Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොට්ටුව කිකිළි බිත්තරයක් වගේයි

කෑලි සී සී කඩ වෙන්න පොඩි තට්ටුවක් ඇති

මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළදී සමහර පළාත්පාලන ආයතනවල සභාපතිවරු දරුණු ලෙස වංචා දූෂණ සිදුකළ නිසා පක්ෂය විශාල ලෙස පසුබැසීමකට හා අපකීර්තියකට ලක්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ලංකා තරුණ සංවිධාන ජාලය සංවිධානය කරනු ලැබූ දේශපාලනය තුළ තරුණ නියෝජනය වැඩි කිරීම සඳහා වන මාධ්‍ය සාකච්ඡාව ඊයේ (11) ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පැවැති අවස්ථාවේදීය. මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවෙමින් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

සියලුම දෙනා එක හඬින් ඉල්ලා සිටින්නේ මෙවර මැතිවරණයේ දී තරුණ අපේක්ෂකයන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

තවදුරටත් අදහස් දක්වමින් ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට අනුව මෙවර මැතිවරණයේදී සීයට තිහක ප්‍රතිශතයක් තරුණ අපේක්ෂකයන්ට ලබාදෙනවා. පළාත් පාලන ආයතන දෙකක නාමයෝජනා සම්බන්ධ නායකයා ලෙස කටයුතු කරනමා. එම ආයතන දෙකට සීයට පනස්පහක් තරුණ නියෝජනය ලබාදී තිබෙනවා. උගත් බුද්ධිමත් ගමට හයියක් ලබාදෙන තරුණ පිරිස් අපේක්ෂකයින් විය යුතුයි.

සියයට හැටක් කොට්ඨාස ක්‍රමයටත් සියයට හතළිහක් සමානුපාතික ක්‍රමයටත් මෙවර ඡන්දය පැවැත්වෙයි. එම නිසා සුළු ඡන්ද තිබෙන පක්ෂවලටත් දේශපාලන ක්‍රමයට එක්වීමට අවස්ථාව සැලසෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. 1997, 2002 මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට තරුණයන් එකොළොස්දෙනෙකුවත් සොයා ගැනීමට නොහැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ අපේක්ෂකයකුවීමට මට ඉඩ ලැබුණා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා- මෙවර මැතිවරණයේ දී තරුණ අපේක්ෂකයන් වැඩියෙන් ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂවලට අවස්ථාව ලැබී තිබෙනවා. සියයට විසිපහක කාන්තා නියෝජනයක් පවතින නිසා තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට පුළුවනි. තරුණ අපේක්ෂකයින් දේශපාලන අංකුර වන අතර ඔවුන්ට දේශපාලනයේ ඉහළට ඒමට අවස්ථාව මෙවැනි මැතිවරණ තුළින් ඇතිකළ යුතුයි.

එවිට අනාගතයේදී වැඩිහිටි දේශපාලකයින් විශ්‍රාම යනවිට එම පුරප්පාඩු පිරවීමට තරුණ අපේක්ෂකයන්ට හැකි වෙනවා.

එසේ නැතිවුවහොත් වැඩිහිටියන් දේශපාලනයෙන් විශ්‍රාමගත් විට රික්තකයක් ඇතිවෙනවා.

ලංකා තරුණ සංවිධාන ජාලයේ සභාපති අරුණ ප්‍රදීප් කුමාර මහතා- වංචා දූෂණ නොමැති උගත් බුද්ධිමත් තරුණ පිරිස් සඳහා අපේක්ෂකත්වය ලබාදෙන ලෙසට සියලුම දේශපාලන පක්ෂවලින් බලකරමින් ඉල්ලා සිටිනවා.

මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

අද අපිට බොහොම පැහැදිලිව පෙනෙනවා සමහර අයට උවමනා වෙලා තියෙන්නේ ශ්‍රී.නි.ප.යේ හෝ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ ජයග්‍රහණයවත් රටේ බලාපොරොත්තු ඉටුකර දීමත් නොවේ. තමුන්ගේ පෞද්ගලික බලය තහවුරු කරගැනීම හා තමන්ගේ පෞද්ගලික බලයන් ගොඩනැගීමටයි.

මෙම මැතිවරණයෙන් පසු අපට ඕනෑම පක්ෂයක් සමඟ එකතුව බලය පිහිටුවන්න කැමතියි කියලා. වාසුදේව මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කළා.

ඒවගේම මහාචාර්ය ජී.එල්.පීරිස් සහ හා මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන් අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂය හෝ ඕනෑම කණ්ඩායමක් සමඟ එකතු වෙලා බලය පිහිටුවන්න පුළුවන් කියලා කිව්වා. ඒක පැත්තකින් ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී.නි.ප.ට සම්මුතිවාදී ආණ්ඩුවෙන් මිදිලා එන්න කියලා කියන අතර ඔවුන්ගේ අරමුණ කුමක්දැයි දැන් පැහැදිලියි. ඒකාබද්ධ විපක්ෂයටත්, පොදුජන පෙරමුණටත් වෙන්නෙ මොකක්ද කියන එක සති දෙක තුනක් යන විට කාටත් බලාගන්න පුළුවන් වේවි. ඒකාබද්ධය කියන්නේ ප්‍රධාන නායකයො කවුරුත් නෑ. මෙහෙම දේශපාලන පක්ෂයක් ලෝකෙ කොහෙවත්ම නෑ. නායකයො සාමාජිකත්වය අරගෙන තමයි අනුගාමිකයන්ට සාමාජිකත්වය ගන්න කියන්නේ. හැබැයි මේ පක්ෂයේ අය අනුගාමිකයන්ට සාමාජිකත්වය ගන්න කියලා නායකයෝ හැංගිලා ඉන්නවා.

හරියට මේක සුදු කිකිළි බිත්තරයක් වගේ තමයි පොදු ජන පෙරමුණ කියන්නේ. පිටින් පෙනුනට පොඩි තට්ටුවක් දාපු ගමන් එහි සියලු දේවල් එළියට එනවා.

කමනි අල්විස්, චන්දිමා කරුණාරත්න

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();