලෝක පරාවර්තනයේ උපරිම අවස්ථාව පුර පසලොස්වක හැටියටත් සඳුගේ ආලෝක පරාවර්තනයේ කොටස් 15 ම නොපෙනී යන අවස්ථාව අමාවක හැටියත් නම් කළ බව පැහැදිලියි. ඊට අනුරූපීව අනෙක් පුර සහ අව තිථි පිළිබඳවත් ගණනය කිරීම් අකුරටම සිදුවී තියෙනව. මෙය ගණිතමය අරුතකින් කීවොත් 15/15 පුර පසළොස්වක 0/15 අමාවක 8/15 අටවක 10/15 දසවක විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ සඳුගේ කොටස් 15 න් එක් කොටසක්වත් නොපෙනෙන අවස්ථාව 0/15 අමාවක වගේම සඳුගේ කොටස් 15න් 15 ම පෙනෙන අවස්ථාව පුර පසළොස්වක හැටියටත් ගැනෙනවා. මෙය නිශ්චිත චක්‍රයක් ලෙස නිරීක්ෂණය වීම පදනම් කොට ගෙන කාලය මැනීම සහ පුර පසළොස්වක ඇතුළු අනෙක් තිථි කොයි කාලයේ උදාවේද යන්න නිවරදිව පුරෝකතනය කිරීමටත් පුරාණ හෙළ නක්ෂත්‍රවේදීන් සමත් වුණේ මහ පොළොවේ සිට අහස නිරීක්ෂණය කිරීමෙන් මිස බ්‍රහ්මයකු හෝ දෙවියකු හෝ එවැනි දිව්‍යමය ඉසිවර බලයකින් නොවන බවට කිසිම සැකයක් නෑ.
ඔවුන් එදා සිදුකර තිබෙන්නේ ඇසට පෙනෙන ජ්‍යාමිතික කෝණය අනුව ග්‍රහයාගේ දුර සහ වේගය කාලය යන්නට පෙරළා ගැනීමයි. එහි එන 'වක ' ශබ්දයත් අටවක නවවක පසළොස්වක කියන වචනත් ගත්තම අමිශ්‍ර අමු හෙළ බස මිස සංස්කෘත භාෂා ඌරුවක් ඒවායේ නෑ. චන්ද්‍ර මාස නම් කරන දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් ඇසළ කියන වචන 12 ත් ඒ වගේම වෙනවා විතරක් නෙවෙයි ඒ සෑම එකකටම ආවේණික අරුතක් සහ නිරුක්තියක් තියෙනව. අනෙක් කිසිම ජ්යොතිෂ ක්‍රමයක් ඇතුළේ ඒවා අර්ථ දක්වන්නත් බෑ. අස්විද කැති බෙරණ ආදී වශයෙන් එන නැකත් චක්‍රයත් අරුත් ගැන්වෙන්නේ ඊට අදාළ දැනුම් පද්ධතිය තුළමයි. ඔන්න ඔය තමා හෙළ හෝ හෙළනිස්ටික් නක්ෂත්‍ර විද්‍යාවේ පදනම. ඒ වගේම මෙහි සදුගේ ගමන හෝ තිථි හෝ පෝය හෝ ගැන කතා කළත් ඒ සියල්ල රඳා පවතින්නේ හිරු කේන්ද්‍ර කොට ගෙනයි. හිරුගේ ආලෝකය සදු විසින් පරාවර්තනය කිරීම සහ ඒ අනුව නිර්මාණය වන ජ්‍යාමිතික කෝණ අවස්ථා 15 නැතිව සදුගේ ගමන අනුව කාලය බෙදන්න බෑ. හෙළ / හෙළනිස්ටික් නක්ෂත්‍ර විද්‍යාවේ කේන්ද්‍රස්ථානය වෙන්නෙත් සූර්‍යා මිස අන් කිසිවක් නොවෙයි. ටොලමියානු සූත්‍ර සියල්ලම ගොඩ නැගෙන්නෙත් මේ පදනම මතමයි. අන්න ඒ නිසා අප්‍රේල් 14 දිනට යෙදෙන අලුත් අවුරුද්ද ඇත්තෙන්ම සූර්‍ය මංගල්ලයක්මයි.
කාලය මැනීමට හිරු සහ සඳුගේ ගමන යොදා ගන්නා ආකාරය ගැන අපි පහුගිය සතියේ විස්තරාත්මකව කතා කළා ඔබට මතක ඇති. නක්ෂත්‍ර ගණිතය අනුව අලුත් අවුරුද්ද කියන්නේ මොකක්ද එය උදා වෙන්නේ කොහොමද කියා දැන් විමසා බලමු. ?
- මෑත ඉතිහාසයේ කොයි කවුරුත් පුන පුනා කියන හැටියට සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්නේ සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණ අලුත් සූර්‍ය වර්ෂයක් ආරම්භ කිරීම නේ. ඒක තමා අතිශය ජනප්‍රිය විශ්වාසය සහ පිළිගැනීම හැටියට එන්නේ. නමුත් මේ අලුත් අවුරුද්දේ ඇත්ත පදනම රාශි චක්‍රය හෝ සූර්‍යා මීනයෙන් මේෂයට පැමිණීම හෝ නෙවෙයි. ඒක මැත කාලයේ හදාගත්ත කතන්දරයක්. ඔය ජනප්‍රිය විශ්වාසය නිසා ඓතිහාසික සත්‍යයක් සහ ඉතා ප්‍රබල නක්ෂත්‍ර ගණිත සිද්ධාන්තයක් යටපත් කරලයි තියෙන්නේ. ඇත්තටම සිංහල අලුත් අවුරුද්දේ පදනම සහ නිරුක්තිය පවතින්නේ නැකත් චක්‍රය තුළ මිස රාශි චක්‍රය තුළ නෙවෙයි.
නූතන නක්ෂත්‍ර විද්‍යාව (astronomy ) අනුව සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහයන් ගමන් කරන්නේ ඉලිප්සාකාර පථයක බව අපි දන්නව. නමුත් ජ්‍යොතිෂය ( astrology) අනුව ග්‍රහයන් ගමන් ගන්නා අංශක 360 වෘත්ත දෙකක් තිබෙනව. එයින් එකක් නම් මේෂ වෘෂභ මිථුන ආදී වශයෙන් නිතර කතා කෙරෙන කොටස් දොළසකින් යුත් රාශි චක්‍රයයි. අනෙක් චක්‍රය නම් අස්විද කැති බෙරණ ආදී වශයෙන් හඳුන්වන කොටස් 27 කින් සමන්විත නැකත් චක්‍රයයි. රාශි චක්‍රයට ඉහළින් තමා නැකත් චක්‍රය පිහිටන්නේ. මේක දෙක එකිනෙකට ඉහළ සහ පහළ ලෙස පිහිටි සමාන්තර වෘත්ත දෙකක්. සාපේක්ෂව පෘථිවියට වඩාත් සමීපව පිහිටි රාශි චක්‍රය චලනය වෙනව වුණත් ඊට ඉහළින් පිහිටි නැකත් චක්‍රය චලනය වන්නේ අතිශයන්ම මන්දගාමී වේගයකින්. රාශි චක්‍රය නිර්මාණය වී තිබෙන තරු පොකුරුවල චලනය එක්ක සාපේක්ෂව ගත්තම නැකත් චක්‍රය චලනය නොවන ස්ථාවර තරු පොකුරු පංතියක් හැටියටයි පිළිගැනෙන්නේ.
රාශි චක්‍රය මේෂයෙන් ආරම්භ වෙත්දී නැකත් චක්‍රය ආරම්භ වන්නේ අස්විදයෙන්. ටොලමියානු නක්ෂත්‍ර ගණනය කිරීම් අනුව මීට වසර 28. 000 කට පෙර මේෂ රාශියේ අංශක 0 සහ අස්විද නැකතේ අංශක 0 පිහිටා තිබුණේ එකම ලක්ෂයකයි. අදත් සාම්ප්‍රදායක ජ්‍යොතිෂයේදී උගන්වන්නේ සහ පිළි ගැනෙන්නේ රාශි චක්‍රය සහ නැකත් චක්‍රය එකම තැන පිහිටනවාය කියන විශ්වාසයයි. නමුත් මේ වෙත්දී නැකත් චක්‍රයට වඩා අංශක 24 ක් ඉදිරියට රාශි චක්‍රය ගමන් කර තියෙනව. බටහිර ශායන ජ්‍යොතිෂය ඒ අනුව හරියටම (on time) රාශි චක්‍රය සහ ග්‍රහ ගමන ගණනය කරනව. නමුත් අපේ බොහෝ දෙනා භාවිතා කරන නිරයන හෝ වෛදික හින්දු ජ්‍යොතිෂය අනුව රාශිය සහ ග්‍රහමාරු ගණනය කරන්නේ ආසන්න වශයෙන් අංශක 24 ක් පසුපසිනුයි.
අද 2018 මාර්තු 28 දා බටහිර ශායන ක්‍රමය සහ නක්ෂ්ත්‍ර විද්‍යාව අනුව රවි ග්‍රහයා මේෂ රාශියේ අංශක 7 ක් දුර ගමන් කර හිටියත් නිරයන ක්‍රමය අනුව රවි තාමත් ඉන්නේ මීන රාශියේ අංශක 13 යි. එහෙම නම් කොතනක හෝ ලොකු වරදක් තිබෙන බව පේනව නේද . දැන් කෙනෙක් කියනව නං සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්නේ සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම නිසාය කියලා එහෙම නං ඇත්තටම සිංහල අලුත් අවුරුදු උදාව සිදුවෙන්නේ අප්‍රේල් 14 නෙවෙයි මාර්තු 21 නේ. මොකද එදා තමා ඇත්තටම රවි ග්‍රහයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කෙරුවේ.
හින්දු ජ්‍යොතිෂවේදීන් ග්‍රහ ගමන බටහිරට වඩා අංශක 23 ක් විතර පසුපසින් සිට ගණනය කිරීම සාධාරණීකරණය කරන්නේ ක්‍රාන්ති මාර්ග කියන සංකල්පය ඇතුළේ බව පෙනෙනව. අපි එය මොහොතකට පිළිගනිමු. නමුත් ඒ න්‍යාය නැකත් චක්‍රයට යෙදුවොත් ඔවුන්ගේ තර්කය නැවත අවුල් වෙනව. මොකද ස්ථාවර තරු කියා කීවත් නැකත් චක්‍රයත් චලනය වන නිසා. ඒ වෙනස පියවන්නේ කොහොමද ? මෙතන ඇත්ත හේතුව තියෙන්නේ වෙනත් තැනක. ඔය රාශි චක්‍රය තනිකරම බටහිර නිපයුමක්. බැබිලෝනියාව ග්‍රීසිය සහ පර්සියාව හරහා ඇවිත් රාශි චක්‍රය හින්දු ඇදහිලි පද්ධතියට එකතු වුණා. සිංහල අලුත් අවුරුදු උදාව ඒ රාශි චක්‍රයෙන් විග්‍රහ කරන්න බෑ. මොකද සිංහල අලුත් අවුරුද්ද කියන්නේ සම්පූර්ණයෙන්ම නක්ෂ්ත්‍ර ගණිතය මත පදනම් වූ සංසිද්ධියක් මිස ඇදහිල්ලක් හෝ විශ්වාසයක් හෝ නෙවෙයි. ඇත්තටම මේ අවස්ථාව සිංහල අලුත් අවුරුද්ද නෙවෙයි සමස්ත සෞරග්‍රහ මණඩලයේම අලුත් උදාවක් හැටියටයි ගත යුත්තේ.
