ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් පළාත් ‘සුපිරි හතර’ සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක මෙහෙයවූ ගාල්ල කණ්ඩායම ඊයේ සමත් විය.
තරගාවලියේ අවසන් දිනයට ඊයේ නිමාවූ ගාල්ල සහ මහනුවර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුවද පළමු ඉනිමේ ජය හිමිකර ගනිමින් ලබාගත් ප්‍රසාද ලකුණු (38.03) මත ශූරතාව ගාල්ලට හිමි විය.
මේ තරගාවලියේ විසඳුමකින් තොරව නිමාවූ එකම තරගය ලෙස ඊයේ නිමාවූ කොළඹ කණ්ඩායම සමග තරගයෙන් කඩුලු 5ක ජය හිමිකර ගත් දඹුල්ල (35.55) ක්‍රීඩකයන්ට අනු ශූරතාවෙන් සෑහීමට සිදුවූහ.
මහනුවර-ගාල්ල අතර තරගයේ දී ගාල්ල පිල පළමු ඉනිමට ලකුණු 425ක් රැස්කළ අතර මහනුවරට ලබාගත හැකිවූයේ ලකුණු 185ක් පමණි. කඩුලු 9කට ලකුණු 306ක් ලබාසිටියදී ගාල්ල පිල දෙවැනි ඉනිම අත්හිටවූයේ මහනුවරට ලකුණු 547ක ඉලක්කයක් ලබාදෙමිනි. එම ඉලක්කය හඹාගිය මහනුවර ක්‍රීඩකයේ තරගය නතර කරනවිට කඩුලු 3ක් දැවී ලකුණු 363ක් රැස්කර තිබිණි. විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිය පළමු පෙළ තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට 19 හැවිරිදි පැතුම් නිශ්ශංක සමත් විය. ඔහු මහනුවර දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 188ක් රැස් කළේ පන්දු 226කදී හතරේ පහර 20ක් හා හයේ පහර 3ක් සමගිනි. එය මෙවර තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය.
තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ගාල්ල කණ්ඩායමේ රොෂේන් සිල්වා පළමු ඉනිමේදී ලකුණු 168ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 89ක් රැස්කළ අතර උපුල් තරංග ද ශතකයක් රැස් කළේය. ගාල්ල පළමු ඉනිමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් හා චරිත් අසලංක කඩුලු 3ක් දවාගත් අතර දෙවැනි ඉනිමේදී චාමික කරුණාරත්න කඩුලු 5ක් බිඳ දැම්මේය.
එම තරගයේදී මහනුවර පළමු ඉනිමේදී නිෂාන් පීරිස් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.
දෙවැනි ඉනිමේදී පැතුම් නිශ්ශංක අගනා සහයක් ලබාදුන් චරිත් අසලංක ලකුණු 62ක් හා නිරෝෂ්න දික්වැල්ල නොදැවී ලකුණු 56ක් රැස් කිරීමට සමත් විය.
මේ අතර කොළඹ-දඹුල්ල තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ පිල පළමු ඉනිමට ලකුණු 210ක් රැස්කළ අතර පිළිතුරු ලෙස දඹුල්ල පිල පළමු ඉනිමට ලකුණු 359ක් රැස් කළේය. ලකුණු 159ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරැඹු කොළඹ පිල ලකුණු 351ක් රැස්කළේ දඹුල්ලට ලකුණු 203ක ඉලක්කයක් ලබාදෙමිනි. ජයග්‍රාහී දඹුල්ල පිල වෙනුවෙන් මනෝජ් සරත්චන්ද්‍ර පළමු ඉනිමේ දී ශතකයක් රැස්කළ අතර කුසල් ජනිත් පෙරේරා (85) පළමු ඉනිමේදීද, කුසල් මෙන්ඩිස් (62) සහ සචිත්‍ර සේරසිංහ (55) දෙවැනි ඉනිමේදීද අර්ධ ශතක රැස් කළ අතර ළහිරු මදුසංක සහ ජෙෆ්රි වැන්ඩසේ පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කොළඹ පිල වෙනුවෙන් ලසිත් අබේරත්නපළමු ඉනිමේදීද, ෂෙහාන් ජයසූරිය සහ ළහිරු තිරිමාන්න දෙවැනි ඉනිමේදීද අර්ධ ශතක රැස්කළ අතර චතුරංග ද සිල්වා ඉනිම දෙකේදීම අර්ධ ශතක රැස් කළේය.
නිරෝෂාන් ප්‍රියංකර


0 Comments