Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනපතිට යෝජනා කළා

විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් පසු ලබන සඳුදා (9) වනවිට නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරයාට යෝජනා කළ බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව කටයුතු කළ හා ඡන්දය ප්‍රකාශ කළ ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් සමඟ තව දුරටත් කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීම ගැටලුසහගත බැවින් මේ යෝජනාව සිදුකළ බවත් ඇමැතිවරයා කියයි.

මෙහි දී කැබිනට් මණ්ඩල සංශෝධනයක් නොව විද්‍යානුකූලව ඒ ඒ අමාත්‍යාංශවලට විෂය ක්ෂේත්‍ර වෙන්කළ, නවතම කැබිනට් මණ්ඩලයක් පත් කර ඉදිරි දෙවසර තුළ දී වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ අරමුණ ඇතිව මේ යෝජනාව එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබූ බවත් ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ‘ලක්ෂ ගණනින් සල්ලි විසි කළ බවට’ ඇතැමුන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ද පවසන ඇමැතිවරයා, එසේ මුදල් ලබා ගෙන පක්ෂ නායකයන් සමඟ එකට කටයුතු කරන්නේ කෙසේ දැයි එසේ කියන්නන්ගෙන් තමා පෙරළා ප්‍රශ්න කරන බව ද කියයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (4) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙහි දී මාධ්‍යවේදීන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ මේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව තම හැරවුම් ලක්ෂය බවට පත් කර ගත් බවයි.

මාධ්‍යවේදියා- අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කරන්න එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 50 බැගින් සල්ලි දුන්නා කියන්නේ ඇත්ත ද?

ඇමැති රාජිත- එහෙම සල්ලි අරගත්තා නම් පක්ෂ නායකයන් එක්ක එකට ඉඳගෙන කටයුතු කරන්න ඔවුන්ට පුළුවන් වේවි ද? එහෙම නම් ඒක හරියට කුඩු කෑ විත්තිය වගේ. ඔය කතා බොරු.

මාධ්‍යවේදියා- විශ්වාසභංග යෝජනාවෙන් පසු කැබිනට් සංශෝධනයක් ගැන ජනාධිපතිවරයා කතා කළා ද?

ඇමැති රාජිත-අපි ජනාධිපතිවරයාට යෝජනා කළා අලුත්ම කැබිනට්ටුවක් හදන එක සුදුසුයි කියලා. මොකද විශ්වාසභංගයකට පක්ෂ වන ඇමැතිවරුන් එක්ක ආයෙත් එකට ඉඳගෙන කටයුතු කිරීම අපහසුයි. අනෙක් අතට ඒ අයත් විරුද්ධකම් පාලා ආයෙත් ආණ්ඩුවේම ඇමැතිකම්වල ඉන්න බලන එක සදාචාරාත්මක නැහැ නේද?

මාධ්‍යවේදියා - ආණ්ඩුවට තව තිබෙන්නේ අවුරුදු දෙකයි. ඒ අතර කැබිනට් සංශෝධන කර කර ඉන්න කාලයක් තිබෙනවා ද?

ඇමැති රාජිත-ඉතින් අපිත් එක්ක ඉන්න බැරුව ආණ්ඩුවෙන් යන අය වෙනුවට අලුත් අය පත් කරගන්න එපායැ. අගමැතිට එරෙහිව මේ විශ්වාසභංගය ගෙනාවේ පසුගිය කාලයේ විවිධ දූෂණ චෝදනාවලට ලක්ව පරීක්ෂණවලින් ‘බෙල්ලටම හිරවුණු අයයි’

මෙහි දී අදහස් දැක් වූ සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසුවේ විශ්වාසභංග යෝජනාවෙන් ඇතැමුන් ඇදගෙන නාගත් බවයි. එමෙන්ම, එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා පැවැසුවේ එක්සත් ජාතික පක්ෂය පූර්ණ වශයෙන් ප්‍රතිසංවිධානය කිරීමේ කාර්යයේ මූලික පියවර මේ මස 07 සහ 08 දෙදින කොළඹ දී ආරම්භ කරන බවයි. මේ මස 30 වැනිදා වනතෙක් පක්ෂයේ නිලධාරි මණ්ඩල නිල කාලය පවතින බව ද පැවැසූ ඇමැතිවරයා, මේ රැස්වීම් සාකච්ඡා අදහස් හා යෝජනා විමසීම්වලින් පසු එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත වෙනසක් සිදුවනු ඇතැයි ද පැවැසීය.

බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි
ඡායාරූපය- මාලන් කරුණාරත්න 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();