Ticker

6/recent/ticker-posts

Header Ads Widget

"Gatabaruwa Raja Maha Viharaya" is identified as "Punchi Kataragama" of Ruhuna.

රුහුණේ පුංචි කතරගම ලෙසින්
විරුදාවලිලත් ගැටබරු රජ මහා විහාරය


64 වැනි වරටත් පවත්වන වාර්ෂික ගැටබරු
ඇසළ මහා පෙරහැර මංගල්‍යය සැප් 1දා සිට 6දා දක්‌වා


දක්‍ෂිණ ලංකාවේ මාතර දිසාවේ, මොරවක්‌ කෝරළයේ, කොටපොල පිහිටි සිසිල් තෙත් බවින් යුත් සුන්දර වන පෙතින් ගැවසීගත් ගැටබරු කඳු ශිඛරය පිහිටි ගැටබරු රාජ මහාවිහාරය අනුරාධපුර යුගයේ වළගම්බා රාජ සමය දක්‌වා ඈතට දිවෙන දිගු ඉතිහාසයකට උරුමකම් කියන පුණ්‍ය භූමියකි.

නිල්වලා ගඟේ ඉහළ නිම්නය මෙන්ම ජලපෝෂිත කලාපය, මොරවක්‌ කෝරළය සහ කන්දබඩ පත්තුවේ මෙම ප්‍රදේශය පැරණි රෝහණ රාජධානියේ බටහිර කලාපයට අයත්වේ. වයඹින් හා උතුරු දෙසින් මොරවක සහ දියදාව කඳුවලින්ද, ඊශාන දෙසින් කැටවල ගින්නලිය කඳුවලින්ද, දකුණින් රන්මලේ හා ඌරුමුත්ත කඳුවලින්ද සීමා වූ මේ භූවිෂමතා කලාපය නෙතට රසඳුනක්‌ බඳුය.

එවන් මනස්‌කාන්ත පරිසරයක පිහිටි ගැටබරු ලෙන් විහාරය ශ්‍රී බුද්ධවර්ෂ 386 වැන්නෙහි අනුරාධපුර රාජධානියට පත් වට්‌ටගාමිණී අභය (වළගම්බා) රජු විසින් කරවන ලද බව සනාථ කරගෙන ඇත. මෙම මහානුභාව සම්පන්න පුණ්‍ය භූමියේ වත්මන් යුගය ආරම්භ වන්නේ වර්ෂ 1834 කොටපොල කෙහෙල් කොරටුවේ විසූ එළියස්‌හාමි නැමති අය විසින් ගැටබරු ලෙන් විහාරය සොයා ගැනීමත් සමඟය. ඉන්පසු වර්ෂ 1835 දී මොරවක කැටගොඩ උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් තාවකාලික කුටියක්‌ ඉදිකරවා ප්‍රථම ආරාමාධිපති ලෙස වීරසිංහ කන්දේ සුමංගල හිමි වැඩමවාලීම සිදු කෙරිණි.

මාතර දිස්‌ත්‍රික්‌කයේ මොරවක්‌ කෝරළයත්, කන්ද බඩ පත්තුවෙත්, හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ බටහිර ගිරුවා පත්තුවෙත් ජීවත්වන ජනතාවගේ වන්දනා මානයට පාත්‍රවන ඔදතෙදවන් ඓතිහාසික දේව වංශ කතාවේ ප්‍රදේශාධිපති විරුවකු වූ බටහිර රඡ්ජුරුබණ්‌ඩාර දෙවිඳුන් උදෙසා පිහිටි දෙවොල මෙම ගැටබරු ලෙස්‌ විහාරය තුළ පිහිටුවා ඇත. ලක්‌වැසි ජනතාවගේ වන්දනා මානයට පාත්‍රවන දෙවිවරුන් අතර මෙම බටහිර රඡ්ජුරුබණ්‌ඩාර දෙවිඳුන් ද සිංහල සම්භවයක්‌ ඇති දේශීය දෙවි කෙනකු සේද සැලකේ.