මේකට අදාළ ජනප්‍රවාදයක් තියෙනව. අපි එතනින් පටන් ගමු. අස්විද නැකතට අයත් තරු පොකුර තාරකා විද්‍යාවෙන් Ariestis කියා හදුන්වනවා. මේක අශ්ව මුහුණක හැඩයට පිහිටන නිසා සිංහලෙන් අස්විද සහ හින්දි බසින් අස්විනි කියලයි කියන්නේ. මෙන්න මේ තරු පොකුර මුදුන් වෙන්නේ ශ්‍රී ලංකාවේ මන්නාරමට ඉහළ අහසේ ය කියලා කියනවා. මේ සිද්ධිය පදනම් කර ගෙන පුරා වෘත්තයක් ගොඩනැගිලත් තියෙනවා.මීට අවුරුදු 30' 000 කට කලින් මනු නමින් රජකෙනෙක් හිටියලු. ඒ නම මුල් කරගෙනලු මන්නාරම හැදුණේ. මේ මනු රජුගේ රාජධානිය තිබුණෙත් අප්‍රේල් 13 දාට හිරු මුදුන් වෙන සහ අස්විද නැකතට අයත් මන්නාරම් භූමි ප්‍රදේශයේ කියලයි ජනප්‍රවාදයේ තියෙන්නේ. මනු රජු සූර්ය වංශිකයෙක්.අන්න ඒ නිසා හැම අවුරුද්දක ම අප්‍රේල් 13-14 සූර්ය මංගල්ලයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ගත්තලු. මේවා පුරාවෘත්ත සහ ජනප්‍රවාද නේ. ඒ නිසා ඒක එතරම් බරට ගන්න බෑ.
නමුත් මේ කතාවට ගැලපෙන නක්ෂ්ත්‍ර සාධකයක් තියෙනව. එයින් මුල්ම කාරණේ වෙන්නේ මුල් කාලීන හෙළ නක්ෂත්‍ර විද්‍යාව පදනම් වුණේ නැකත් 27 මතයි. ඒ කාලයේ රාශි චක්‍රය භාවිතයට ගත්තේ නෑ. සූර්‍යා ප්‍රමුඛව අනෙක් ග්‍රහයන් ගමන් කරන නැකත සහ නැකත් පාදය / ටොලමියන් ක්‍රමයට කීවොත් ( Macro & Micro ) ස්ථූල හා සූක්ෂ්ම ශක්ති කලාපය තමා පලාපල කථනයට යොදා ගත්තේ. එදා විතරක් නෙවෙයි අදටත් හෙටටත් මේ සිද්ධාන්තය ඉතා ප්‍රායෝගිකයි. මොකද වඩා වැදගත් හා තීරණාත්මක වෙන්නේ රාශිය හෝ ග්‍රහයා නෙවෙයි රාශිය සහ ග්‍රහයා පිහිටා සිටින නැකත සහ නැකත් පාදයයි. දැන් බලමු අලුත් අවුරුද්ද කියන්නේ මොකක්ද කියලා. සූර්‍යා නැකත් චක්‍රයේ ආරම්භය වූ අස්විද නැකතේ පළමු අංශකයට පිවිසෙන අවස්ථාව සෞරග්‍රහ මණ්ඩලයේ අලුත් ශක්ති චක්‍රයක ආරම්භය හැටියටයි සැළකෙන්නේ.
අන්න ඒක තමා සූර්‍ය වර්ෂයේ ආරම්භය හෙවත් අලුත් අවුරුද්ද කියා කියන්නේ. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කැලැන්ඩරය අනුව අප්‍රේල් මාසයේ 12-13-14-15 -16 කියන දින අතර තමා ඔය සූර්ය වර්ෂය ආරම්භ වෙන්නේ. නැකත් 27 යි. එක් නැකතක ප්‍රමාණය අංශක 13 යි කලා 20 යි. එක් නැකතකට පාද 4 යි. එක් නැකත් පාදයක් අංශක 3 යි කලා 20 යි. දැන් අපි ඒක මෙහෙම ලියමු. 3. 20 X 4 = 13. 20 යි. / 13.20 X 27 = අංශක 360 යි. ඒ 360 තමා එක් සූර්ය වර්ෂයක් කියා කියන්නේ. මේ අංශක 360 ඇතුළේ නැකත් පාද 108 ක් තිබෙනව. සූර්‍යා මේ එක් එක් නැකත් පාදය පසුකරමින් 108 වැනි පාදය දක්වා පැමිණි විට නැකත් චක්‍රය අවසානයි. මේ නැකත් චක්‍රයේ ආරම්භය අස්විද නැකතේ පළමු පාදය වෙන අතර අවසානය වෙන්නේ රේවතී නැකතේ 4 වැනි පාදයයි. එතකොට අලුත් සූර්‍ය වර්ෂයක් කියන්නේ හිරු රේවතී නැකතේ අග්ගිස්සේ සිට අස්විද නැකතේ මුලට පැමිණීමයි. අන්න ඒ මොහොත තමා අලුත් අවුරුදු උදාව කියා කියන්නේ.
