ව්‍යාජ ලේඛනයක් සත්‍ය ලේඛනයක් ලෙසට ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරිපත් කිරීම ඇතුළු අධි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව ලබන ජූලි මස 24 විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ නියෝග කළේය. එදිනට අධිකරණය හමුවේ සාක්කි දීමට පෙනී සිටින්නැයි දන්වා නඩුවේ සාක්කිකරුවන් වූ ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට නැවත සිතාසි නිකුත් කෙරිණි.
මෙම නඩුව ඊයේ (26) කැඳවූ අවස්ථාවේ නඩුවේ පළමු හා දෙවන සාක්කිකරුවන් වන අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයාට රාජකාරී කටයුතු අධික බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීම අපහසු බව දන්වා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දන්වා සිටියේය.
නඩුවේ විභාගය සඳහා දීර්ඝ දිනයක් ලබාදෙන ලෙසට විත්තියෙන් ඉල්ලා සිටි අතර කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය ලබන ජුලි මස 24 වැනිදාට එසේ කල් දැමීය.
විත්තිකාර තිස්ස අත්තනායක මහතා ඊයේ (26) අධිකරණය හමුවේ පෙනී සිටි අතර අධිකරණය හමුවේ පෙනී සිටි සාක්කිකරුවනට නැවත දැන්වූවිට අධිකරණය හමුවට පැමිණෙන්නැයි විනිසුරුවරයා අවවාද කළේය.
පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා ගිවිසුමකට එළඹ ඇති බවට ව්‍යාජ ලේඛනයක් සත්‍ය ලේඛනයක් ලෙසින් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරිපත් කිරීම ඇතුළු අධි චෝදනා තුනක් මත තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
2014 දෙසැම්බර් 21 හෝ ඊට ආසන්න දිනකදී කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විත්තිකාර තිස්ස අත්තනායක මහතා මෙම වැරැදි සිදුකර ඇති බවට ද නීතිපතිවරයා විසින් චෝදනා නගා ඇත.


0 Comments