වීරසිංහ කන්දේ සුමංගල හිමි මෙම පුදබිමට වැඩමවාලීමත් සමඟ ඇති වූ ආගමික සමාජීය පුනරුදය යටතේ සියවසකට අධික කාලයක්‌ නැවත ජනීජනයාගේ පූජෝපහාර ලබමින් කෙමෙන් දියුණුව කරා පා නැගූ මෙම රජමහා විහාරය නිදහසින් පසු ලක්‌ දෙරණේ ඇති වූ ජාතික ආගමික ප්‍රභේදය හමුවේ වර්ෂ 1950 දශකයේ එවකට විහාරාධිපති ධූරය හෙබවූ අපවත් වී වදාළ රොටුඹසිරි රතනපාලාභිධාන නාහිමිගේ අනුශාසනා පරිදි ගැටබරු ඇසළ මහා පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරිණි. මෙම ඇසළ මහා පෙරහැර මංගල්‍යයට සමගාමීව සිදු කෙරෙන විහාර සංවර්ධන කටයුතු යටතේ මේවන විටත් දිවයිනේ නන්දෙසින් දිනපතා පැමිණෙන දහස්‌ සංඛ්‍යාත ජනතාවගේ වන්දනා මානයට ලක්‌වන සියලු විහාරංගයන්ගෙන් උප ලක්‍ෂිත දර්ශනීය මනස්‌කාන්ත පූජා භූමියක්‌ බවට මෙම පුදබිම වර්තමාන පත්ව ඇත. එහි ගෞරවය මල්වතු පාර්ශවයේ දක්‍ෂිණ ලංකාවේ ද්විතික සංඝනායක ශාස්‌ත්‍රවේදී පණ්‌ඩිත බෙරපලනාතර චන්දවිමල විහාරාධිපති නායක හිමිට සහ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියන්ට හිමිවේ.

හැට හතර වැනි වරටත් මෙවර ගැටබරු ඇසළ මහා පෙරහැර මංගල්‍යය මෙම සැප්තැම්බර් මස 1 වැනිදා සිට 6 වැනිදා දක්‌වා පුරා දින හයක්‌ පැවැත්වීමට එම ඇසළ උත්සව කමිටුව කටයුතු සංවිධානය කර ඇත. ගැටබරු ඇසළ මහා පෙරහැර මංගල්‍යය අපගේ ආගමික චාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුව පැවැත්වීමේ අරමුණ වන්නේ පූජාච පූජනීයානං යන බුදු වදනට අනුව බුදුන් වහන්සේ ප්‍රමුඛ ත්‍රිවිධ රත්නය සහ වෙනත් මහෝත්තමයන්ට (දෙවියන්ට) පූජා උපහාර වශයෙනි. එමගින් රටට - දැයට ත්‍රිවිධ රත්නයේ සහ දේව ආරක්‍ෂාව සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමය.

කවදත් කලාවෙන් දස්‌කම් විස්‌කම් දැක්‌ වූ නොයෙක්‌ කෙනහිලිකම් විඳදරා ගනිමින් තවමත් ආරක්‍ෂා කරගෙන එනු ලබන අපේ පහතරට නැටුම් සම්ප්‍රදාය හා කලා ශිල්ප සංවර්ධනයට මෙන්ම උද්දීපනයට මෙම ගැටබරු ඇසළ මහා පෙරහැර මංගල්‍ය මහඟු අවස්‌ථාවකි. මෙම පෙරහැර මංගල්‍යයයේදී හැම අතින්ම රුහුණේ අන්‍යතාවය රැකෙන පරිදි කලා ශිල්පවලටත් කලාකරුවන්ටත් නිසිතැන ලබාදීමට උත්සුක වී ඇත. එසේම සංකර වූ සහ මෙම පෙරහැර මංගල්‍යයට නොගැලපෙන අංග ඊට එක්‌කර නොගෙන ගෞරවනීයත්වය පවත්වා ගැනීමද රැක ගැනීමද ඇගයිය යුතුව ඇත.

සම්ප්‍රදායානුකූලව පෙර සිරිත් පරිදි 61 වැනි වරටත් වාර්ෂිකව පවත්වන මෙම ඇසළ පෙරහැර මංගල්‍යය මෙම සැප්තැම්බර් 1 වැනිදා සර්ව රාත්‍රීක පිරිත් දේශනයෙන් අරම්භ වේ. 2, 3 සහ 4 වැනිදා පේලි පෙරහැර 5 වැනිදා රංදෝලි පෙරහැර එදින රාත්‍රී දෙවොල් මහා දේව තොවිලය පවත්වා අළුයම ගිනි පෑගීම සිදුකර දහවල් දේවදානය පිරිනමා රටට දැයට සෙත් පැතීම සිදු කෙරේ.

වළගම්බා වීර නරපතිඳුන්ගේ දායාදයක්‌ වශයෙන් උරුම ගැටබරු රජමහා විහාරය මගින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම ඇසළ මහා පෙරහැර මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව අඛණ්‌ඩව පවත්වා ගැනීමට විහාරාධිපති ශාස්‌ත්‍රවේදී පණ්‌ඩිත බෙරලපනාතර චන්දවිමල සහ එම විහාරාධිකාරී උඩමළුවේ තේවාවභාර ආචාර්ය කිරින්දේ ආනන්ද යන හිමිවරුන් ඇතුළු පෙරහැර මංගල්‍ය කමිටුව සිදු කරන මෙම සත් ක්‍රියාව ඇගයිය යුතුව ඇත.










Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();