මේ නැකත් 27 නිශ්චිත ජ්‍යාමිතික ගණිතමය රටාවකට තමා අනුපිළිවෙළට එන්නේ. ඒ අනුව ගිනි - ජල - ගිනි - ජල - ගිනි - වායු - ආකාශ - වායු - පඨවි ( F-W-F-W-F-A-Ei-A-Ea) රටාව අනුව එක් පංතියකට නැකත් 9 බැගින් නැකත් පංති 3 ක් පිහිටනව. මේ සෑම නැකත් පංතියක්ම ගිනි ( F) මූල ශක්තියෙන් පටන් ගෙන පඨවි (Ea) මූල ශක්තියෙන් අවසන් වෙනව. සමස්ත නැකත් චක්‍රයේ ආරම්භය ගිනි ( F)මූල ශක්තියට අයත් වන අතර පඨවි (Ea) මූල ශක්තියෙන් එය අවසාන වෙනව. අර මුලින් කිව්ව නැකත් පාද 108 ත් ගිනි ( F) මූල ශක්තියෙන් පටන් ගෙන පඨවි (Ea) මූල ශක්තියෙන් අවසන් වෙනව. ඊට සමාන්තරව එක් නැකතකට අයත් නැකත් පාද 4 ත් ගිනි - පඨවි - වායු - ජල ( F- Ea- A -W) කියන නිශ්චිත රටාව අනුව පංති 27 කට බෙදෙනව. ඒ එක් පංතියක් නක්ෂත්‍ර ශක්ති කලාපයක් හෙවත් නැකතක් හැටියට හඳුන්වනු ලබනව. දැන් බලන්න මේ අවස්ථා තුනේම නිශ්චිත ඒකීය ජ්‍යාමිතික රටාවක් පිහිටනව. ඕනෑම නැකතක ආරම්භය ගිනි සහ අවසානය ජල හැටියටයි පිහිටන්නේ. දැන් ඔබට හොඳට පැහැදිලි ඇති මේ නැකත් චක්‍රයේ ස්ථූල සහ සූක්ෂ්ම කොටස් අතර නිශ්චිත ඒකීය රටාවක් තිබෙන බව. මෙන්න මේ අවස්ථාව ටොලමියානු ජ්‍යොතිෂය අනුව විශ්වයේ ඒකත්වය කියා හදුන්වනු ලබනව.
හැබැයි මේ එකම නැකතක් වත් එහි එන එකම නැකත් පාදයක් වත් ගුණයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් එක හා සමාන නෑ. නැකත් 27 ත් නැකත් පංති 3 ත් නැකත් පාද 108 ත් කියන මේ අවස්ථා තුනේදීම ඒවා එකිනෙකට බාහිරවත් සහ අභ්‍යන්තරවත් වෙනස්. මෙන්න මේ අවස්ථාව විශ්වයේ විවිධත්වය කියා හඳුන්වනු ලබනව. විශ්වයේ ඒකත්වය සහ විවිධත්වය පිළිබඳ නියාමය වෙනම කතා කළ යුතු මාතෘකාවක්. මෙතනදී එය ජායාමාත්‍රයෙන් සඳහන් කෙළේ නැකත් චක්‍රය තුළ ඒ නියාමය පවතින හැටි පෙන්වා දීමට පමණයි. අන්න ඒ ඒකත්වය සහ විවිධත්වය මහ පොළොවේ ජීවත්වන අපට දැනෙන්නේ හිරු සහ අනෙක් ග්‍රහයන් ඔය නැකත් චක්‍රය තුළින් ගමන් කරන ආකාරය අනුවයි. හැම දිනකම හිරු උදාවෙනව. ඒ තමා (unitary) ඒකත්වය. හැබැයි ඒ හැම දවසක්ම එකකට එකක් වෙනස් විදිහටයි අපට දැනෙන්නේ . ඒ තමා (diversity) විවිධත්වය.
හිරු සඳු රාහු කේතු කුජ සිකුරු සෙනසුරු යුරේනස් ගුරු නෙප්චූන් බුධ ප්ලුටෝ කියන මේ ග්‍රහයන් දොළොස් දෙනාම අර මුලින් පෙන්වා දුන් ස්ථූල සහ ක්ෂුද්‍ර සූක්ෂම ශක්ති ඒකක ඔස්සේ තමා ගමන් ගන්නේ. ඒ ශක්ති ඒකක සෑම එකක්ම එකිනෙකට වෙනස් විවිධ ගුණ ලක්ෂණ පෙන්නුම් කරන නිසා අපේ ලෝකය අනන්ත අප්‍රමාණ විවිධත්වයෙන් යුක්තයි. ඊට සමාන්තරව කාලයත් විවිධාකාරයි. දෙසැම්බරයට වඩා අගෝස්තුව වෙනස් . උදේ පාන්දරට වඩා මධ්‍යාහ්නය වෙනස්. නැගෙනහිරින් මතුවන හිරු රන්වන් පාටයි හැබැයි බටහිරින් නොපෙනී යන හිරු රතු පාටයි. උදේ දැක්ක හිරු නෙවෙයි හවසට දකින්නේ. එහෙම වෙන්නේ ඇයි ? ඕනෑම බටහිර විද්‍යාඥයකුගෙන් ඒකට හේතුව අහලා මටත් කියන්න. මේ ගැන තියෙන ටොලමියානු සිද්ධාන්තයක් කියන්නම්. ඕනෑම ග්‍රහයකුගේ ස්වරූපය සහ බලය ඔහු පිහිටන දිසාව / ස්ථානය අනුව වෙනස් වෙනවා. ඒක නියමයක්. එකම ග්‍රහයා පිහිටන දිසාව සහ ස්ථානය අනුව ඔහු විවිධත්වයට ලක්වෙනවා. මෙන්න මේකයි කතාව.
