නමක් නොතිබූ යුගයේ එයාට තිබුණේ පුදුම නිදහසකි. මව්පියන් ඥාතීන් සමග නිල් තණකොළ බුදින්නටත් කැලේ ඇලේ දොලේ ගඟෙ වැවේ නටන්නත් කාගෙන්වත් තහනමක් තිබුණේ නැත.
මව්පියන් සමග සිටිය යුතුම කාලයේ එයාට හිරකාරයෙකු වෙන්නට සිදු විය. 1989 වෙද්දි මේ බබාගේ වයස අවුරුදු පහක් විය. අවුරුදු පහෙදි තමා ජීවත්වූ පරිසරයෙන් සමුගන්නට මේ ළාබාලයාට සිදු විය. එදා සිට මේ බබාට නමක් තැබිණි. ඒ කළණය. කළණ දෙවිනුවර දේවාලයට පූජා කරනු ලැබුවේ එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. රටේ පවතින දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයෙන් රට මුදවා ජනාධිපති තනතුරේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට තමන්ට පිහිට වන්නැයි ඉල්ලා රණසිංහ ප්‍රේමදාස මහතා කළණ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට පූජා කළේ 1989 නොවැම්බර් මස 05 වෙනිදාය. එදා සිට කළණගේ ඇසුරු කිරීම් මෙන්ම ආහාර වට්ටෝරුවද සහමුලින්ම වෙනස් වූයේය. යදමින් බැන්ද දෙපාවල ලේ ගලද්දි කළණ ඇවිද යාමට තැත් කළේය. පෙරහරක යාම හැර වෙනත් ගමන් බිමන් තහනම් විය. කාලය ගෙවී ගියේය.
දැන් කළණගේ උස අඩි 9 1/2 කි. වයස අවුරුදු තිස් හතරකි. කාලය ගලා යාමේ වේගයට සමානුපාතිකව නම් දැන් කළණගේ තරුණ වයසය. සාමාන්‍ය මිනිසෙකුගේ නම් විවාහ වන වයසත් ඉක්ම ගොසින්ය. එනමුදු කළණට ලිංගික ජීවිතයක් පසුගිය වසර 34ටම ලැබුණේ නැත. මැයි සිට සැප්තැම්බර් දක්වා කළණ රෞද්‍රය. ඔහුට ඇති ආතතිය මුදා හරින්නේ එසමයන්හිදීය. මිනිස්සු නම් කියන්නේ මඳ කිපෙනවා කියාය. දුරින් හිඳ කිසිවෙකු ළඟට විසි කරන දෙයක් හැර ඒ කාලය තුළ කළණට නිසි පරිදි ආහාර ලැබෙනවාද යන්න සැක සහිතය.
එහෙත් ඒ පීඩාකාරී දවස් ගෙවී ගිය පසුව කළණට ටිකක් ඇවිදින්නට පොකුණක නාන්නට අවසර නොතිබුණා නොවේ. මේ කාලය තුළ නිලමේවරු මාරු වුණත් හැමෝගෙම අතින් දෙන කෙසෙල් ගෙඩි මිස නිදහස වෙනුවෙන් කාලයක් වෙන්කර ගැනීමට කළණට අවස්ථාව දුන්නේ නැත. පරම්පරාවේ පුරුද්ද අනුව නම් කළණලා දවසකට සැතපුම් 40 ක 50 ක දුරක් ඇවිදින්නේය. ඒ යන මඟ දෙපස ඇති ගහ වැල සියල්ලේ කොටසක් ඔවුන්ගේ ආහාර වට්ටෝරුව රසවත් කළේය. වෙනස් කළේය.
