ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, සීමාසහිත ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා ආයතනවල සිදුවී තිබෙන වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට සහාය දක්වමින් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පොලිස්පතිවරයා පත්කර තිබේ.
කොමිසමේ ඉල්ලීමකට අනුව පත්කර තිබෙන මේ පොලිස් කණ්ඩායම සහකාර පොලිස් අධිකාරි ලෝරන්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කෙරෙයි. පොලිස් නිලධාරීන් දසදෙනකු එම කණ්ඩායමට අයත් වන අතර, පොලිස් විමර්ශන ඒකකයන් මේ අනුව කොමිසමේ සහායට ස්ථාපිත කර තිබේ.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ අධිනීතිඥ කණ්ඩායමක් නීතිපතිවරයා වෙනුවෙන් කොමිසමේ කටයුතු සඳහා සහාය දක්වති.
වසර 2006 ජනවාරි පළමුවැනිදා සිට වසර 2018 ජනවාරි 31 දක්වා වූ කාල පරාසය තුළදී සිදු වුණ අක්‍රමිකතා පිළිබඳ මහජන පැමිණිලි ලබා ගැනීම කොමිසම ආරම්භ කර තිබේ. සියලුම පැමිණිලි අප්‍රේල් 12 හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය. පැමිණිකරුගේ අනන්‍යතාව හෙළි කිරීමට අකමැති නම් ඒ බව සඳහන් කළ යුතුයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. පැමිණිලි ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳව ඉකුත් 12දා පුවත්පත් දැන්වීම් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙන බව කොමිසමේ ආරංචි මාර්ග කියයි.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සභාපතිත්වය දරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස ක්‍රියා කරන්නේ විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඒ. ජී. ආර්. අමරසේකර, හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති එච්. ඩී. ඒ. හැරල්ඩ් මහත්වරු සහ විගණන ප්‍රධාන සමීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ජී. කේ. ගීගනගේ මෙනවියයි. කොමිසමේ ලේකම්වරයා ලෙස එච්. ඩබ්ලිව්. ගුණදාස මහතා ක්‍රියා කරයි. කොමිසම ඉකුත් පෙබරවාරි 15 දා සිට දිනපතා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී රැස්වෙමින් අදාළ කටයුතු සම්පාදනය කරනු ලැබේ.
0 Comments