ගතවෙන හැම තත්පරයක්ම එකිනෙකට වෙනස්. විශ්වයේ ඕනෑම ලක්ෂ්‍ය දෙකක් එකිනෙකට වෙනස්. අන්න ඒකට අපි කියනව විවිධත්වය කියලා. හැබැයි මේ හැම තැනකම හැම මොහොතකම පවතින්නේ එකම ශක්ති සංයෝගයක් එකම නියාමයක්.. කොහොම ව්ච්ජේදනය කළත් අර මුලින් කිව්ව පංච විධ ශක්තියට එහා දෙයක් නෑ. මේකට අපි කියනව ඒකත්වය කියලා. ඒ කියන්නේ ඒකත්වය තුළ විවිධත්වයත් - විවිධත්වය තුළ ඒකත්වයත් පවතිනව. අලුත් අවුරුද්ද කියන්නේ හිරු අර අංශක 360 ශක්ති චක්‍රයේ අලුත් ගමනක් ආරම්භ කිරීමයි. අංශක 0 සිට 360 දක්වා සුපුරුදු ශක්ති ඒකක තුළින් ගමන් කළත් 2017 ට වඩා 2018 වෙනස් වීම නියතයක්. මෙන්න මේක තමා අලුත් අවුරුද්දේ ඇත්ත පදනම.
ඒ වගේම මේ අවස්ථාව පුරාණ හෙළයා උත්සවයක් හැටියට සැමරුවේ තවත් බලවත් සංකල්පයක් ඇතුළේ බව පෙනෙනව. හිරු හෙවත් රවි ග්‍රහයා තමා විශ්වීය ප්‍රඥාව සංකේතවත් කරන්නේ. දැන් මේ හිරු තමාගේ උපරිම බලය විහිදුවන්නේ කේතු ග්‍රහයාට අයත් අස්විද නැකතේ 3 වැනි පාදයේයි. දැන් අපි ඒක මෙහෙම ලියමු. රවි තේජෝ (F ) + අස්විද තේජෝ (F ) + අස්විද 3 වායු (A) . තේජෝ බලයෙන් යුත් රවි ග්‍රහයා අස්විද නම් තේජෝ නැකතේදී තම තේජෝ ගිනි බලය තවත් වැඩි කර ගන්නව. මේ නැකතේ 3 පාදය වායු . එතකොට ගිනි සහ වායු ප්‍රතිපෝෂකයි. තේජෝ බලයේ පැවැත්මට සහ එහි වර්ධනයට වායු අත්‍යවශ්‍යයි. අන්න අස්විද 3 පාදයේදී ඒ සංයෝගය උපරිමයෙන් හට ගන්න නිසා එතනදී තමා නැකත් චක්‍රය තුළ රවි ග්‍රහයා තම උපරිම බලය විහිදුවන අවස්ථාව වෙන්නේ. හින්දු ජ්‍යොතිෂවේදීන් කියනව මේෂ රාශියේ අංශක 10 දි රවි ග්‍රහයා උච්ච වෙනවාය කියලා. නමුත් එහෙම වෙන්නේ ඇයි කොහොමද කියලා ඇහුවොත් දෙන්න උත්තරයක් වත් පෙන්වන්න මූලාශ්‍රයක් වත් ඔවුන් ළඟ නෑ.
ග්‍රහයා සහ රාශියට වඩා නැකත සහ නැකත් පාදය තමා මෙහි පදනම වෙන්නේ. රාශි චක්‍රය සහ නැකත් චක්‍රය එකම අංශකයක සමාන්තරව පිහිටනවාය කියා උපකල්පනය කළොත් ඔය රවි ග්‍රහයා උච්චවන අස්විද 3 පාදය සහ මේෂ අංශක 10 පිහිටන්නේ එකම ලක්ෂයකයි. නමුත් අද රාශි චක්‍රය සහ නැකත් චක්‍රය අතර පරතරය අංශක 24 යි. ඉතිං අර පරණ කල්පිතය ඇතුළේ අද ඇත්තටම රවි ග්‍රහයා උච්ච වන්නේ කුමන කාලයේද කියා කියන්න හින්දු ජ්‍යොතිෂයට හැකියාවක් නෑ. එහෙම තියෙත්දි මේ අය කොහොමද අලුත් අවුරුද්දට නැකත් හදන්නේ? .
හෙළ අලුත් අවුරුද්දේ තේරුම මොකක්ද ? විශ්වීය ප්‍රඥාව සංකේතවත් කරන රවි ග්‍රහයා තමන්ගේ උච්ච භවන වූ මෝක්ෂකාරක කේතුට අයත් අස්විද නැකතට තමා අප්‍රේල් 14-15 මේ එන්නේ. ඒක තමා අලුත් අවුරුදු උදාවේ සැගවී තිබෙන අරුත. ග්‍රහලොව රජු වන රවි ග්‍රහයා අස්විද නැකතේ උච්ච වන අතර එය අයත් වන්නේ මෝක්ෂකාරක කේතු ග්‍රහයාටය. රවිගෙන් ප්‍රඥාවත් කේතුගෙන් මෝක්ෂයත් සංකේතවත් වෙනව.. ආදි හෙළයන්ගේ අලුත් අවුරුදු සැමරුමේ කූට ප්‍රාප්තිය ඒකයි. අලුත් අවුරුද්ද කියන්නේ තනිකරම නැකත් කෙළියක්. ඒක ඇතුළේ ලොකු බර සංකල්පීය තේරුමක් තියෙනව.