එහෙත් අද කළණට වැඩිපුරම ලැබෙන්නේ පොල් අතුය. ඉඳහිට කිතුල් කොටයක් පලාගෙන කන්නට හැකිය. නරකම දේ එය නොවේ. 2015 ජුනි මාසයට පෙර කළණට ටිකක් ඇවිදීමට ගඟක නෑමට අවස්ථාව තිබිණි. අඩුම තරමේ තමන් ගැට ගසා සිටින ගහෙන් වෙනත් ගස් හෙවනකට මාරු වන්නට අවස්ථාව තිබිණි. දැන් ඒ කිසිවක් නැත. 2015 ජුනි මාසයේ සිට අද 2018 අවුරුද්දේ මාර්තු මාසය වනතුරුම කළණ දම්වැල් දැමූ තැනමය. බහිස්‍රාවිය ක්‍රියාවලිය සිදුවන්නේත් එතැනය. දම්වැල්වල මල බැඳිලාය. පුංචි කඳු ගැටයක් සේ අලි බෙටි ගොඩනැගුණු පසුව ඒවා ඉවත් කිරීම හැරුණු කොට කළණගේ දම්වැල් ලිහෙන්නේ නැත. කළණ රෝගියෙකු නොවේ. කළණ මඳ කිපෙන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වාය. ඒ හැරුණුකොට සෙසු දවස් සාමාන්‍ය පරිදිය. එහෙත් දෙපැත්තට වැනීම හැර වෙනත් හිමිකමක් නැත.
අවුරුදු දෙකහමාරක් එකම තැන එකම ගසක් යට දෙපාවලට විලංගුලාගෙන සිටිය හැක්කේ කවර නම් මුණිවරයෙකුටද? අහෝ කළණ අවුරුදු 2 1/2ක් එකම තැනය. පිපාසය සංසිඳුවා ගැනීමටත් නෑමටත් කළණ දෙසට පයිප්පයක් සවිකර ඇත. කරාමය අරින්නේ දවසකට එක පාරකි. පැයක් ඇතුළත කළණ වතුරින් කරගත යුතු සියල්ලම කරගත යුතුය. පසුගිය අවුරුදු තුනටම කළණ ඇවිද ගියේ කිලෝමීටර් කිහිපයක් පමණි. ඒ පෙරහර දිනවලය. පසුගිය පෙරහර සමය කළණට අහිමි වූයේ එදවස මඳ කිපී සිටි නිසාය. අවුරුදු දෙක හමාරක් එකම තැනක එකම විදියටය. මේ ආතතියෙන් කළණ හොඳටම හෙම්බත් වී ඇති බව කළණ වෙත නෙත් යොමන ඕනෑම අයෙකුට පෙනේ.
වසර දෙක හමාරක් පුරා කළණ අසලින් ගමන් යන එන දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ මුහුණු හැර කළණ දකින්නේ දේවාලය සහ පන්සලය. ඉදිරියෙන් ඇති පොලිස් මුරපොළය. වසර දෙකහමාරක් තිස්සේ ඔහු එකම තැනක ගස් ලා සිටින වග මාද නිරීක්ෂණය කළෙමි. දේවාලයේ කපු මහත්තුරුන්ද ගම්වාසීන් ද ඒ බව තහවුරු කරන්නේය. මාතර හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙකුට දෙවිනුවරදී කළණ ඇස ගැටෙන්නේය. ඔහු 2015 වසරේ සිට තවම එතැනය. අඩුම තරමේ මාසයකට වතාවක් කළණට ඇවිද යාමට, ඇළක දොළක නෑමට අවස්ථාව හිමි විය යුතුය. කළණ පරීක්ෂා කිරීමේ වගකීම ඇති සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවද එම වගකීම අත්හැරලාය. කළණගේ අවනඩුව දෙවියන්ට ඇසුණු පෙනුණු බවක් ද පෙනෙන්නට නැත.
– දයා නෙත්තසිංහ
-Lanka news web
The post අව්වට වේලෙනවා, වැස්සට තෙමෙනවා – ‘කළණ’ අවුරුදු දෙකහමාරක් එකම තැන ගැට ගහලා appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments