Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොටලුවො බූරුවො සහ වදුරෝ

Image result for hybrid animals real
කටකතා කයි කතන්දර සහ ජනකතා පිළිබඳව වසර ගණනාවක් පුරා අධ්‍යයන සිදුකළ මගේ මිතුරෙක් මේ වන විට කැනඩාවේ ජීවත්වෙයි. ඔහු මෙරට සිටියදී විටින් විට ජනශ්‍රැති පර්යේෂණයන් පිළිබඳව පුවත්පත්වලට ලිපි ලියූවේය. එහෙත් ඔහුගේ බලවත් ඉල්ලීම නිසා මට මේ මොහොතේ ඒ නම හෙළිකළ නොහැක. එහෙත් මොහු කවුදැයි මෙහි මතුවට එන කතා කිහිපය ඇසුරින් ඔහුගේ සමීපතමයන්ට නම් හඳුනා ගත හැකි වනු ඇත.
පසුගිය පෙබරවාරි 11 දා මධ්‍යම රාත්‍රියේදී ඔහු මට දුරකතන ඇමතුමක් දුන්නේය.
' මචෝ මොකෝ බං ජන්දෙට වුණේ ..? ' යි ඔහු අසයි.
'ඉතිං මගෙන් මොනවද අහන්නේ දැන් ප්‍රතිඵල ඇවිත් නෙ තියෙන්නේ උඹටම බලා ගත්තෑකිනේ ' යි මම කීවේමි.
' ඔව් ඔව් ..දැක්කා තමා ..නෑ ..මං අහන්නේ දැං මොකෝ ඊ ළඟට වෙන්නේ ..? '
' මට නං මොකවත්ම හිතෙන්නේ නෑ ...උඹට මොනවද හිතෙන්නේ ? '
' උඹලා නං ඉතිං ග්‍රහයො දිහා බලාගෙන නේ ජන්දෙ දාන්නේ නේ ...අනාවැකිත් කියනවනේ මං උඹට ජනකතාවකින් අනාවැකියක් කියන්න ද ..?
' ජනකතාවලින් දේශපාලන අනාවැකි කියන මේ ලෝකේ ඉන්න එකම පිස්සා උඹ වෙන්න ඇති ...හරි කමක් නෑ කියහං කො බලන්න ...මාත් මේ නිදිමතේ ඉන්නේ ." යි මම කීවෙමි.
' මතකද අර කොටලුවගෙ කතාව ..යි කියමින් කියවන්නට ගත් ඔහු කතාව කියන අතරේ මම ඒ සියල්ල පටිගත කරවන බොත්තම එබුවෙමි. එහෙත් ඒ බව ඔහුට දැනිණ. ' ඒයි ඒයි මේක රෙකෝඩ් කරන්න එපා මෝඩයෝ ..පිස්සුද යකෝ ..? ' යි ඔහු බෙරිහන් දෙන්නට විය ,
' නෑ නෑ මට පස්සේ වෙලාවකත් ඔය කතාව අහන්න පුළුවන් නිසා තමා රෙකෝඩ් කරන්නේ ' යි කී මම ඔහු අස්වසමි. එහෙත් මේ කොටලු කතාව අහලාම එපා වී තිබෙන බැව් ඔහු නොදනී.
' මේක අර පරණ කොටලු කතාව නෙවෙයි පොඩි අලුත් කෑල්ලකුත් අගට එනවා ..' යි කියමින් දැං ඔහු කතාව කියයි. ' ....ඔන්න එක ගමක හිටියා සිටුවරයෙක් . එයාගේ මන්දිරේ ලොකු ප්‍රීති උත්සවයක් තිබුණා. සිටුතුමාගේ සතුට කොයි තරම් ඉහවහා ගියාද කියනව නං මිදි යුෂ අශ්වයන්ට දුන්නා. මිදි රොඩු දෙවැනි පාරට මිරිකලා ගත්ත වතුර කොටලුවන්ට දුන්නා. නියම මිදි යුෂ බිව්ව අශ්වයෝ ගානට මිම්මට පැද්දිලා සන්තුෂ්ටිය නිහඬව භුක්ති වින්දා ...නමුත් අර රොඩු බිව්ව කොටලුවන්ට ඒක දරා ගන්න බැරිව ගිහිං කෑ ගහන්න දඟලන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි අශ්වයන්ටත් කෝචෝක් දාන්න පටන් ගත්තා. ඒත් ඉතිං අශ්වයෝ ඒවා පයිසෙකටවත් මායිම් නොකර නිහඩව තමන්ගේ සතුට භුක්ති වින්දා ..