ඉහත සඳහන් කළ පරිදි හෙළ අලුත් අවුරුද්ද කියන්නේ නැකත් කෙළියක් නේ. ඒ නැකත් කෙළිය අපට විතරක් නෙවෙයි සමස්ත සෞරග්‍රහ මණ්ඩලයටම අලුත් උදාවක් අලුත් අවුරුද්දක් වෙන බවත් පැහැදිලි කළා. සූර්‍යා කේන්ද්‍ර කොට ගෙන ලෝකයේ බොහෝ ජාතීන් විවිධාකාර ඇදහිලි වත් පිළිවෙත් සහ සමරු උත්සව සැණකෙළි අනාදිමත් කාලයක සිට මේ දක්වා පවත්වා ගෙන එනව. ඒ අතරින් හෙළ අලුත් අවුරුද්ද වෙනස් මගකයි යන්නේ. නක්ෂ්ත්‍ර ගණිත නියාමයක් මත සූර්‍යා මුල්කොට ගත් සංස්කෘතික සමරුවක් අද ලෝකයේ පවතිනව නම් ඒ හෙළ අලුත් අවුරුද්ද විතරයි. මේක සිංහල දෙමළ හෝ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියා කීවත් හින්දු දෙමළ සංස්කෘතිය ඔය දවසට සමරන්නේ හෙළ අලුත් අවුරුද්දේ නක්ෂ්ත්‍ර පදනමට අනුකූල උත්සවයක් නෙවෙයි. මේ දෙක පැහැදිලිවම නිරුක්තියෙන් සහ අර්ථයෙන් එකිනෙකට වෙනස්. නමුත් ඒ දෙකම එකම දවසට යෙදිලා තිබීම නිසා බොහෝ දෙනා මේ දෙකම එකක් හැටියටයි දකින්නේ. හෙළ සහ සිංහල කියන දෙක අතරත් ලොකු වෙනසක් තියෙනව. දැනට ඒ වෙනස මෙහෙම හඳුනා ගමු. හෙළ හෝ හෙළනිස් කියන්නේ ජාතියක් හෝ ජන වර්ගයක් හෝ නෙවෙයි. ජාතිය සහ ජන වර්ගය කියන්නේ ලෝක ඉතිහාසයට පසු කාලයක එකතු වූ දෘෂ්ටිවාදයක්. නමුත් හෙළ කියන්නේ පුරාණ ලෝකයට අයත් විශිෂ්ට සුවිශේෂ දැනුම් පද්ධතියක්. වාරි තාක්ෂණය කෘෂි කර්මාන්තය වාස්තු සහ ඉදිකිරීම් තාක්ෂණය වෙදකම රසායන විද්‍යාව භෞතික විද්‍යාව ගණිතය නක්ෂ්ත්‍ර විද්‍යාව සහ ජ්‍යොතිෂය වගේ පුළුල් පරාශයක විහිදුණු දැනුම් පද්ධතියක් ඊට අයත්වෙනව.එය සමාන්තරව ඉතා දියුණු මට්ටමකින් ක්‍රියාත්මක වූ ප්‍රදේශ ගණනාවක් දකින්න පුළුවන්. ඒ අතර හෙළදිව සහ ග්‍රීසිය කැපී පෙනෙනව. ගණිතය තර්කනය සහ තාක්ෂණය මේ දැනුම් පද්ධතියේ මුල්ගල් තුනයි. නිරීක්ෂණය පරීක්ෂණය සහ නිගමනය මිස එහි කිසිදු ආගමික හෝ ඇදහිලි භක්ති විශ්වාසයක් නෑ. හේතුඵල සම්බන්ධයක් මිස බ්‍රහ්මයෙක් හෝ මහා මැවුම්කාරයකු මේ දැනුම් පද්ධතිය තුළ නෑ. හෙළයන් ඉතා ශූර ලෙස සොබාදහමේ දයලෙක්තිකය ප්‍රායෝගිකව යොදා ගත්තා. අද අපි මේ සමරන්නට යන අලුත් අවුරුද්දේ නිරුක්තිය එන්නේත් අර මුලින් කී හෙළ දැනුම් පද්ධතිය තුළින්මයි. මීට පෙර ලිපිවල විස්තර කළ හැටියට සූර්‍යා අලුත් ශක්ති චක්‍රයක් ආරම්භ කිරීම නක්ෂත්‍ර ගණිතය ඇසුරින් නිගමනය කිරීම තමා ජ්‍යොතිෂය අනුව අලුත් අවුරුද්ද කියා කියන්නේ. ඒ කටයුත්ත එතැනින් හමාරයි. මේ සංසිද්ධිය මුල් කරගෙන සංස්කෘතිකමය සිරිත් විරිත් සහ සැමරුම් උත්සව පටන් ගත්තේ පසුකාලයකයි. ඒ අනුව අලුත් අවුරුදු සැමරුම කොටස් දෙකකට බෙදෙනව. එයින් පළමු සහ නක්ෂත්‍ර විද්‍යාවට අනුකූල එකම අවස්ථාව වෙන්නේ සූර්‍යා අස්විද නක්ෂත්‍රයේ පළමු අංශකය ආරම්භ කරන මොහොතයි. දෙවැනි සහ සංස්කෘතිකමය අවස්ථාව වන්නේ අර සූර්‍ය ගමන නිමිති කොට ගෙන පවත්වන සිරිත් විරිත් බකමහ උළෙල ආදී අවස්ථාවයි. මෙන්න මේ සංස්කෘතිකමය සිරිත් විරිත්වලටත් සුබ මුහුර්ථ යොදා ගන්නා නමුත් ඒ කිසිවක් අර මුලින් කී නක්ෂ්ත්‍රමය සංසිද්ධියට කිසිම බලපෑමක් ඇති කරන්නේ නෑ. මේ දෙකේ වෙනස අපි ප්‍රායෝගික උදාහරණයකින් පැහැදිලි කර ගමු.
මෙරට භාවිතා කරන නිරයන පංචාංග ලිත් අනුව ' අප්‍රේල් මස 14 වෙනි සෙනසුරාදා දින පූර්ව භාග 08.13 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි' කියා සඳහන් වෙනව. මේ ලිත් ගණිතය නිවරදි යැයි උපකල්පනය කළොත් ඔන්න අප්‍රේල් 14 උදේ 08.13 ට සූර්‍යා අස්විද නැකතේ පළමු පාදයට පිවිසෙනව. ඒ තමා නක්ෂත්‍රමය අලුත් අවුරුද්ද . මේ අවුරුදු උදාව සිදු වෙන්නේ අයනය හෙවත් සූර්‍යාගේ ගමන අනුව පවතින විශ්ව නියාමය පදනම් කරගෙනයි. ඒ මොහොත සොබාදහමේ නියමයක් මිස මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුවන දෙයක් නෙවෙයි. සැබවින්ම අලුත් අවුරුදු උදාව කියන්නේ ඒකයි. අන්න ඒ වේලාවට පවතින ග්‍රහචාරය අනුව සමස්ත වර්ෂය පිළිබදව ජ්‍යොතිෂ පුරෝකතන කරන්න පුළුවන්. ඒ සිද්ධියෙන් පසුව අපේ මිනිස්සු ආහාර පිසීම / වැඩ ඇල්ලීම / අනුභවය / හිසතෙල් ගෑම / ආදී වශයෙන් සිරිත් විරිත් යොදාගෙන අන්න ඒවටත් සුබ මුහුර්ත හදා ගන්නව. මේ දෙවැනි අවස්ථාව එහෙම පිටින්ම මිනිහා විසින් තමන්ට වුවමනා හැටියට ගදා ගත්ත සංස්කෘතිකමය දේවල් මිස අර අලුත් අවුරුදු උදාවේ නක්ෂත්‍රමය පදනම සමග ඇති වෛෂයික හෝ වාස්තවික නියමයක් අනුව සිදුකරන දෙයක් නෙවෙයි. තව විදිහකට කීවොත් නක්ෂත්‍රමය වශයෙන් සිදුවන අලුත් අවුරුදු උදාව සහ මේ නැකතට ලිපි ගිනි දැල්වීම වගේ සංස්කෘතිකමය සිරිත් විරිත් අතර මෙලෝ සම්බන්ධයක් නෑ. නැකතට ලිප ගිනි දැල්වූවත් එකයි එහෙම නොකළත් එකයි. මේ දෙකෙන් මොකක් වුණත් අර අලුත් අවුරුදු උදාව අවස්ථාවේ පැවති ග්‍රහචාරයට පිටින් කිසිම දෙයක් සිදුවෙන්නෙත් නෑ ඒ අලුත් අවුරුදු උදාවේ ග්‍රහචාරය වෙනස් කරන්නත් බෑ. නමුත් අපේ බොහෝ දෙනෙක් අල්ල ගන්නෙම වලිගයෙන් නේ. ඔන්න ඉතිං කෑ අහනව අලුත් අවුරුදු ලිප ගිනි දැල්වීම අසුබයි දෝසයි කියලා. මේ මොන මළ කෝලමක්ද ? අපේ මිනිස්සූ අනෙක් දවස්වල ලිප ගිනි දල්වන්නේ නැකත් සුබ මුහුර්ත බලලද ..? නෑනේ. එතකොට ඒ හැම දවසක්ම රටට අසුබද ? එහෙම නැත්තං සුබද ? මෙන්න මේ අමු ගොං මිත්‍යාව නිසා හෙළයන්ගේ අති විශිෂ්ට අලුත් අවුරුද්ද වගේම ජ්‍යොතිෂයත් ලෝක විහිලුවක් වෙලා හෑල්ලු වෙනව. මට මතකයි එක වතාවක අලුත් අවුරුද්ද දවසේ කොලොන්නාවේ කුණු කන්ද නාය ගියා . මෙන්න කට්ටියක් කියනව අලුත් අවුරුද්දේ ලිප ගිනි දල්වපු නැකත දෝෂ නිසාලු කුණු කන්ද නාය ගියේ කියලා. වඳ පීදුණු බමුණු මනස්ගාතවලින් හෙළ අලුත් අවුරුද්ද විග්‍රහ කරන්න තියා ඒක තේරුම් ගන්නවත් බෑ. ඒ වගේම හෙළ අලුත් අවුරුද්දට නැකත් හදන්නත් ඔය බමුණු පඬිවරුන්ට බෑ. මේක හරියට රාමායනය අරගෙන භූගෝලය උගන්වනව වගේ ගොං වැඩක්. අන්න ඒ ගොංකම්වලින් මේ හෙළ අලුත් අවුරුද්දේ වටිනාකම විනාශ කරන්න එපා කියලයි කිව යුත්තේ.