දැං කොටලුවන්ට මේකට මාර අවුල් ...අපි මෙච්චර කෝචෝක් දාලා හයිය පෙන්නුවත් අශ්වයෝ නෙවෙයි ඒ දිහා ඇහැක් ඇරලා බැලුවේ ..තව ටිකක් හයියෙන් කෑ ගැහුවොත් අශ්වයනට ඒක දරා ගන්න බැරි වෙයි කියලා හිතලා ඔක්කොම කොටලුවෝ එක සැරේට මහ හයියෙන් කෑ ගහලා සද්දේ දාන්න ගත්තා . මේ කලබලේ අර සිටු මාළිගාවේ උත්සවේට මාර වදයක් වෙන්න ගත්තම සේවකයෝ ඇවිත් පොලුවලින් ගහලා කොටලුවෝ එකෙක් නෑර මරලා දැම්මා ..'
' ඉතිං ඕක අර පරණ කතාවම නේ මොකක්ද ඕකේ තියෙන අලුත් කෑල්ල ' යි මම නිදිමත අතරින් අසමි.
' උඹ දන්නවද කොටලුවෝ කෑ ගැහුවේ කාගේ උසි ගැන්වීමකටද කියලා ..? '
'නෑ මං දන්නේ නෑ''
'හරි ඒක මං ඉතුරු කතාවේ අගට කියන්නං'..යි කියමින් ඔහු දෙවැනි කතාව ආරම්භ කෙළේය. ' ..අර රජ්ජුරුවන්ගේ ඇගට වැහුව මැස්සව එලවන්න රජාගේ බෙල්ලට කඩුවෙන් කොටපු වඳුරා එහෙම කෙරුවේ කාගේ කීමකට කියල උඹ දන්නවද ? '
'නෑ මං දන්නේ නෑ ' යි මම කීවෙමි.
' හරි ඒක මං ඊ ළග කතාවේ අගට කියන්නං ' යි කියමින් ඔහු තුන්වැනි කතාවත් ආරම්භ කෙළේය.
' ගමරාළගේ වත්තට හොරු පැන්න වෙලාවේ බල්ලා බුරන්නේ නැතිව නිදාගෙන ඉන්නැත්දී වැඩි ලකුණු දාගන්න හිතාගෙන මහ රෑ කෑ ගහපු බල්ලගේ වැඩේ කරන්න ගිහිං විහිං නැහුණු බූරූවා එහෙම කෙරුවේ කාගේ උසි ගැන්වීමකට කියලා උඹ දන්නවද ..? '
' අනේ මං දන්නෑ බං ..උඹ දන්නව නං කියහං කෝ නිකං මාව බයිට් කරන්නැතුව මේ මහ රෑ ..? යි මම නොරිස්සමින් කීවෙමි.
' හරි හිටහං කෝ ඊ ළග කතාවේ අගට මම ඒ කවුද කියලා කියනව ...' යි කී ඔහු තවත් කතාවකට මුල පිරුවේය. ' ..ගෙදර හිටිය බූරූ පැටියා විකුණන්න පොළට අරගෙන ගිය තාත්තයි පුතාටයි වෙච්ච අකර තැබ්බය උඹ දන්නවනේ අන්තිමට උං දෙන්නා බූරූවා කර තියාගෙන පොළට යත්දී මිනිස්සු හිනාවෙන්න ගත්තා ..අන්න ඒ තාත්තටයි පුතාටයි බූරු පැටියා කරේ තියාගෙන යන්න කිව්වේ කවුද කියලා උඹ දන්නවද .."
' නෑ නෑ මං දන්නේ නෑ .. ' යි මම කෝපය සඟවා ගෙන කී නමුත් ඔහුට මගේ ස්වරයෙන් ඒ බව දැනිණ.
' ඔන්න බලහං කෝ ඉතිං මට පුළුවන් හැටියට මං ඒ කවුද කියලා කිව්වා ...නමුත් උඹට ඒක තේරෙන්නේ නෑ ...හුඟක් මිනිස්සු උඹ වගේම තමා කියන දේ තේරුම් ගන්න බැරි වුණහම කේන්ති ගන්නව. ' යි ඔහු සංසුන්ව කීවේය.
-කේ.සී.ජේ.රත්නායක

Post a Comment

0 Comments