අති පුරාණ හෙළ අලුත් අවුරුදු උදාව එක්ක බැඳුණු අති විශිෂ්ට සහ උතුම් සංස්කෘතිකමය හර පද්ධතියක් තියෙනව. ඒ අතිනුත් අපි ලෝකයේ කාටවත් දෙවැනි නෑ. පුරාණ හෙළ සිරිතට අලුත් අවුරුද්දට කැවුම් හදනකොට ඇහැට පේන නොපෙනෙන කෝදුරුවන්ටත් කැවුම් වෙන් කරන සිරිතක් තිබුණා. එයින් අපි අනාදිමත් කාලයක සිට පෙන්නුම් කෙළේ සොබාදහම සහ අපේ ජීවන රටාව අතර තිබුණු ශ්‍රේෂ්ඨ සබුද්ධික සම්බන්ධයේ මහිමයයි. සාමූහිකත්වය සහ බෙදා හදා ගැනීම ඒ අතරින් කැපී පෙනෙනව. අලුත් අවුරුදු උදාවෙන් පසුව එන සිරිත් විරිත් මගින් කියා පාන්නෙත් අපේ සභ්‍යත්වයේ විශිෂ්ටත්වයමයි. හැබැයි මේවා අතරට බමුණු මනස්ගාත එකතු වෙන්න ගත්තම අර අව්‍යාජ ප්‍රබල හරය දියාරු වුණා. අද ඔය අවුරුදු නැකත් නිසා මෝඩ කොලොප්පං වාද විවාද ගහ මර බැණ අඩ ගැහිලි සහ නොයෙක් කල්ලි කණ්ඩායම් එකිනෙකාට එරෙහිව මඩ අවලාද නගන්නෙත් වැඩකට නැති බමුණු මනස්ගාත නිසාමයි. කෙනෙක් කැමති නම් නැකතට සුබ මොහොතට ලිප ගිනි දල්වපුවාවේ. කෙනෙක් තමන්ට රිසි ලෙස ලිප ගිනි දල්වපුවාවේ ඔය දෙකම එකයි. ඔතන ජ්‍යොතිෂය අනුව කිසිම සම්බන්ධයක්වත් බලපෑමක්වත් නෑ.
වි.ජ.මු. ලොකු බණ්ඩාර ඇමැතිතුමා දේශපාලන චරිතයකට වඩා අපේ ගෞරවයට පාත්‍ර වෙන්නේ ඔහු හෙළ සංස්කෘතිය භාෂා සාහිත්‍ය කලා ආදිය පිළිබද ප්‍රශංසනීය ප්‍රාමාණික උගතකු වූ නිසයි. දේශීය වෙදකම සහ ජ්‍යොතිෂයට ඔහුගෙන් අමිල මෙහෙවරක් සේවයක් සිදුවුණා. ඔය රාජ්‍ය නැකත් කමිටුව හදලා ජ්‍යොතිෂයට රජයේ පිළිගැනීම සහ ගෞරවය ලබා දීලා සමස්ත ලක්වාසීන්ටම එකම මොහොතක එකට එක්ව අලුත් අවුරුදු සිරිත් විරිත් පවත්වන්න ඔහු ක්‍රමයක් හැදුවා. එය හරය අතින් ගෞරවනීය වුණත් ප්‍රායෝගිකව අද ඒ නැකත් කමිටුව නොයෙක් කල්ලි කණ්ඩායම්වලට බෙදිලා රට නෙවෙයි ලෝකෙම හිනස්සනව. ඒකේ පණ යන විහිලුව නම් ඉන්දියාවේ පරණ හණමිටි පොත් පෙරළගෙන ඒ කියමන් අනුව ලංකාවේ හෙළයන්ගේ අලුත් අවුරුද්දට නැකත් හදලා ඒ වෙනුවෙන් මරා ගන්න හදනව. ඉන්දියන් පොත් පෙරලුවට ඉන්දියාවේ මේ අලුත් අවුරුද්ද සමරන්නේ නෑ. ඔවුන්ගේ ජ්‍යොතිෂය අනුව හෙළ අලුත් අවුරුද්ද මොකක්ද කියලා තේරුම් කරන්නවත් බෑ. මෙහෙම අලුත් අවුරුදු උදාවක් හින්දු බමුණු ජ්‍යොතිෂ පොත්වල නෑ. මේක හරියට සද්ධර්ම රත්නාවලියේ එන උපමාවකින් කිව්වොත් 'පය බර වායට පිටිකර බෙහෙත් බදින්නා වාගේ .'' ගොං කමක් .මෙහෙම කියන කොට බමුණු අවතාර නැගිටලා එයි. අන්න එතකොට ලෝකෙටම පෙනෙයි ඔවුන් ඇත්තටම මැරිලා නේද ඉඳල තියෙන්නේ කියලා.
හෙළ අලුත් අවුරුද්ද සහ හින්දු නැකත් හැදිල්ල අතරේ මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ කියලා ඇහුවොත් මෙන්න මේ ජනකවියෙන් ඒක තේරුම් ගන්න පුළුවන්.
' දුන්න දුනු ගමුවේ - ඊ තල කිතල ගමුවේ - රාල මීගොමුවේ - මුවෙක් හැඩුවයි සපරගමුවේ '
අපි ලබන සතියේ අලුත් අවුරුදු උදාව එක් එක් ජන්මීන්ට බලපාන පලාපල විස්තරයට යමු.
-කේ.සී.ජේ.රත්නායක
0 Comments